ජනරංජන නායකයා යළිත් අගමැති පුටුවට | දිනමිණ


 

ජනරංජන නායකයා යළිත් අගමැති පුටුවට

නම වන පාර්ලිමේන්තුවේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේය. ඒ බුදුන් වැඩම කළ ඓතිහාසික කැලණි විහාරයේ සිටය. අනුරාධපුරයෙන් හෝ කැලණියෙන් හෝ වැඩ අරඹන සත් පුරුෂයකුට වරදින්නට හේතුවක් නැත. එම පුදබිම්වලින් රාජකාරි පටන් ගන්නා නායකයන්ට දේවාශිර්වාදය ලැබේ. මහජන සත්කාරය ලැබේ. ස්වභාව ධර්මයේ අනුග්‍රහය ලැබේ. ලෝකයාගේ ආකර්ෂණය ලැබේ. රාජපක්ෂලා දෙවියන් - බුදුන් වැඳ නමස්කාර කොට,හෙළ සිරිතට අනුව ස්වකීය කටයුතු ආරම්භ කරන නායකයෝය. දේශයේ අතීත උරුමය ද, ජාතියේ අන්‍යතාවද මහ ඉහළින් පිළිගැනීම නායකයන් සතු උසස් ගුණාංගයකි. එය මහින්ද රාජපක්ෂ චරිතය තුළ හොඳින් තහවුරු වී තිබේ.

මහ මැතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ ජයග්‍රහණය සටහන් විය යුත්තේ දුෂ්කර අභියෝග මැදින් බවය. ඔව්! එය මහාර්ඝ සත්‍යයෙකි. මහින්ද රාජපක්ෂ නම් දේශපාලන චරිතය දෙස ආපසු හැරී බලන විට එය සනාථ වෙයි. 1970න් ආරම්භ වන ඔහුගේ දේශපාලන ජීවිතය අතිශය දුෂ්කර අභියෝගවලින් පිරී පැවතිණි. වරෙක ඔහු ධනපති කඳවුරට එරෙහිව සටන් කළේය. තව වරෙක රාජ්‍ය භීෂණයට එරෙහිව සටන් කළේය. තවත් වරෙක ලෝක ත්‍රස්තවාදයට හා ලෝක අධිපතිවාදයට එරෙහිව සටන් කළේය. යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් ඔහු කළ කැප කිරීම පලස්තීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයෙන් පැහැදිලි වෙයි. පලස්තීන ජනතාව අදටත් ආදරය කරන ලෝක නායකයා මහින්ද රාජපක්ෂය.

මහින්ද රාජපක්ෂ තරම් ජනප්‍රිය දේශපාලන චරිතයක් මෑත ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවෙන් බිහි වී නැත. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතිවිශිෂ්ට ජයග්‍රහණය පසු පස තිබූ යෝධ සෙවණැල්ල මහින්ද රාජපක්ෂ යැයි කීම බොරුවක් නොවේ. 2015 දී දේශපාලන පරාජයක් අත්පත් කර ගත් මහින්ද මහතා වහාම සිය කාල්ටන් නිවස බලා ගියේය. එහෙත් රටේ ජනතාව ඔහුට ඉස්පාසුවක් ගන්නට ඉඩක් තැබුවේ නැත. ජනාධිපති මහින්දට වඩා පරාජිත මහින්ද බලවත් විය. රටේ හතර දිග්භාගයේ ජනතාව කාල්ටන් නිවස වටා රොක්වූහ. තමන්ගෙන් වරදක් සිදු වී ඇතැ’යි ජනතාව පිළිගත්හ. ඇතැම්හු සමාව ඉල්ලා බැගෑපත් වූහ. එතැනින් ආරම්භ වූ ‘මහින්ද රැල්ල’ දැන් නැවතී ඇත්තේ සියලු ප්‍රතිගාමීන් බිමට හාන්සි කරමින්ය.

රාජපක්ෂලා අභියෝග හමුවේ පැන-දුවන්නේ නැත. තර්ජන-ගර්ජන හමුවේ හැකිලෙන්නේ නැත. මේ සියල්ලටම වඩා කැපී පෙනෙන ලක්ෂණය වන්නේ විදේශාධිපත්‍යය හමුවේ අභීතව නැඟී සිටින්නට පිට කොන්දක් රාජපක්ෂලා සතුවීමය. 2005 දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති පදවියට පත් නොවූයේ නම්; ශ්‍රී ලංකාව මේ වන විටත් රාජ්‍යයන් දෙකකි. උතුරේ වෙනම රාජ්‍යයක් පිහිටු වීම සඳහා ලෝකයේ බලවත් රාජ්‍යයෝ ගණනාවක් සහයෝගය ලබා දුන්හ. ඔවුන් ආණ්ඩුවට ලබා දුන් උපදේශනය වූයේ පෙඩරල් රාජ්‍යයක් බිහි කරනු යන්නය. මහින්ද මහතා එය පිළිගත්තේ නැත. ඔහු ස්වකීය උපායමාර්ග ඔස්සේ ත්‍රස්තවාදය අවසන් කළේය. යුද්ධයත් අවසන් කළේය. අභියෝග ජය ගැනීමේ අපූරු හැකියාවක් මේ නායකයාට තිබේ.

මහින්ද මහතා හතර වන වතාවටත් අගමැති පදවියට පත් වන්නේ මැතිවරණ ඉතිහාසයේ ඓතිහාසික ලකුණක් ද සනිටුහන් කරමින්ය. මෙතෙක් මැතිවරණයක දී ඔහු තරම් මනාප ලබා ගත් වෙනත් මහජන නියෝජිතයකු නැත. මහින්ද මහතා මෙතරම් ජනහිතකාමී පුද්ගලයකු බවට පත් වන්නේ ප්‍රධාන කරුණු දෙකක් නිසාය. ඉන් පළමු සාධකය වන්නේ ඔහු සතු දේශපාලන දැක්මය. දෙවන සාධකය වන්නේ අතිශය සංවේදී මනුස්සකමය. උතුරා යන මානව දයාවට මිනිස්සු ආදරය කරති. මහින්ද මහතා යුද්ධයෙන් පීඩාවට පත් අසරණ ජනතාව සමඟ දුක හා සන්තාපය බෙදා ගත්හ. ඔහු යුද බිමට ගියේය. කඳවුරුවලට ද ගියේය. ත්‍රස්ත ප්‍රහාරයක ගිනිදැල් නිවී යන්නටත් පෙර එබඳු ස්ථාන නිරීක්ෂණය කළේය. ඔහු ජනතාවගේ සැබෑ නායකයෙක් මිස කාඩ්බෝඩ් වීරයෙක් නොවේ.

රබර් බෝලයක් දියෙහි ගිල්වා රඳවා තබා ගත නොහැකි සේම ජනරංජන නායකයකු ද නිහඬ කිරීමේ හැකියාවක් කිසි‍වකුටත් නැත. යහපාලන ආණ්ඩුව රාජපක්ෂ පවුලෙන් දිගින්දිගටම පළිගත්තේය. පවුලේ සියලු දෙනාට චෝදනා එල්ල කළේය. පොලිසිය වරින්වර පැමිණ එකිනෙකා අත්අඩංගුවට ගත්හ. රහස් පොලීසිය නිරන්තරයෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්හ. රාජපක්ෂ පාලන සමයේ රාජකාරි කළ උසස් නිලධාරීන්ට දඬුවම් කළහ. මේ කිසිවකින් රාජපක්ෂලා වැටුණේ නැත. සිදු වූ එකම දෙය නම්; පොදුජනයා රාජපක්ෂ පවුල වටා කඳවුරු බැඳ ගැනීමය. අද එහි ප්‍රතිඵලය මුළු ලෝකයටම දැන ගත හැකිය.

දැන් එළැඹ ඇත්තේ තවත් අභියෝගාත්මක කාලයකි. රටේ ජනතාව කිසිදු අඩුවකින් තොරව ආණ්ඩු බලය ලබාදී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ආර්ථික දැක්මට ද අනුමැතිය ලබාදී තිබේ. මහජනයාගේ සම්පූර්ණ විශ්වාසය ජනාධිපතිවරයා කෙරෙහි ද අගමැතිවරයා කෙරෙහි ද යොමු වී තිබේ. විසි එක් වන සියවසට ගැළපෙන නව රාජ්‍යයක් බිහි කිරීම මේ නායකයන්ගේ ද අලුත් ආණ්ඩුවේ ද වගකීම වෙයි. මේ වන විට විපක්ෂ‍යක් කියා ප්‍රබල හඬක් නැත. තුන්වන බලවේගය ද බිමට හාන්සි වී ඇත. විපක්ෂයේ කාර්යභාරය ද ආණ්ඩු පක්ෂයටම ඉටු කරන්නට සිදු වෙතැ’යි සමහරු පෙන්වා දෙති. කුමන තත්ත්වයක් යටතේ වුව හිතුවක්කාරී නොවී සිටීම ආණ්ඩුවේ වගකීම වෙයි.

රටේ කෝටි දෙකක ජනතාව සමඟ අපි ද අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සුබ පතමු. රටට සුබ අනාගතයක් බිහි කිරීමේ කාර්යභාරයෙන් හරි අඩක් ඔබට බාරය.

 

නව අදහස දක්වන්න