මඟුල්මඩුවේදී දිව්රා පොරොන්දු වෙමි! | දිනමිණ


 

මඟුල්මඩුවේදී දිව්රා පොරොන්දු වෙමි!

අද අලුත් දවසක් වන්නා සේම ඓතිහාසික දවසක් ද වන්නේය. හේතුව රටට වැඩ කළ යුතු නව අමාත්‍ය මණ්ඩලය මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදී දිවුරුම් දීමය. මෙය ජාතියක් අවදි කරන අවස්ථාවක් යැයි සලකන්නට පුළුවන. ජනාධිපතිවරයා ස්වර්ණමාලී චෛත්‍යය අසලදී දිවුරුම් දුන්නේය. අගමැතිවරයා බුදුන් වැඩම කළ කැලණි විහාරයේදී දිවුරුම් දුන්නේය. නව අමාත්‍ය මණ්ඩලය මහනුවරදී දිවුරුම් දෙති. රටක් ගොඩනැඟීම සඳහා ද ජාතියක් අවදි කිරීම සඳහා ද ඉතිහාසයෙන් පූර්වාදර්ශ ලබාගත යුතු යැයි විද්වත් මතයක් පවතී. දේශපාලකයන් වශයෙන් රාජපක්ෂලා මේ මතයට හැම විටම ගරු කරති. අතීත උරුමය අමතකකොට ඉදිරිගාමී විය නොහැකි බව පාලකයන් හා නායකයන් වටහාගත යුතුය.

ඓතිහාසික ස්ථානයක සිට කරනු ලබන දිවුරුමක් කඩ කිරීමට කිසිවකු ඉදිරිපත් වන්නේ නැත. එබඳු ප්‍රඥප්තියක් කඩ කිරීම හෝ ඊට අවමන් කිරීම හෝ බලවත් පාපයක් කොට සැලැකීමට සමාජය පුරුදු වී සිටියේය. අදටත් එය එලෙසම පවතී. අපට අවශ්‍ය රට වෙනුවෙන් වැඩ කරන ඇමැති මණ්ඩලයකි. ඔවුන් පොරොන්දු කඩ නොකරන අවංක මිනිසුන් වීම ඉතා වැදගත්ය. සාධාරණ හා යුක්තිගරුක මිනිසුන් වීම ද ඉතා වැදගත්ය. මහජන සේවයට කැපවන මහජන නියෝජිතයා තමන්ගේ බඩ වඩා ගැනීමට උත්සුක වන්නේ නැත. ඔහු පොදු සමාජය වෙනුවෙන් කැපවීම් සිදු කරන පරාර්ථකාමී මිනිසෙකි. අපට හැ‍ඟෙන පරිදි නව අමාත්‍ය මණ්ඩලය එබඳු ආදර්ශවත් චරිතවලින් සමන්විතය.

අලුත් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය විසි හය දෙ‍නකුගෙන් සමන්විත වන බව වාර්තා වී ඇත. එකිනෙක අමාත්‍යාංශ සතු කාර්යභාරය වෙන - වෙනම ගැසට් කර ඇත. අමාත්‍ය මණ්ඩලය හෙවත් කැබිනට් මණ්ඩලය විශාල වීම පිළිබඳ විවිධ විවේචන පසුගිය කාලය තුළ පැවැතිණි. ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයකට අවශ්‍ය වන්නේ “මිනි කැබිනට්ටුවක්” හෙවත් කුඩා අමාත්‍ය මණ්ඩලයක් බව පොදු පිළිගැනීම වෙයි. එම සම්මුතියට එකඟ වෙමින් නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට යන බව පැහැදිලිය. අමාත්‍යාංශවල විෂය පථය හා කාර්යභාරය වෙන - වෙනම සටහන් කර තැබීම ද ඉතා වැදගත්ය. යහපාලන ආණ්ඩුවේ අමාත්‍යාංශ අතර විෂය පථයන් පිළිබඳ ගැටලු තිබිණි. නිවාස ඉදිකිරීම අමාත්‍යාංශ කිහිපයකට භාරදී තිබිණි. මේ අනුව නොයෙක් ගැටලු ඇති විය.

අමාත්‍යවරයකුට තමන්ගේ විෂය පථයට අදාළ විශාල කාර්යභාරයක් හිමි වේ. එලෙසම එම විෂය පථයට අදාළ බලයක් ද ඔවුන් වෙත පැවරේ. මේ සාධක භාවිත කළ යුත්තේ රටේ ඉදිරි ගමන සඳහාය. ඇතැම් අමාත්‍යාංශයකට විදේශ ආධාර ගලා එයි. එම ආධාර භාවිත කළ යුත්තේ රටේ යහපතට මිස තමන්ගේ පවුලේ යහපතට නොවේ. යහපාලන ආණ්ඩුවේ එක්තරා ඇමැතිවරයෙක් තම අමාත්‍යාංශයට ලැබුණු විදේශාධාර ආගමික අන්තවාදය පෝෂණය කිරීම සඳහා යොදා ගත්තේය. හිටපු නායකයන් ඒ ගැන සොයා බැලුවේ නැත. එහි ප්‍රතිඵලය වූයේ අන්තවාදීන්ගේ ප්‍රහාරයකට ශ්‍රී ලංකාව ගොදුරු වීමය. මෙබඳු අවාසනාවන්ත සිදුවීම් හැඳින් විය හැක්කේ පාලකයන්ගේ නොසැලකිල්ල නිසා ඇතිවූ දේවල් හැටියටය.

සෑම අමාත්‍යාංශයක්ම රටේ ජාතික ආරක්ෂාව ගැන, අධ්‍යාපනය ගැන සේම ජාතික උරුමයන් ගැන අවදියෙන් ක්‍රියා කළ යුතු යැයි උපදේශනයක් ජනාධිපතිවරයා විසින් ලබා දී තිබේ. එය අතිශය වැදගත් උපදේශනයකි. ජාතික ආරක්ෂාව ආරක්ෂක අමාත්‍යාංශයට හා ත්‍රිවිධ හමුදාවට පමණක් භාර දී අත පිසදා ගැනීම සුදුසු දෙයක් නොවේ. එහෙත් මීට පෙර සිදු වූයේ එයයි. පාස්කු ප්‍රහාරයෙන් පසු යහපාලන ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ සංචාරක හෝටල්වල ආරක්ෂාව එහි කළමනාකාරිත්වයට අයත් කාරණයක් බවය. ජාතික ආරක්ෂාව පිළිබඳ යහපාලන ආණ්ඩුවේ මතය එයින් සනාථ වෙයි. ජාතික ආරක්ෂාව පමණක් නොව; ජාතියේ සෞඛ්‍ය සම්බන්ධයෙන් වුව සාමූහික වගකීමක් පැවැතිය යුතුය.

ඇමැතිවරයකු වටා විශාල පිරිසක් එක් රොක් වෙති. එක පැත්තකින් පවුලේ ඥාතීහු සිටිති. තව පැත්තකින් දේශපාලන හිතවත්තු සිටිති. තවත් පැත්තකින් ව්‍යාපාරිකයෝ සිටිති. මේ සෑම කෙනෙකුගේම අපේක්ෂාව අමාත්‍යවරයා වෙතින් යමක් ලබා ගැනීමය. කෙනෙක් රැකියා අපේක්ෂා කරති. තව කෙනෙක් කොන්ත්‍රාත් ඉල්ලා සිටිති. තවත් කෙනෙක් වාසියක් බලාපොරොත්තු වෙති. ජාතියට වැඩ කරන ඇමැතිවරයකු නම්; පළමුව මේ අයගෙන් නිදහස් විය යුතුය. කෙනකුට රැකියාවක් ලබා දීම වරදක් නොවේ, එහෙත් එය සිදු විය යුත්තේ රටේ පොදු නීතියට හා පිළිගත් සම්ප්‍රදායට අනුවය. මධ්‍යම සංස්කෘතික අරමුදල භාරව ක්‍රියා කළ යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරයෙක් දේශපාලන හිතවතුන්ට හිතුවක්කාරී ලෙස රැකියා ලබා දෙමින් එම ආයතනය විනාශ කළේය. දැන් ඒ ගැන විමර්ශන ක්‍රියාත්මක වෙයි.

රටේ පොදු පිළිගැනීම වන්නේ අලුත් ආණ්ඩුව යටතේ සෑම අමාත්‍යාංශයක් ම සක්‍රීය වී මුළු රටම වැඩබිමක් බවට පත් විය යුතු බවය. අනාගත අභියෝග දෙස බලන විට රටේ සෑම ආයතනයක්ම වේගවත් විය යුතුය. ඒ සඳහා රාජ්‍ය අංශය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ යුතු බව ජනාධිපතිවරයාගේ අදහස වී තිබේ. ජනාධිපතිවරයා රාජ්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහා වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කර ඇත. එය නිවැරැදි දැක්මකි. ශ්‍රී ලංකාව වැනි ඓතිහාසික රාජ්‍යයක් යළි ‍ගොඩනැඟීම සඳහා රාජ්‍ය සේවයේ දායකත්වය අත්‍යවශ්‍ය වෙයි. රාජ්‍ය සේවය කාර්යක්ෂම විය යුතු බව ද මහජනයාට කාරුණිකව සේවා ඉටු කළ යුතු බව ද ජනාධිපතිවරයා කියා තිබේ. මැලේසියාව ගොඩනැඟූ මහතීර් මොහොමඩ් මහතා අනුගමනය කළ ක්‍රියා පටිපාටිය ද ඊට සමානය.

අද දිවුරුම් දෙනු ලබන සියලු අමාත්‍යවරුන්ට අපගේ උණුසුම් සුබ පැතුම් මේ සමඟ තිළිණ කරන්නට කැමැත්තෙමු. ඒ සමඟම අවධාරණය කළ යුත්තේ ඔබ- ඔබගේ වගකීම් හා යුතුකම් ගැන නිතර මෙනෙහි කරන්න යන්නය.

නව අදහස දක්වන්න