දෙවන රැල්ලක් ඉල්ලන්නේ කවුද ? | දිනමිණ


 

දෙවන රැල්ලක් ඉල්ලන්නේ කවුද ?

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් - 19 දෙවන රැල්ලක් මතු වී නැතත්, එවැන්නක් පවතින්නේ යැයි ජනතාව බියට පත් කරන ප්‍රචාර දිගට හරහට සිදු වෙයි. සමාජය බියගැන්වීම දේශපාලනික සාධකයක් විය හැකිය. එහි යටි අරමුණ මැතිවරණය කල් තැබීම වන්නටත් පුළුවන. දේශපාලන පක්ෂ කිහිපයකට හා දේශපාලන නායකයන් කිහිප දෙනකුට මැතිවරණය කල් තැබීමේ වුවමනාවක් ඇති බව ද පැහැදිලි ය. මැතිවරණය කල් තැබිය යුතු යැයි ප්‍රසිද්ධියේ කියන අය ද සිටිති. කොවිඩ් - 19 වයිරසය මේ සියලු දෙනාටම කදිම ආයුධයක් වී ඇති සැටියක් පෙනෙන්නට තිබේ.

කොරෝනා වසංගතය මුළුමනින්ම පරාජය කර ඇතැ’යි රජය කිසිවිටෙක ප්‍රකාශ කර නැත. එහෙත් එය මැනැවින් පාලනය කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගත්තේ ය. ජනාධිපතිවරයා හැමවිටම පෙන්වා දීමට උත්සාහ ගත්තේ කොවිඩ් - 19 වයිරසයේ අවදානම දිගටම පවතින බැවින් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අකුරටම පිළිපදිමින් ජන ජීවිතය යථා තත්ත්වයට ගැනීම සිදුවිය යුතු බවය. එම උපදේශනය අකුරටම පිළිපැදීමට ඇතැම් සමාජ කණ්ඩායම් උත්සුක වී නැත. සමහර නිලධාරීන් ද උත්සුක වී නැත. එහි ප්‍රතිඵලයක් ලෙසින් යළිදු ආසාධිතයන්ගේ වර්ධනයක් පෙන්නුම් කරයි.

රාජ්‍ය නායකයන් මේ මොහොතේ ඉතා වැදගත් තීරණ දෙකක් ගෙන තිබේ. පළමු තීරණය වන්නේ පාසල් තාවකාලිකව වසා දැමීමට නියම කිරීමය. දෙවන තීරණය වන්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා සහභාගි වන මහජන රැලි වහාම අත්හිටුවීමය. මේ තීරණ දෙක ම රජයට දේශපාලනික වශයෙන් අවාසි සහගත වුව වසංගතය හමුවේ අවාසිය අමතක කර තිබේ. රජයේ පාසල් පමණක් නොව, ජාත්‍යන්තර පාසල් මෙන්ම උපකාරක පන්ති පැවැත්වීම ද ඉහත තීරණයට යටත් වෙයි. අගමැතිවරයා හා ජනාධිපතිවරයා සහභාගි වන රැස්වීම් අත්හිටුවීම පමණක් නොව; අනෙකුත් මැතිවරණ රැස්වීම් ද සීමා කළ යුතු බව රජය දැනුම් දී ඇත.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා සහභාගි වන ජනරැලිවලට විශාල වශයෙන් ජනතාව ඒකරාශී වන බව ද, එහිදී ඇතැම් සෞඛ්‍ය උපදේශන කඩවන බව ද රහසක් නොවේ. ජනතා ආකර්ෂණය දිනාගත් නායකයන් සහභාගි වන රැස්වීම්වලදී සෞඛ්‍ය උපදේශන පවත්වා ගැනීම අසීරුය. නායකයන්ට සුබ පැතීමට පිරිසක් පොර කති. නායකයන්ට යෝජනා ඉදිරිපත් කිරීමට හා ලිපි භාරදීමට තව පිරිසක් පොර කති. නායකයන්ට සහයෝගය දැක්වීමට තවත් පිරිසක් පොර කති. මෙය එක අතෙකින් දේශපාලනිකය. එය මඟහැර යෑම අපහසුය. මෙහිදී කළ යුතු එකම කාර්යය වන්නේ රැස්වීම් අවලංගු කිරීම ය. රාජ්‍ය නායකයෝ එම තීරණය ගත්හ. මෙයින් පැහැදිලි වන්නේ වත්මන් රජය නියෝජනය කරන නායකයන් දේශපාලන වාසියට වඩා මහජන ජීවිත ගැන ගැඹුරින් සිතා බලන බවය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කොවිඩ් - 19 වසංගතයට මුහුණ දෙන්නේ සැලසුම් සහගත ලෙසය. දේශපාලනික වශයෙන් විවේචන පැවැතිය ද ඒවා පිළිගත හැකි සාධකවලින් සමන්විත නැත. වසංගත කාලයෙහි රාජ්‍ය බලය යහපාලන ආණ්ඩුව සතුවූයේ නම්, රටට බලවත් විපැත්තියක් සිදුවන බව බොහෝ දෙනකුගේ මතය වෙයි. චීනයේ වූහාන් ප්‍රදේශයෙන් රෝග ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු ලොව පුරා ප්‍රචාරය වන විටත් වත්මන් ජනාධිපතිවරයා වසංගතයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව සූදානම් කළේය. කොරෝනා කාර්ය සාධන කමිටුව හා බළකාය ඊට නිදසුන් ලෙස දැක්විය හැකිය. අදටත් මේ කමිටුව හා බළකාය සක්‍රීය වෙයි. ඒ අනුව කෙරෝනා දෙවන රැල්ලකට ඉඩ ප්‍රස්තා ඇතැයි සිතන්නට බැරි ය.

ලෝකයේ බොහෝ රටවල් කොරෝනා දෙවන රැල්ලකට මුහුණ දුන්හ. චීනය, දකුණු කොරියාව, එක්සත් රාජධානිය, ජර්මනිය වැනි රටවල් ඊට නිදසුන්ය. අමෙරිකාවේ එක් දිනක් තුළ වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන 65,000 ඉක්මවා සිටිති. බ්‍රසීලය දිනකට වාර්තා කරන කොරෝනා මරණ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගනී. එහෙත් මේ රටවල් වසංගතයට මුහුණ දෙමින් සිය ආර්ථික කටයුතු කරගෙන යති. දේශපාලන ක්‍රියාදාම කරගෙන යති. වසංගතය සමඟ තවත් කාලයක් ජීවත්වීමට සිදුවනු ඇතැ’යි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ. මේ අනුව ආර්ථික හා දේශපාලන කටයුතු යාවත්කාලීන කිරීමට එකිනෙක රටවල් පියවර ගත යුතුව තිබේ.

අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය හා ලතින් අමෙරිකාව සමඟ සසඳන විට ශ්‍රී ලංකාව වසංගතය තුළ සතුටුදායක තැනක සිටින බව පැහැදිලිය. දකුණු ආසියාව ගත්තද අප ඇත්තේ සතුටුදායක තැනකය. අසල්වැසි ඉන්දියාව කොරෝනා වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් රාජ්‍යයක් බවට පත් වී ඇත. මෙබඳු තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාව පසුවන තැන ගැන අප සතුටු විය යුතුය. මේ සතුටුදායක තත්ත්වය ඉබේ ඇති වූවක් නොවේ. ජනාධිපතිවරයාගේ බුද්ධිමත් තීරණ සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල බලවත් කැපවීම මෙහි ශක්තිමත් පදනම ලෙස පවතී. මහජනයාගේ සහයෝගය ද උපරිම අයුරින් ලැබෙන්නේ නම් වසංගතය පිළිබඳ අවදානමෙන් මුළුමනින්ම දුරස් විය හැකිය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට කොවිඩ් - 19 සමඟ සටන් කරමින් ජීවත් වීම අත්‍යවශ්‍ය කාරණයකි. එහි අර්ථය වන්නේ රටක සමාජ - ආර්ථික හා දේශපාලනික ක්‍රියාවලිය ද වසංගතය සමඟ ඉදිරියට යෑම සිදු විය යුතු බවය. කොවිඩ් - 19 වයිරසය නිසා ප්‍රජාතන්ත්‍රවාදයට පසුබැසීමට ඉඩ දිය යුතු නැතැ’යි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වරක් කියා සිටියේය. එය වැදගත් ප්‍රකාශයකි. කොරෝනා පොකුරක් නිසා මැතිවරණය කල් දැමිය යුතු යැයි මතයක් වේ ද? එය වහා පරාජය කළ යුතුය.

 

නව අදහස දක්වන්න