වී කිලෝවට රු. 50ක සහතික මිලක් | දිනමිණ

වී කිලෝවට රු. 50ක සහතික මිලක්

මෙවර යල කන්නයේ වී කිලෝග්‍රෑමයක් රු. 50ක සහතික මිල යටතේ මිල දී ගැනීමට රජය තීරණය කර තිබේ. පසුගිය වසරවල නාඩු වී කිලෝග්‍රෑම් 1ක් රු. 38ක සහ සම්බා වී කි.ග්‍රෑ. 1ක් රු 41ක මිල ගණන් යටතේ මිල දී ගනු ලැබූ අතර, එම මුදල සියලු වර්ගයේ වී කිලෝවක් සඳහා රු. 50ක් දක්වා වැඩි කොට මිලදී ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මැතිවරණ පොරොන්දුවක් ඉටු කරමින් ක්‍රියාවට නංවන ලදී.

ඒ අනුව වසර 2019 - 2020 යල කන්නයේදී පටන් ජනාධිපතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුගතව වී කි‍ලෝ එකක් රු. 50ක සහතික මිල යටතේ ගොවීන්ගෙන් මිලදී ගැනීමට පියවර ගත් බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ගොවි ජනතාවගෙන් වී අස්වනු මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණවත් තරම් කිසිඳු බාධාවකින් තොරව නිදහස් කිරීමට මහා භාණ්ඩාගාරය සූදානම් බවද ඒ සඳහා අවශ්‍ය මුදල් වී අළෙවි මණ්ඩලය වෙත ලබාදීමට අගමැති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා දැනටමත් උපදෙස් ලබාදී ඇත. මේ සම්බන්ධයෙන් වී අළෙවි මණ්ඩලයේ ඉහළ නිලධාරියෙකුගෙන් අප කළ විමසුමකදී අනාවරණය වූයේ මෙවර කන්නයේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 02ක ප්‍රමාණයක් මිලදී ගැනීමට තම ආයතනය ඉලක්ක කොට ඇති බවයි. ඒ සඳහා රු. බිලියන 10ක මුදලක් අවශ්‍ය යැයි ඇස්තමේන්තු කොට තිබේ.

රට පුරා ගොවි ජනතාවගේ වී අස්වනු මිලදී ගැනීම සඳහා වී අළෙවි මණ්ඩලයේ ගබඩා 230කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් විවෘතව තබා ඇති බවද එම නිලධාරියා කීය. මෙවර කන්නයේ මුලින්ම අස්වනු නෙළීම අම්පාර මඩකලපුව දිස්ත්‍රික්ක වල මේ දිනවල සිදු වන බවද ඔහු හෙළිකළේය.

ජයසිරි මුණසිංහ

නව අදහස දක්වන්න