ලොව වටා කොරෝනා 17 වැනි තැන තුර්කියට | දිනමිණ

ලොව වටා කොරෝනා 17 වැනි තැන තුර්කියට

ආසාදිතයෝ 239,622යි  මරණ 5,829යි  222,656ක් සුවය ලබති

ලොව කොරෝනා ආසාදනය අතරින් 17 වැනි ස්ථානයේ සිටින්නේ ආසාදිතයන් 239, 622ක් මරණ 5,829ක් සහ සුවය ලැබීම් 222,656ක් වාර්තා වෙන තුර්කියයි.

එරට මුල්ම රෝගියා වාර්තා වූයේ මාර්තු 10 වැනි දාය. ඉන්පසු කෙමෙන් වර්ධනය වූ එරට අසාදිතයන් ගණන මාර්තු අගභාගය වන විට ශීඝ්‍රයෙන් වර්ධනය විය. මැයි මුල් භාගය වන විට මේ ශීඝ්‍රතාව තරමක් අඩු වූවත් දෛනික පදනමින් එය ආසාදිතයන් එක් දහසක මට්ටමේ පැවැතිණි.

තුර්කියේ දෛනිකව ඉහළම රෝගීන් අනුපාතයක් පෙන්නුම් කළේ අප්‍රේල් 11 වැනි දාය. ඒ 5,138කි. අප්‍රේල් අග භාගය වන විට ක්‍රමයෙන් එක් දිනක ආසාදිතයන් ගණන පහත බසින්නට විය. එය ජූනි 2 වැනි දා 786ක අවම මට්ටමට පත් විය. නැවත ක්‍රමයෙන් වර්ධනය වූ එරට ආසාදිතයන් ප්‍රමාණය නැවත උපරිමයට පත් වූයේ ජූනි 15 වැනිදා සහ ජූනි 24 වැනිදාය ඒ පිළිවෙළින් 1,592ක් සහ 1,458කි. අගෝස්තු 4 වැනි දා වන විට 1,083 ක් දක්වා මේ ගණන පහත බැස තිබිණි.

එරට නව ආසාදන ප්‍රමාණය අගෝස්තු 8 වැනි දා වන විට 1,172කි. මේ අනුව වර්තමානයේ එරට තත්ත්වය පෙන්නුම් කරන්නේ එකම ස්ථාවර මට්ටම දිගටම පවතින ආකාරයකි. එරට දෛනික මරණ ගණන වැඩියෙන්ම වාර්තා වූයේ අප්‍රේල් 19 වැනි දාය, 127කි. අප්‍රේල් 10 වැනි දා සිට අප්‍රේල් 26 වැනි දා දක්වා කාලයේ දෛනික මරණ ගණන 100ට වැඩියෙන් පැවැතියත් ඉන්පසු එරට දෛනික කොවිඩ් මරණ අනුපාතය ශීඝ්‍රයෙන් පහත බැසීමට පටන්ගත් අතර ජූනි 13 වැනි දා වනවිට එක් දිනක මරණ ගණන 14 දක්වා පහත බැස්සේය. අගෝස්තු 4 වැනි දා වන විට එම ගණන 18ක් විය. මේ අනුව තුර්කියේ දෛනික කොවිඩ් මරණ ගණන දැන් 15ක සාමාන්‍ය මට්ටමේ පවතියි. එරට කොවිඩ් ආසාදිත මරණ අනුපාතය සියයට 2.45ක මට්ටමේ පවතියි. ආසාදිත පිරිසෙන් සුවය ලැබූවන්ගේ ගණන අඩු කළ විට ඉතුරු වන්නේ 16,443ක් පමණි.

මේ අනුව එරට කිසියම් මට්ටමකට කොරෝනා වසංගතය පාලනය කර ගැනීමට සමත් බවක් දක්වා ඇතැයි පෙනී යයි. මෙහිලා වැදගත්ම කාරණය වන්නේ එරට දෛනික නව ආසාදිතයන් ගණන සහ මරණ ගණන සාර්ථක ලෙස පහත බැස තිබීමයි.

 

බුද්ධි කරුණාරත්න

නව අදහස දක්වන්න