ලොව වටා කොරෝනා ජර්මනිය 18 වැනි තැනට | දිනමිණ


 

ලොව වටා කොරෝනා ජර්මනිය 18 වැනි තැනට

ආසාදිතයෝ 217,281යි

මරණ 9,261යි

197,900ක් සුවය ලබති

 

කොරෝනා ආසාදන අතින් ලොව 18 වැනි ස්ථානය හිමි කරගෙන ඇත්තේ ආසාදිතයන් 217,281ක්, මරණ 9,261ක් සහ සුවය ලැබීම් 197,900ක් වාර්තා වී ඇති ජර්මනියයි.

එරටින් මුල්ම කොරෝනා ආසාදිතයා වාර්තා වූයේ පෙබරවාරි මුල් භාගයේය. ඉන්පසු ක්‍රමයෙන් වර්ධනය වූ ආසාදිතයන් ගණන මාර්තු මැද භාගයේ දී ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළේය. මාර්තු අග භාගය වන විට එහි උපරිම මට්ටමට ළං වූ ජර්මනියේ කොවිඩ් ආසාදන ප්‍රමාණය අප්‍රේල් මුල් භාගය වන විට පහත වැටීමට පටන්ගෙන, දිගටම වේගයෙන් පහත වැටීමට පටන් ගත්තේය. සුළු උච්ඡාවචනයන් ඇති වූවත් මැයි අග වන විට එරට ආසාදිතයන් ප්‍රමාණය ඉතාම අවම මට්ටමට පැමිණියේය.

ජූනි 10 වැනි දා වන විට ජර්මනියේ කොරෝනා ආසාදිතයන් ගණන 6කට අඩුවිය. එරට උපරිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වූයේ මාර්තු 29 වැනිදාය. ඒ ආසාදිතයන් 6,933කි. මෑත කාලයේ සලකන විට අගෝස්තු 6 වැනිදා නව ආසාදිතයන් 1,106ක් වාර්තා වී ඇති අතර, අගෝස්තු 9 වැනි දා ආසාදිතයන් වාර්තා වූයේ 385ක් පමණි.

එරට මුලින්ම කොරෝනා මරණ දෙකක් වාර්තා වූයේ මාර්තු 9 වැනි දාය. මාර්තු අග භාගය වන විට වර්ධනය වීම වේගවත් වූ එරට කොරෝනා මරණ උපරිම වර්ධනයක් පෙන්නුම් කළේ මැයි අගභාගය වන විටයි. ජූනි මැදභාගය වනවිට එරට එක් දිනක සිදු වන කොවිඩ් මරණ ගණන අඩු මට්ටමකට පත්විය. වර්තමානයේ එරට කොරෝනා ආසාදියන් සිටින්නේ 10,620ක් පමණි. ආසාදිතයන් හා මියගිවුන් අතර අනුපාතය සියයට 4.3කට අඩු අතර, සුවය ලැබීම් අනුපාතය සියයට 91ක ඉතා ඉහළ මට්ටමක පවතියි. දියුණු රටක් වශයෙන් රටේ ජනතාවගේ සුබසාධනය ඉහළින් සුරකින ජර්මනිය නිසි කලට නිසි පියවර ගැනීමට මුල්තැන දීම නිසා යුරෝපයේ වටේටම පවතින රටවල කොරෝනා වසංගතය ඉතා වේගයෙන් පැතිර යද්දීත් එරටට යහපත් තත්ත්වයක් රඳවා ගැනීමට හැකි වී ඇත. දැන් එරට කොරෝනා රෝගය එකම මට්ටමේ පවත්වාගෙන යාමට ජර්මනියට හැකි වී ඇත්තේ මේ පසුබිම නිසාය.

බුද්ධි කරුණාරත්න

නව අදහස දක්වන්න