එජාපය බෙදුණත් නැතත් පොහොට්ටුවේ ජය නියතයි | දිනමිණ

එජාපය බෙදුණත් නැතත් පොහොට්ටුවේ ජය නියතයි

මහින්ද අලුත්ගෙදර
ඇමැති සී.බී. රත්නායක

කලකිරුණු එජාප පාක්ෂිකයන් මෙවර පොහොට්ටුව දිනවනවා

කුමන අභියෝගයක් පැමිණියද ඒ සියල්ලට මුහුණ දෙමින් දෙපයින් නැඟිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් බිහි කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂාව බව ඇමැති සී.බී. රත්නායක මහතා පැවසීය.

බටහිර රටවල අවශ්‍යතා වෙනුවෙන් පසුගිය ආණ්ඩුව පෙනී සිටි නමුත් මෙරට ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ඔවුන් කිසිවක් ඉටු නොකළ බව පෙන්වා දෙන ඒ මහතා, අවසානයේ අප මව්බිම ත්‍රස්තවාදයෙන් මුදා ගත් වීරෝදාර රණවිරුවන් ජගත් මානව හිමිකම් කවුන්සලයේ දී පාවා දුන් බවද කීය. කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව යටතේ මෙරට රණවිරුවන්ට ඉහළම ගෞරවය හිමි වන බවද හෙතෙම සිහිපත් කළේය. වලපනේ ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් මේ බව කියා සිටි ඇමැතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේ විවිධ හේතූන් නිසා පසුබෑමට ලක්ව තිබෙන ශ්‍රී ලංකාව කෙසේ හෝ ආර්ථික වශයෙන් ගොඩනැඟීම අවශ්‍ය වී තිබෙන බවයි. ඒ වෙනුවෙන් සියලු පාර්ශ්වයන්ගේ සහාය අවශ්‍ය බවද ඒ මහතා කියා සිටියේය.

විශේෂයෙන්ම වර්තමානය වන විට ලෝකය පුරා සෑම රටකටම බරපතළ තර්ජනයක් බවට පත්ව තිබෙන කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය තුළ මැතිවරණ කටයුතු ඉතාම පරෙස්සමින් සිදු කරන බව පෙන්වාදෙන සී.බී. රත්නායක මහතා, කිසිඳු අවස්ථාවක එම වයිරසයේ ව්‍යාප්තියක් ඇති නොවන ආකාරයෙන් තම පක්ෂයේ ප්‍රචාරක කටයුතු සිදු කරගෙන යන බවද සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කරමින් ප්‍රචාරක කටයුතු සිදු කරන බවද කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ බෙදීමක් තිබුණත් නැතත් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නා බව පෙන්වා දෙන ඒ මහතා අද වන විට සම්ප්‍රදායික එක්සත් ජාතික පාක්ෂිකයන් පවා විශාල පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළ, දර්ශනය කෙරෙහි විශ්වාසය තබා තිබෙන බවද ඒ අනුව ඔවුන් රට ගැන මෙන්ම තමන්ගේ අනාගත පරපුර සම්බන්ධයෙන් කල්පනා කරන බවද ප්‍රකාශ කළේය. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි විශාල විශ්වාසයක් ඇති කරගෙන තිබෙන අතර ලෝකයේ බොහෝ රටවල් කොරෝනා වසංගතයෙන් දරුණු ලෙස පීඩා විඳින විට අපේ රටේ එය පාලනය කළ ආකාරය රටේ ජනතාව හොඳින් දන්නා බවද එහි සම්පූර්ණ ගෞරවය හිමි වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බවද කියා සිටියේය. කොරෝනා වයිරසය අපේ රටට එනවිටම විශේෂ කමිටුවක් පත්කොට ඊට මුහුණ දෙන්නට හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ අතර එය දර්ශනයක්, හැකියාවක් ඇති නායකයකුගේ හොඳ ලක්ෂණයක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

අසල්වැසි ඉන්දියාවේ පවා මෙම වසංගතයෙන් දහස් ගණන් මියයන අවස්ථාවක ශ්‍රී ලංකාව වසංගතය පාලනය කරමින් රට ඒ තැනට රට ගෙන ඒමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් ප්‍රමුඛ වත්මන් රජයට හැකියාව ලැබුණු බවත් ඒ හේතුවෙන් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ පිළිබඳව රටේ ජනතාවට අවබෝධයක් ලබා ගැනීමට මෙම ක්‍රියාදාමයම ප්‍රමාණවත් බවත් සඳහන් කළේය. හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් අද වන විට එක්සත් ජාතික පක්ෂයේ බෙදීම කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් ද විශාල පිරිසක් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීමට සූදානමින් සිටින බවයි. එක්සත් ජාතික පක්ෂයේ බෙදීම හේතුවෙන් කලකිරුණු පිරිසක් ද සිටිනා බව පවසන ඒ මහතා, ඔවුන් මැතිවරණයේදී ඡන්දය දීමෙන් වැළකී සිටිය හැකි බවද කියා සිටියේය.

නව අදහස දක්වන්න