වසර 2021 දක්වා ආසියාවේ රග්බි තරග නෑ | දිනමිණ

වසර 2021 දක්වා ආසියාවේ රග්බි තරග නෑ

ෆවුස් මොහොමඩ්

19න් පහළ තරගාවලියත් අවලංගුයි

කොවිඩ් වසංගතයේ බලපෑම හේතුවෙන් ඉදිරි මාස තුනේදිත් රග්බි පිටිය වසා දැමීමට ආසියානු රග්බි සංගමය ගත් තීරණයත් සමඟ, අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන 15 සාමාජික රග්බි ශූරතාවලියට සත්කාරකත්වය ලබා දීමට තිබුණු බලාපොරොත්තුව මුළුමනින්ම අතහැර දැමීමට ශ්‍රී ලංකාවට සිදු විය. ගෝලීය වසංගතයේ තත්ත්වය සලකා බලමින් මාස තුනෙන් තුනට තරග කාල සටහන කොටසින් කොටස අවලංගු කළ ආසියානු රග්බි සංගමය පසුගියදා අවසන් කාර්තුවේදිත් (ඔක්තෝබර් - දෙසැම්බර්) රග්බි පිටිය වසා දැමීමට තීරණය කළේය.

කෙසේ වෙතත් ආසියානු යොවුන් රග්බි ශූරතාවලිය පැවැත්වීමට අවසර ඉල්ලා ශ්‍රී ලංකා රග්බි ආයතනය විසින් පසුගියදා කරනු ලැබූ ඉල්ලීමට ක්‍රීඩා අමාත්‍යාශයෙන් ද යහපත් ප්‍රතිචාර නොලැබිණි. එම තරගාවලිය ඇතුළු තවත් තරගාවලි 3ක් පැවැත්වීම සඳහා රග්බි ආයතනය කළ ලිඛිත ඉල්ලීමට පිළිතුරු ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය දන්වා සිටියේ ක්‍රීඩා වෛද්‍ය ආයතනය දුන් නිර්දේශ සහ ජාත්‍යන්තර ගුවන් ගමන් තහනම හේතුවෙන් මේ වසරේදී ශ්‍රී ලංකාවේ කිසිදු ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්වීමට අවස්ථාවක් නොලැබෙන බවකි.

චීන තායිපේ, කොරියාව, හොංකොං සහ ශ්‍රී ලංකාව සහභාගි වීමට නියමිතව තිබූ මේ තරගාවලිය දෙසැම්බර් මාසයේ 6 වැනිදා සිට 12 දක්වා පැවැත්වීමට නියමිතව තිබුණු අතර, වසර 2021 ලෝක රග්බි සම්මේලන යොවුන් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් ද විය.

වෛද්‍ය කමිටුවේ සහ තරගාවලි කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් ආසියානු රග්බි සංගමය මේ තීරණය ගෙන තිබේ. ආසියානු රග්බි ප්‍රජාව සහ ක්‍රීඩාවට සම්බන්ධ සියලු දෙනා කොවිඩ් වසංගතයෙන් රැක ගැනීමේ අවශ්‍යතාව මත 2020 වසරම ආසියානු රග්බි තරග බිම වසා දැමීම ඥානාන්විත තීරණයක් බව එම සංගමයේ සභාපති කයිස් අල් දලායි නිවේදනය කළේය.

කොවිඩ් වසංගතය ව්‍යාප්ත වූ මාර්තු මාසයේ සිට ගත වූ මාස 5ක කාලය ඇතුළත ආසියානු රග්බි සංගමය විසින් අවලංගු කරනු ලැබූ තරගාවලි රටවල් 12ක් තරග වදින සත් සාමාජික ආසියානු රග්බි තරගමාලාව කැපී පෙනේ. වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වලට අයත් එම තරගමාලාව අදියර තුනකින් පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව එහි තෙවැනි අදියරේ සත්කාරකත්වය දැරීමට නියමිතව තිබිණි. ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාව අවලංගු කරනු ලැබුවේ පළමුවරටය. මීට අමතරව අවුරුදු 18න් පහළ සහ 20න් පහළ යොවුන් තරගාවලි ද අවලංගු කිරීමට පසුගිය මාස කිහිපයේදී ආසියානු රග්බි සංගමය පියවර ගත්තේය.

නව අදහස දක්වන්න