ඔස්ට්‍රේලියාවේ කොවිඩ් දෙවැනි රැල්ලෙන් විස්සයි20 ලෝක කුසලානය කල් යයි ද? | දිනමිණ

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් දෙවැනි රැල්ලෙන් විස්සයි20 ලෝක කුසලානය කල් යයි ද?

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියෙන් දැඩි බලපෑමක් එල්ල වූ විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය නිල වශයෙන් කල් දැමීමේ තීරණය මේ සතියේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරනු ඇතැයි විදෙස් පුවත් වාර්තා කළේය. ලබන සිකුරාදා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමේදී එම තීරණය ගනු ඇතැයි ද වාර්තා වේ.

පසුගිය සති දෙක ඇතුළත ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තවලින් කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමග එරට කොවිඩ් දෙවැනි රැල්ලේ ව්‍යාප්තිය ආරම්භ වීමත්, මේ වන විට එය මෙල්බර්න් නුවරට ද ව්‍යාප්ත වීමත් මත ඔස්ට්‍රේලියාවට සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මේ තීරණය ගැනීමට සිදු වී තිබේ.

ඊයේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 127ක් වාර්තා වීම නිසා වසර 100කට පසු වික්ටෝරියා සහ නිව්සවුත්වේල්ස් ප්‍රාන්ත සීමා වසා දැමීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගත්තේය. ඔස්ට්‍රේලියාව මෙවැනි පියවරක් ගනු ලැබුවේ 1919 දී ස්පාඤ්ඤ උණ රෝගය ගෝලීය වසංගතයක් බවට පත් වීමෙන් පසුවය.

ලබන ඔක්තෝබර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව ඇති මේ තරගාවලිය කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියත් සමග අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබිණි. එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ සත්කාරක ඔස්ට්‍රේලියාව තරගාවලිය පැවැත්වීමේ බලාපොරොත්තුවෙන් පසු වූයේ වසර අගභාගය වනවිට එම තත්ත්වය දුරු වනු ඇතැයි නිගමනය කරමිනි. එහෙත් මේ වනවිට ඔස්ට්‍රේලියාවේ අවධානය යොමුවී ඇත්තේ විස්සයි20 තරගාවලිය ලබන වසර දක්වා කල් දැමීමටය. එසේ වුවත් 2016 වසරේ පැවැත්වීමට නියමිතව තිබු විස්සයි20 ලෝක කුසලානය 2021දී පැවැත්වීමට තීරණය වී ඇති හෙයින්, ඔස්ට්‍රේලියාවට ඒ සඳහා වසර 2022 දක්වා බලා සිටීමට සිදු වනු ඇතැයි ද වාර්තා වේ.

නව අදහස දක්වන්න