මුදලාලිගේ හිසට ගිනිඅවියක් තියා පවුම් අටේ මාලෙ කඩලා | දිනමිණ

මුදලාලිගේ හිසට ගිනිඅවියක් තියා පවුම් අටේ මාලෙ කඩලා

ඉංගිරිය, නිමලගම, බටුගම්පළ පිහිටි තම වෙළෙඳසල ඉදිරිපිට බිම වාඩි වී සිටි එහි හිමිකරුගෙන් දුම්වැටි හතරක් ඉල්ලා සිටි පුද්ගලයන් දෙදෙනෙක් පසුව ඔහුගේ හිසට ගිනිඅවියක් තබා තර්ජනය කර ‍වෙළෙඳසල් හිමියා පැලඳ සිටි පවුම් අටහමාරක් වටිනා රන් මාල දෙකක් සහ රුපියල් විසිදහසක මුදලක් කොල්ලකා, අවසානයේ වෙළෙඳසල දෙසට වෙඩි ප්‍රහාරයක්ද එල්ල කර පලා ගොස් තිබේ.

යතුරුපැදියකින් පැමිණ තිබූ මෙම කොල්ලකරුවන් දෙදෙනා වෙළෙඳසල ඉදිරිපිට එය නවත්වා දුම්වැටි හතරක් ඉල්ලා සිට ඇති බවත් පසුව වෙළෙඳසල් හිමියා ඒවා ලබාදීමට මුදල් බහා තිබූ ලාච්චුව අසලට ගොස් ඇති බවත් එම අවස්ථාවේ වෙළෙඳසලට ඇතුළු වූ සැකකරුවකු සඟවාගෙන සිටි ගිනිඅවිය එළියට ගෙන එය වෙළෙඳසල් හිමිකරුගේ හිසට තබා තර්ජනය කර ඔහු පැලඳ සිටි රන් මාල දෙක සහ ලාච්චුවේ තිබූ රුපියල් 20,000ක මුදල් කොල්ලකා පලා ගොස් ඇති බවත් පොලීසිය පැවසීය.

යතුරුපැදියේ පැමිණි අනෙක් තැනැත්තා අතද තියුණු ආයුධයක් තිබී ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසන අතර කොල්ලයෙන් පසු සැකකරුවන් දෙදෙනා යතුරුපැදියේ නැඟී පාදුක්ක දෙසට පලා ගොස් තිබේ. ඉංගිරිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ප්‍රියදර්ශනී කහවල

ඉංගිරිය මධ්‍යම සමූහ

නව අදහස දක්වන්න