මුහුදෙන් ගෙනා කහ සහ එනසාල් තොගයක් අල්ලයි | දිනමිණ


 

මුහුදෙන් ගෙනා කහ සහ එනසාල් තොගයක් අල්ලයි

වටිනාකම කෝටියයි

නීති විරෝධීව ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එන ලද රුපියල් කෝටියකට ආසන්න වියළි කහ සහ එනසාල් කිලෝග්‍රෑම් 375ක් යුද හමුදා බුද්ධි ඒකකය මඟින් කල්පිටිය ආනවාසල කලපු තීරයේදී පෙරේදා (08) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදා බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී

වේළන ලද කහ කිලෝග්‍රෑම් 114ක් හා එන්සාල් කිලෝග්‍රෑම් 261ක් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

කහ හා එනසාල් තොගය ධීවර යාත්‍රාවකින් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන විත් ඉන් පසුව මොහොත්තුවාරම් දූපතේ රහසිගත ස්ථානයක සඟවා පෙරේදා (08) නැවත කල්පිටිය ආනවාසල කලපු තීරයට ධීවර යාත්‍රාවකින් රැගෙන එමින් තිබියදී වැටලීම සිදු කර තිබිණි. ධීවර යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර යාත්‍රාවේ ගමන් කළ අනෙක් ධීවර කාර්මිකයන් දෙදෙනා පලා ගොස් තිබේ.

නිරෝධායන පනත උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස රැගෙන ආ මෙම එන්සාල් හා කහ තොගය කල්පිටිය විජය නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් විෂබීජ හරණයට ලක් කර ඉන් පසුව කල්පිටිය පොලීසියට භාර දීමට කටයුතු කර තිබිණි. කල්පිටිය විජය නාවික හමුදා කඳවුරේ නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදු කළහ. එනසාල් හා කහ තොගය සමඟ ධීවර යාත්‍රාව හා සැකකරු කල්පිටිය පොලීසියට භාර දීමෙන් අනතුරුව ඊයේ (09) පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 

මිහිර විජේසේකර

මාරවිල සමූහ,කල්පිටිය සමූහ සහ

වනාතවිල්ලුව සමූහ

 

නව අදහස දක්වන්න