ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කල් යයි | දිනමිණ


 

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කල් යයි

නිරෝෂාන් ප්‍රියංකර

මේ මස 28 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) තරගාවලිය කල් දැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සෞඛ්‍ය බලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පැවැති සාකච්ඡාවකින් පසුව මේ තීරණය ගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සෞඛ්‍ය බලධාරීන්ගෙන් තරගාවලිය පැවැත්වීම සඳහා ඇති සෞඛ්‍ය අවදානම විමසා ඇති අතර, ක්‍රීඩකයන්ගේ නිරෝධායන කාලය ප්‍රමාණවත් නොවීම සහ දැනට ඇති සෞඛ්‍ය අවදානම් හේතුවෙන් ඔවුන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තරගාවලිය කල් දමා ඇත.

ඒ අනුව කොරෝනා වංසගතය සමඟ පවතින තත්ත්වය මත නිරෝධායන ක්‍රියාමාර්ග හේතුවෙන් තරගාවලියට එක් වන විදෙස් ක්‍රීඩකයන් මෙරටට ගෙන්වා ගැනීම දුෂ්කර වී ඇති බැවින් මෙලෙස තරගාවලියේ ආරම්භය ප්‍රමාද කිරීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා කියයි.

විදෙස් රටක සිට මෙරටට පැමිණෙන ඕනෑම අයකු දින 14ක නිරෝධායන කාල සීමාවකට යටත් විය යුතු බැවින්, තරගාවලියට එක් වන විදෙස් ක්‍රීඩයන්ද දින 14ක නිරෝධායන කාල සීමාවට යටත් වෙයි. මේ තරගාවලියේ ක්‍රීඩකයන් තේරීමේ අයිතිය තරගාවලියේ මෙහෙයුම් කටයුතු බාර ඩුබායි සමාගමට පැවරී ඇති අතර, ලබන සතිය වන තෙක් කණ්ඩායම් නම් කිරීම සිදු නොවනු ඇතැයි වාර්තා වේ. එම නිසා තරගාවලියට නම් කරන විදෙස් ක්‍රීඩකයන්ට මෙරටට පැමිණීමට සිදු වන්නේ තරගාවලිය ආරම්භයට දින කිහිපයකට පෙරය. නිරෝධායන කාල සීමාව දින 7ක් දක්වා අඩු කිරීමට ක්‍රිකට් ආයතනය සෞඛ්‍ය අංශ වෙත යෝජනා කර තිබුණ ද එය සෞඛ්‍ය අංශ විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

එමෙන්ම මේ වන විට සංචාරක කටයුතු නවතා දමා තිබීම, කොළඹ ජාත්‍යන්තර ගුවන් ගමන් සීමා වීම, ඇතැම් රටවල්වල ගුවන් තොටුපොළවල් වසා දමා තිබීම ද විදෙස් ක්‍රීඩකයන් ගෙන්වා ගැනීමේදී අභියෝග බවට පත්ව තිබේ.

ඒ අනුව තරගාවලිය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් පසු නොවැම්බර් මස මැද භාගයේදී පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මේ මස 28 වැනිදා සිට සැප්තැම්බර් මස 20 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබූ තරගාවලියට කණ්ඩායම් 5ක් එක් වන අතර, ඒවා කලම්බු සුපර් කිංග්ස්, ගෝල් ලයන්ස්, කැන්ඩි රෝයල්ස්, ජැෆ්නා සන්රයිසස් සහ දඹුල්ල කැපිටල්ස් ලෙස නම් කර තිබේ. මෙහි සියලු තරග දිවා රාත්‍රි ලෙස කොළඹ, දඹුල්ල, පල්ලේකැලේ සහ හම්බන්තොටදී පැවැත්වීමට සැලසුම් කර තිබිණි.

නව අදහස දක්වන්න