මේ ඡන්ද ක්‍රමය අලුත් අයට අවාසියි | දිනමිණ


 

මේ ඡන්ද ක්‍රමය අලුත් අයට අවාසියි

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ‘වියත්මඟ’ සංවිධානයේ  නියමු සාමාජික  නාලක ගොඩහේවා

වියත්මඟ නිර්මාණය කළේ කවර අරමුණකින් ද , එළැඹෙන මහ මැතිවරණය ජය ගැනීමට ඇති සැලසුම් මොනවා ද යන්නත්, රට සංවර්ධන කිරීමට ජනපතිවරයාගේ වැඩපිළිවෙළට දක්වන දායකත්වය කෙබඳු ද යන්නත් විමසමින්  ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක නාලක ගොඩහේවා මහතා සමඟ කළ සංවාදයකි.

අපේ රටේ අධිකරණ ක්‍රියාවලිය සාමාන්‍යයෙන් වේගවත් නැහැ. දැන් තිබෙන්නේ ඒ  ගැටලුවයි. එය වෙනස් කිරීමට නම් නීතියේ වෙනසක් කළ යුතු වෙනවා. අධිකරණයට,  පොලීසියට පහසුකම් සලස්වන්න ඕනෑ.  රජයක් වශයෙන්  අප එය සිදු කොට, සමස්ත අධිකරණ ක්‍රියාවලියම වෙනස්  කර ගත යුතු වෙනවා.

 

 මේ දිනවල ඔබ පිළිබඳ සමාජයේ කතාවෙනවා. ඔබ කවුද කියන එක ගැන ජනතාව සොයන්න පටන් අරගෙන. ඇත්තටම කවුරුද මේ නාලක ගොඩහේවා කියන්නේ?

මම 2009-2015 කාලයේදී පාඩු ලබමින් තිබුණ රාජ්‍ය ආයතන ගණනාවක සභාපති ලෙස සහ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් එම ආයතන ලාභ ලබන ආයතන බවට පත් කළා. මේ නිසා මට ප්‍රසිද්ධියක් ලැබීමට පටන් ගත්තා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සංචාරක මණ්ඩලය, කොටස් වෙළෙඳපොළ, ලංකා හොස්පිට්ල් ආයතනය වැනි ආයතන ගණනාවකට මම සම්බන්ධ වෙලා සිටියා. 2015 දී ආණ්ඩුව පෙරළුණු පසුව මම වියත්මඟ සංවිධානය ගොඩනැඟීම සඳහා කැඳවුම්කරු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට සම්බන්ධ වී සිටියා. වියත්මඟ සංවිධානය හරහා මම රට වටා යමින් එතුමා ජනාධිපති පුටුවට ගෙන ඒමට කටයුතු කිරීම නිසාත් ජනතාවට මා පිළිබඳ දැනගැනීමට ලැබුණා. අද මා ගැන කතාබහට ලක් වී ඇත්තේ ජනාධිපතිතුමාගේ ඉල්ලීම මත ගම්පහ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වන නිසයි.

 

ඔබ රාජ්‍ය ආයතනවල විධායක ශ්‍රේණියේ නිලධාරියකු ලෙස රැකියාව කළ කෙනකු නම් ඔබට මුදල් පිළිබඳ කිසිදු ගැටලුවක් නැතිව ඇති. මුදල් තිබෙන බොහෝ දෙනකුට අවශ්‍ය වන්නේ බලයයි. ඔබත් මැතිවරණයට තරග වදින්නේ බලය ලබා ගැනීම සඳහා ද?

මට ඉංජිනේරුවකු, ගණකාධිකාරිවරයෙක් සහ අලෙවිකරුවකු ලෙස සුදුසුකම් තිබෙනවා. පශ්චාත් උපාධියක් තිබෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයකින් ආර්ථික උපාධියක් තිබෙනවා. මගේ උගත්කම නිසා මේ අවස්ථාවේ ඉතා පහසුවෙන්ම ලක්ෂ 50කට වැඩි මාසික වැටුපක් ලබා ගත හැකි රැකියාවකට මට යා හැකියි. 2009දී මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත මම ලක්ෂ 13ක මාසික වැටුපක් ලැබෙන රැකියාවක් අතහැර පැමිණ ආණ්ඩුවට වැඩ කළා. එම අවස්ථාවේ මම කඩා වැටෙමින් තිබුණු රක්ෂණ සංස්ථාව ගොඩ ගත්තා. ඉන් පසු සංචාරක මණ්ඩලය, ලංකා හොස්පිට්ල්, සෙලාන් බැංකුව, ලක්සල ආදී ආයතන කිහිපයකටම මාව යොමු කළා. එම කඩා වැටුණු ආයතන මා විසින් ගොඩගනු ලැබුවා. ලංකාවට කෝටි ගණන් මුදල් සොයා දුන්නා. මමත් මගේ බිරියත් ඉංජිනේරුවන්. අපි බොහොම සරල මිනිස්සු. අපේ ජීවන රටාව අපි වෙනස් කර ගත්තේ නෑ. සුළු මුදලකින් අපට ජීවත් විය හැකියි. දේශපාලනයට මම එන්නේ මගේ වුවමනාවට නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේත් ඉල්ලීමක් නිසයි මා දේශපාලනයට ආවේ. ඒ අය විශ්වාස කරනවා රට හදන ක්‍රියාවලියේදී මගෙන් සක්‍රීය දායකත්වයක් ලබා ගත හැකියි කියලා.

 

ඔබගේ පරමාර්ථයත් රට හැදීම ද?

ඔව්. මගේ පරමාර්ථයත් රට හැදීම නිසා තමයි යහපාලන ආණ්ඩුව රට වනසන විට දේශපාලන භූමිකාවක් තුළ වියත්මඟ සංවිධානය ගොඩනැඟුවේ. බලය ලබා ගැනීම සඳහා නම් මම අපේක්ෂකත්වය ඉල්ලිය යුතුයි. මා එය ඉල්ලා සිටියේ නැහැ. අපේක්ෂකත්වය ඉල්ලන්නේ නැතිව අපේක්ෂකත්වය ලැබුණු එකම කෙනා මම විය හැකියි.

 

ඔබ ප්‍රසිද්ධ වුණේ වියත්මඟ සංවිධානයෙන්. වියත්මඟ සංවිධානය හැදුණේ කොහොම ද?

2015දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුණාම එම වසරේම අගෝස්තු මාසයේ මහමැතිවරණයෙනුත් පරාජයට පත් වුණා. ඉන් පසු රටේ රික්තයක් ඇති වුණා. ඊළඟ ජනාධිපතිවරණය එන විට ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කරන්නේ කවුද කියන ප්‍රශ්නය පැන නැඟුණා. යහපාලන රජය ප්‍රශ්න රාශියක් රටේ ඇති කර තිබුණා. ජිනීවා මානව හිමිකම් කොමිසමේ රට පාවා දීම, මහ බැංකු මංකොල්ලය, 19 වන ව්‍යවස්ථා සංශෝධනය, බුද්ධි අංශ අඩපණ කිරීම වැනි ප්‍රශ්න රාශියක් තිබුණා. ආර්ථිකයත් විශාල වශයෙන් කඩා වැටෙන්න පටන් ගත්තා. වෘත්තිකයෙක් වශයෙන් මම කල්පනා කළා මේ අය පරාජය කිරීම දැන් සිටින දේශපාලන කඳවුරට නොහැකි බව. ඒකාබද්ධ විපක්ෂය විශාල ලෙස දුර්වල වී තිබුණේ. ඒ අයට තිබුණේ ලක්ෂ 47ක පමණ ඡන්ද පදනමක්. ඡන්දය දිනන්න නම් ලක්ෂ 65ක් අවශ්‍ය බව මම ගණන් හදා තිබුණා. එම ප්‍රමාණයට යාම සඳහා දේශපාලන පක්ෂවලට දුෂ්කර බව මා තේරුම් ගත්තා. එම වෙනස පිරවීමට හැකි පාවෙන ඡන්දවලට පමණක් බව මට හැඟී ගියා. පාවෙන ඡන්ද අතර, වෘත්තිකයන් විශාල පිරිසක් සිටිනවා. එම කඳවුර ආකර්ෂණය කර ගැනීමට හැකි එකම පුද්ගලයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව මම තේරුම් ගත්තා. මම එතුමාට යෝජනා කළා වෘත්තිකයන් එකතු කොට විකල්ප බලවේගයක් නිර්මාණය කරමු කියා. මහින්ද රාජපක්ෂ මහතාගේත් ආශිර්වාදය ඇතිව අපි වියත්මඟ සංවිධානය බිහි කළා. වියත්මඟ සංවිධානයේ සිටින සියලු දෙනා බුද්ධිමත් වෘත්තිකයන්. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේ කටයුතුවලදීත් මම මූලිකත්වය ගෙන කටයුතු කළා. මේ සංවිධානය විශාල බලවේගයක් බවට පත් වී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය පිටුපස සිටියා.

 

ඔබ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා විශාල කැපවීමක් කළ බවද?

ඔව්! අපි විශාල කැපවීමක් කළා. අපි තමයි මේ කණ්ඩායම් සියල්ල එකතු කළේ. අපි නිර්පාක්ෂිකව වැඩ කළේ. ඒ නිසා බුද්ධිමත් ජනතාවගේ විශාල ආකර්ෂණයක් තිබුණා. 2015 දී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කළ පිරිස නැවත ආකර්ෂණය කරගත යුතුව තිබුණා. එම කාර්යය කළේ වියත්මඟයි. එළිය සහ හරිමඟ සංවිධානය වැනි සංවිධානත් මේ සඳහා උදවු කළා.

 

ඔබට ජනාධිපතිතුමා සමඟ ඉතා කිට්ටු සම්බන්ධයක් තිබෙනවා. එවැනි සම්බන්ධයක් ඇති කර ගත්තේ කුමන පදනමකින් ද?

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස සිටින වකවානුවේ මගේ භාරත්වය යටතේ තිබුණු ඇපලෝ රෝහල භාර ගන්නා ලෙස මම එතුමාට ආරාධනය කළා. ඇපලෝ රෝහල ඒ වන විට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේ තිබුණු පාඩු ලබන ආයතනයක්. ඒ අවස්ථාවේ ඇපලෝ රෝහල ගොඩනැඟීම සඳහා සභාපති පුටුව සඳහා ප්‍රතිරූපයක් තිබෙන පුද්ගලයකු ගෙන ආ යුතුව තිබුණා. එතුමාත් මමත් එකතු වෙලා හොඳ අධ්‍යක්ෂ මණ්ඩලයක් අරගෙන ලංකා හොස්පිට්ල් නමින් ලංකාවේ තිබෙන හොඳම පෞද්ගලික රෝහල බවට එය පත් කළා. එතනින් ගොඩනැඟුණු සම්බන්ධය හරහා එතුමා මාව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයා බවට පත් කළා. මේ වැඩත් සමඟ අප අතර හොඳ සම්බන්ධතාවක් ගොඩනැඟුණා. එතුමා අතහැර නොගිය වැඩ කළ හැකි කෙනෙක් බවට මා ගැන ලොකු විශ්වාසයක් එතුමාට ඇති වී තිබුණා.

 

ජනාධිපතිතුමා ඔබට විශේෂ වගකීමක් භාරදී තිබෙනව ද?

එතුමා බලයට පත් වූ පසුව මට විශේෂ වගකීමක් භාර දුන්නා. රාජ්‍ය ආයතනවලට සභාපතිවරු පත් කිරීම සඳහා කමිටුවක් පත් කළා. මීට කලින් එවැනි දෙයක් තිබුණේ නැහැ. මීට කලින් ජනාධිපතිතුමා තමයි ආයතනවලට සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන් පත් කළේ. එම පත්වීම් කෙරෙන්නේ දේශපාලන වශයෙන්. ජනාධිපතිතුමාට අවශ්‍ය වුණේ රජයේ සහ සංස්ථා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලවලට සුදුසුකම් තිබෙන අය පත් කිරීමට. ඒ නිසයි එතුමා කමිටුවක් පත් කළේ. වෛද්‍ය ප්‍රසන්න ගුණසේනත් මමත් ජනාධිපතිතුමා වෙනුවෙන් එම කමිටුව නියෝජනය කළා. එය ලොකු වගකීමක්.

 

වියත්මඟ සංවිධානය මුල සිටම ප්‍රකාශ කළේ දූෂිතයන්ට, වංචාකාරයින්ට සහ ඩීල්කාරයින්ට දඬුවම් දිය යුතුයි කියලා. නමුත් එය සිදු වුණේ නැහැ?

නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට දේශපාලන බලපෑම් කිරීමට ජනාධිපතිතුමා කිසිසේත් කැමැති වුණේ නැහැ. පසුගිය ආණ්ඩුව කාලේ ප්‍රධාන දේශපාලනඥයන් නීතියට දැඩි ලෙස බලපෑම් කළා; නීතිය අපහරණය කළා. ජනාධිපතිතුමා කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඔවුන්ගේ රාජකාරිය කළ යුතුයි කියලා. දැන් මෙතන තිබෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල කාර්යක්ෂමතාව පිළිබඳ ගැටලුවක්. නමුත් අප ජනතාව වශයෙන් බලාපොරොත්තු වෙනවා මේ කටයුතු ඉක්මනින් කළ යුතු බව. ඊළඟ රජය පිහිටුවා අදාළ නීතිය අධිකරණය සම්බන්ධ අමාත්‍යවරුන් නිසියාකාරව කටයුතු කරන අතර නීතිය ක්‍රියාත්මක කරන ආයතන කෙරෙහි පසුවිපරමක යෙදිය යුතුයි. කලින් සිදුවුණේ දේශපාලනඥයන්. විසින් වැරදිකාරයන්ට දඬුවම් දිය යුතුද කියා තීරණය කිරීමයි. ඔවුන් දේශපාලන හේතු මත මාධ්‍ය සංදර්ශන පවත්වා ඒවා තීරණය කරනවා. තමන්ගේ ප්‍රතිවාදියා මාධ්‍ය ඉදිරියේ වැරදිකරුවකු කරනවා. අපි එවැනි දේ කරන්නේ නෑ. නීතිය හරියට ක්‍රියාත්මක කොට වැරදි සොයා දඬුවම් දීමයි අප කරන්නේ. අපේ රටේ අධිකරණ ක්‍රියාවලිය සාමාන්‍යයෙන් වේගවත් නැහැ. දැන් තිබෙන්නේ එම ගැටලුවයි. ඒවා වෙනස් කිරීමට නම් නීතියේ වෙනසක් කළ යුතු වෙනවා. අධිකරණයට පොලීසියට පහසුකම් සලස්වන්න ඕනෑ. රජයක් වශයෙන් අප එය සිදුකොට සමස්ත අධිකරණ ක්‍රියාවලියම වෙනස් කර ගත යුතු වෙනවා.

මේ මැතිවරණයෙන් පසුව එළැඹෙන අලුත් රජයකදී බැඳුම්කර මංකොල්ලයට සම්බන්ධ අයට දඬුවම් ලැබෙයි ද?

පැහැදිලිවම දඬුවම් ලැබෙනවා. මෙය මෙතෙක් සිදු වුණ බරපතළම වංචාවක්. දැන් කොමිසම ඒ සඳහා කටයුතු කරගෙන යනවා. නීතිමය ක්‍රියාවලියක් සිදුවෙනවා. අපි බලයට පැමිණි පසු අර්ජුන මහේන්ද්‍රන් නැවත ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරනවා. පසුගිය ආණ්ඩුවෙන් කිසිවක් කළේ නැහැ. නමුත් මේ නෛතික රාමුව තුළ මේ සඳහා කාලයක් ගත වෙනවා.

 

එම මුදල් ආපසු රජයට ගත හැකි ද?

සියලුම මුදල් ආපසු ගත නොහැකියි. මුදල් ජාති දෙකක් තිබෙනවා. එකක් සොරකම් කළ මුදල්. දෙවැනි එක සොරකම නිසා ආර්ථිකයට සිදු වුණ වක්‍ර බලපෑම. එම වක්‍ර බලපෑම අතිවිශාලයි. සෘජුව සොරකම් කළ මුදල් ආපසු ගත හැකි වුවත් වක්‍රව සිදු වුණ පාඩුව ආපසු පියවා ගැනීමට බැහැ.

 

ජිනීවාහිදී අප රටට එල්ල වුණු යුද අපරාධ ප්‍රශ්නයේදී ඔබ අප රට වෙනුවෙන් පෙනී සිටියා. මෙහි සත්‍ය තත්ත්වය කුමක් ද?

පසුගිය රජය බලයට එනවිට ඔවුන්ට පිටුපසින් සිටියේ දෙමළ ඩයස්පෝරාව සහ බටහිර රටවල්. මේ දෙගොල්ලටම මහින්ද රාජපක්ෂ රජය පෙරළන්න අවශ්‍ය වුණා. දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය වුණේ ඔවුන්ගේ අහිමි වුණ ඊළාම් සිහිනය යථාර්ථයක් කිරීම සඳහා රාජපක්ෂ රජය පෙරළා දුර්වල රජයක් පත් කර ගෙන නීතිමය ක්‍රියාමාර්ග හරහා ව්‍යවස්ථාව වෙනස් කර ගැනීමටයි. බටහිර රටවලට අවශ්‍ය වුණේ ආසියාව තුළ කේන්ද්‍රස්ථානය ලෙස නැගී සිටින ශ්‍රී ලංකාව දුර්වල කොට රූකඩ රජයක් පවත්වා ගෙන යෑමටයි. චීනයට එරෙහිවයි ඔවුන්ගේ දීර්ඝ කාලීන සටන තිබෙන්නේ. ඒ නිසා මේ ශක්තිමත් නායකයා ඉවත් කර ගැනීමට මේ දෙගොල්ලටම අවශ්‍ය වුණා. මේ නිසා ජිනීවා මානව කවුන්සිලය හරහා බොරු චෝදනාවන්ට පදනම් වූ යන්ත්‍රණයක් සෑදීමට මේ අයට වුවමනා වුණා. ඊට එරෙහිව කතා කිරීමට කිසිවකු සිටියේ නැහැ. ඒ කාලේ පක්ෂ සියල්ල එකට එක්වී ආණ්ඩුව සමඟයි සිටියේ. මේ සඳහා ඉදිරිපත් වී ඉංග්‍රීසි භාෂාවෙන් කරුණු ඉදිරිපත් කිරීමට හැකි අය සිටියේ ඉතා සුළු ප්‍රමාණයක්. බොහෝ දෙනෙක් මේ සඳහා ඉදිරිපත් වීමට බය වුණා. මමත් සරත් වීරසේකර මහතාත් ඉදිරිපත් වුණේ ස්වේච්ඡාවෙන්. අපි ජිනීවා කවුන්සිලය ඇතුළේ දේශන කළා, වාද කළා. එවිට අප වටා ලොකු ජනමතයක් ‍ගොඩනැ‍‍‍‍ගෙන්න පටන් ගත්තා. ලංකාවට ලොකු අසාධාරණයක් වන බවත් ලංකා රජය බොරු කරන බවත් ලාංකික ජනතාව තේරුම් ගත්තා. පූජ්‍ය පක්ෂයත් ඉදිරියට ආවා. අවසානයේදී ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට බැරි වුණේ අපි නිසයි.

 

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව පැවැත්වෙන මෙවර මැතිවරණය ඔබ දකින්නේ කොහොම ද?

මැතිවරණය කල් දැමීම සුදුසු නැහැ. ජනතාවගේ පරමාධිපත්‍යය තීන්දු වන්නේ මැතිවරණ‍යකින්. කුමක් හෝ හේතුවකට මැතිවරණය කල් දැමීම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම මත මැතිවරණය පැවැත්විය හැකියි. දකුණු කොරියාවේ මැතිවරණය පැවැත්වුණේ කොරෝනා වසංගතයේ බරපතළම අවදියේදියි. ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙනවා. නමුත් අපේ රටේ මැතිවරණ කොමිසම උත්සාහ කළේම මැතිවරණය කල් දැමීමටයි. එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාව වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක් මැතිවරණ කොමිසමේ සිටිනවා. ඒ පුද්ගලයා මැතිවරණයට විරුද්ධව උසාවි පවා ගියා. ඔහු කිසිසේත්ම ස්වාධීන නැති පක්ෂපාතී, රටට ද්‍රෝහි පුද්ගලයෙක්. ඒ වගේම මැතිවරණ කොමිසම සම්පූර්ණයෙන් ක්‍රියා කරන්නේ මැතිවරණයට විරුද්ධවයි. අපේක්ෂකයන්ට මැතිවරණය කිරීමට කිසිදු නිදහසක් දෙන්නේ නැහැ. ජනතාව ඉල්ලන්නේ අලුත් මුහුණු. නමුත් අලුත් අපේක්ෂකයකුට මේ මැතිවරණය තුළ කිසිදු ඉඩක් නැහැ. ඔවුන්ගේ අංකයවත් ජනතාවට කියා ගැනීමට විදියක් නැහැ. මේ මැතිවරණය සම්පූර්ණයෙන්ම ක්‍රියා කරන්නේ ජනතාවට එරෙහිව.

 

මැතිවරණ කොමිසම නම්‍යශීලී කර ගැනීමට ක්‍රමයක් නැද්ද?

නැහැ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මැතිවරණ කොමිසමට ස්වාධීන කොමිසමක් ලෙස විශාල බලයක් තිබෙනවා. නමුත් ඔවුන් ස්වාධීන වී සිටින්නේ වචනයට පමණයි. ඔවුන් පැහැදිලිවම පක්ෂග්‍රාහී ලෙස ක්‍රියා කරනවා.

 

ඔබ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක්, වරලත් ගණකාධිකාරීවරයෙක් වගේම උගතෙක් බුද්ධිමතෙක්. මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු ඔබ බලාපොරොත්තු වන්නේ කවර අමාත්‍යාංශය ද?

ඒක ජනාධිපතිතුමාගේ තීන්දුවක්. මට ‍කුමන අමාත්‍යංශයක් දුන්නත් කරන්න බැරිකමක් නැහැ. අමාත්‍යංශයක් නොදුන්නත් ඒක ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ කැමැත්තයි. මම කිසි දෙයක් ඉල්ලන්නේ නැහැ.

 

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ප්‍රබලයන් දෙදෙනකු ඉදිරිපත් වෙනව‍ා. ඒ ප්‍රසන්න රණතුංග සහ ප්‍රසන්න රණවීර යන මහත්වරුන්. එම අපේක්ෂකයන් දෙදෙනා දැනටම ගම්පහින් 1 සහ 2 අල්ලාගෙන ඉවරයි. මේ මොහොතේ ඔබට කිසියම් ස්ථානයක් තිබෙනවද?

ඒක මට ප්‍රශ්නයක් නොවෙයි. මට ස්ථානය කිසිසේත්ම වැදගත් වන්නේ නැහැ.

 

ඔබ නවකයෙක්. දිස්ත්‍රික්කයට කිසියම් සේවයක් කිරීමට ඉඩ ලැබුණා ද?

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 576ක් තිබෙනවා. මේ පාසල් තුළ දැවැන්ත විෂමතා තිබෙනවා. මෙයට හේතුව ජාතික පාසල් සහ පළාත් පාසල් අතර තිබෙන වෙනසයි. ගම්පහ දිස්ත්‍රික්කය තුළ ජාතික පාසල් තිබෙන්නේ 17යි. මේ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන මට්ටම දිස්ත්‍රික්ක මට්ටමින් ඉතා පහළ මට්ටමකට වැටී තිබෙනවා. මෙය නඟාසිටුවීමට නම් ජාතික පාසල් ප්‍රමාණය වැඩි කළ යුතුයි. මම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය හදන විට ජාතික පාසල් ප්‍රමාණය වැඩි කළ යුතුයි යන යෝජනාව ගෙනාවා. ජනාධිපතිතුමා පත් වී පළමු කැබිනට් පත්‍රිකාවෙන්ම එතුමා පළමු වසරේම ජාතික පාසල් 1000ක් පිහිටුවීමට අනුමත කළා. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පළමු වසරේදීම සෑම ආසනයකටම ජාතික පාසල් 4 ගණනේ ලැබෙනවා. එවිට ජාතික පාසල් 52ක් හිමි වෙනවා. රැකියා උත්පාදනය, ස්වයං රැකියාවල නිරත වන්නන්ට ණය සහන සැලසීම ආදිය පිටුපස සිටින්නේ අපියි. සියනෑ අරුණ නමින් ගම්පහ දිස්ත්‍රික්කයට වැඩසටහනක් මම ඉදිරිපත් කර තිබෙනවා. එය දස වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක්. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන විට සෞභාග්‍යයේ දැක්ම ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වීම සිදුවෙනවා. මම ජනතා වරමක් ඉල්ලන්නේ ඒකටයි. මට ජාතික ලැයිස්තුවේ උඩින්ම එන්න තිබුණා. නමුත් මම තරග කොට එන්නේ මගේ වැඩසටහනට ජනවරමක් අවශ්‍ය නිසයි. එසේ නොවුණහොත් මම මේ කිරීමට සූදානම් වන වැඩපිළිවෙළට ජනතාවගේ කැමැත්තක්දී නැතැයි කිසිවකුට හෝ කිව හැකියි. ඒ නිසා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මට ජනවරමක් දෙන්න. ඒ වගේම එය ඉහළ ජනවරමක් නම් මෙය ක්‍රියාත්මක කිරීමට මට වඩාත් පහසු වෙනවා. මගෙන් වැඩක් ගන්නවා ද නැද්ද යන්න තිබෙන්නේ ජනතාවගේ අතේයි.

 

 

චතුමී පිටිපන

ඡායාරූපය - රොෂාන් පිටිපන

නව අදහස දක්වන්න