උසස් පෙළට දින නියම වන තුරු පාසල් රග්බි තීරණයක් නෑ | දිනමිණ


 

උසස් පෙළට දින නියම වන තුරු පාසල් රග්බි තීරණයක් නෑ

ෆවුස් මොහොමඩ්

අපොස උසස් පෙළ විභාගය පවත්වනු ලබන කාල වකවානුව සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණය ලැබෙන තුරු අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලිය යළි ආරම්භ කිරීමේ දිනයක් සැලසුම් කළ නොහැකි බව පාසල් රග්බි සංගමයේ නියෝජ්‍ය සභාපති සුසන්ත මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේය.

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියත් සමග දින නියමයකින් තොරව කල් දැමූ පාසල් ලීග් රග්බි තරගාවලිය නැවත ආරම්භ කිරීම සඳහා සංශෝධිත තරග කාලසටහනක් මේ වන විට සකස් කර තිබුණ ද අධ්‍යාපන අමාත්‍යාංශය උසස් පෙළ විභාගය ආරම්භ කරන දිනය පිළිබඳ අවසන් තීරණයකට පැමිණීමෙන් පසු එම තරග කාලසටහන නැවත වෙනස් කිරීමට සිදු විය හැකි බව ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ විදුහල්පතිවරයා ද වන සුසන්ත මෙන්ඩිස් මහතා ‘දිනමිණ‘ කළ විමසුමකදී සඳහන් කළේය.

‘උසස් පෙළ විභාගයට දින වකවානුව තීරණය කරන තුරු අපට ලීග් රග්බි තරගාවලිය ගැන අවධානය යොමු කරන්න අසීරුයි. දැනට තියෙන තත්ත්වය මත පාසල් රග්බි තරගාවලි කිහිපයක්ම අවලංගු කරන්නත් සිදු වේවි.‘ ඔහු පැවැසීය.

ඉදිරි මාස කිහිපය ඇතුළත පාසල් රග්බි තරග බිමේ සියලු තරගාවලි පැවැත්වීම දුෂ්කර වන බැවින් සෑම වයස් කාණ්ඩයකටම එක් තරගාවලිය බැගින් පැවැත්වීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

පසුගිය මාර්තු මාසයේ මුල් සතියේදී ආරම්භ කළ අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලිය කොවිඩ් වසංගතයේ බලපෑම මත නැවත්වීමේදී තරග 9ක් පවත්වා තිබිණි. කෙසේ වෙතත් පළමු සතියේ තරග සියල්ල සැලසුම් කළ පරිදි පැවැත්වීමටත්, දෙවැනි වටයේ තරග අඩු කිරීමටත් තීරණය වී තිබේ.

පවතින තත්ත්වය මත අවුරුදු 14න් පහළ සහ 16න් පහල ලීග් තරගාවලි අවලංගු කරන බව ද සුසන්ත මෙන්ඩිස් මහතා කියා සිටියේය.

අපොස උසස් පෙළ විභාගය ලබන සැප්තැම්බර් මස 7 වැනිදා ආරම්භ කිරිම අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලසුම වී ඇතත්, ඒ පිළිබඳ මෙතෙක් අවසන් තීරණයට මෙතෙක් පැමිණ නැත. එම දිනය වෙනස් වන්නේද යන්න පිළිබඳ මේ මස 10 වැනිදා වනවිට තීරණය වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

නව අදහස දක්වන්න