අර්බුද මැද කල් දැමුණු කායවර්ධන නිලවරණය ගැසට් නිවේදනයකින් අධ්‍යක්ෂ ජෙනරාල් යටතට | දිනමිණ


 

අර්බුද මැද කල් දැමුණු කායවර්ධන නිලවරණය ගැසට් නිවේදනයකින් අධ්‍යක්ෂ ජෙනරාල් යටතට

අර්බුද හේතුවෙන් වරින් වර කල් දැමුණු ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ නිලවරණය ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යටතේ පැවැත්වීමට තීරණය වෙයි. ඒ අනුව මේ සම්බන්ධ බලය පැවැරෙන අති විශේෂ ගැසට් නිවේදනය ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ අස්සනින් යුතුව අද හෙටම නිකුත් කිරීමට නියමිතය.

කායවර්ධන සම්මේලනයේ ව්‍යවස්ථාව අනුව ඡන්ද හිමි ක්‍රීඩා සමාජවලට ඡන්ද අයිතිය හිමි කර දෙමින් නිලවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදන බව අප කළ විමසීමකදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් නීතීඥ අමල් එදිරිසූරිය මහතා පැවැසීය. නිලවරණය සම්බන්ධ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වූ වහාම නිලවරණ කමිටුව පත් කොට නාම යෝජනා කැඳවීමට කටයුතු යොදන බවද ඒ මහතා සඳහන් කළේය. ඒ අනුව කායවර්ධන සම්මේලනයේ නිලවරණය එළැඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට හැකි වනු ඇතැයි පැවැසේ.

පසුගිය වසරේ ජනවාරි මාසයේ පත් කළ කායවර්ධන අතුරු කමිටුවට නිලවරණය ඉක්මණින් පැවැත්වීමේ වගකීම පැවැරී තිබූ අතර ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලබා දීමෙන් පසු සියලු සාමාජිකයෝ ඉල්ලා අස් වූහ. ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය තුළ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා හා නිලධාරීන්ගේ සුදුසුකම් සනාථ කෙරෙන සහතික පත් පිළිබඳ පැමිණිලි රැසක් ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබී තිබූ හෙයින් කායවර්ධන අතුරු කමිටුවක් පත් කිරීමට කටයුතු යෙදුණි.

දුරකතනය ඔස්සේ අතුරු කමිටු ලේකම් ශිරෝමී රණවක මහත්මියට හා එම කමිටුවේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතාට කායවර්ධන සම්මේලනයේ හිටපු නිලධාරියකු බැණ වැදී තර්ජන කිරීමක් හේතුවෙන් මේ ඉල්ලා අස්වීම් සිදු විය. කායවර්ධන තේරීම් කමිටු සභාපති ලෙස තිලක් ජයවීර මහතා පත්කිරීම නීති විරෝධි බව පවසා දුරකතනයෙන් බැණ තර්ජනය කළ බව කායවර්ධන අතුරු කමිටු සාමාජිකයෝ පැවැසූහ.

විවෘත අයැදුම්පත් කැඳවීමකින්, සම්මුඛ පරීක්ෂණයක් පවත්වා වැඩිම සුදුසුකම් ඇති අය කායවර්ධන තේරීම් කමිටු සභාපති තනතුරට නීත්‍යානුකූලව පත්කර තිබියදී ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය කරන හා අලෙවි කරන ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ හිටපු සභාපතිවරයකු දුරකතනයෙන් තර්ජන සිදු කළ බවට පොලිස් පැමිණිල්ලක් ද යොමුව පැවැතුණි.

වසර 2017දී මිස්ටර් ශ්‍රී ලංකා තරගයේදී කුසලාන හා සහතික පත් මුද්‍රණයට රුපියල් ලක්ෂ 6කට වැඩි මුදලක් වැය කර ඇතත් වියදම සඳහා ඉදිරිපත් කළ රිසිට්පත උගස් භාණ්ඩ මිළදී ගන්නා ආයතනයක එකක් බව සම්මේලනයේ හිටපු භාණ්ඩාගාරිකවරයකු පෙන්වාදී ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් ද ඉල්ලා තිබිණි. කායවර්ධන දිස්ත්‍රික් සංගම් පිහිටුවීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සාමාජික සංගම් කිහිපයක් හෙළි කොට ඇති අතර, ඒවා නිලවරණයට නොගන්නා ලෙසද ඉල්ලීම් තිබේ. කෙසේ වුවද කායවර්ධන සම්මේලනයේ ඡන්ද හිමි ක්‍රීඩා සමාජ ලේඛනය ප්‍රසිද්ධ කළ පසු විරෝධතා ඇත්නම් නිලවරණ කමිටුවට ඉදිරිපත් කිරීමේ අවස්ථා ඕනෑම අයකුට පවතී.

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය නීත්‍යානුකූල නොවන ලෙස පවත්වාගෙන යෑමෙන් ක්‍රීඩාව පරිහානියට පත් වන බවට සම්මේලනයේ විධායක සභිකයන් පසුගිය කාලයේ මත පළ කිරීමත් සමඟ අතුරු කමිටුව නිර්මාණය වූ අතර, ලබන වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යෝජිත ලෝක කායවර්ධන ශූරතාවලිය පැවැත්වීමට ඉදිරියේ පැවැත්වෙන නිලවරණය වැදගත් එකක් වී ඇත. සම්මේලනයේ දැනට පවතින අර්බුද හේතුවෙන් දේශීය කායවර්ධන තරගාවලි බොහොමයක් පවත්වා ගැනීමටද නොහැකි වී තිබෙන හෙයින් කායවර්ධන සම්මේලනයේ නිලතල සම්පූර්ණ කිරීම ඉතා වැදගත් බව හිටපු විධායක සභිකයෝ පෙන්වා දෙති.

 

 ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න