ජය, පරාජය සහ අභියෝග | දිනමිණ

ජය, පරාජය සහ අභියෝග

පොදුජන පෙරමුණ අත්කර ගත් මේ අසාමාන්‍ය ඓතිහාසික ජයග්‍රහණය තුළ පෙනෙන ප්‍රමුඛ වාර්තාවක් නම් පසුගිය නම වැනිදා සිව් වැනි වතාවටත් අග්‍රාමාත්‍ය ධුරයේ දිව්රුම් දුන් මහින්ද රාජපක්ෂ නම් දේශපාලන චරිතය හිමි කරගත් මනාප ඡන්ද සංඛ්‍යාවයි. එය 527,364කි.

අගෝස්තු පස්වැනිදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවේ ආසන 225 න් 145ක් ඍජුවම ජයග්‍රහණය කළේය. මේ සෑම මන්ත්‍රී ආසනයක් පාහේ ජයග්‍රහණය කළේ තම ආසන්නම ප්‍රතිවාදියාට වඩා වැඩි ඡන්ද පනස්දහසකින්, හැත්තෑ පන්දහසකින්, නැතිනම් ලක්ෂයකිනි. ඡන්ද බල ප්‍රදේශ කිහිපයක පමණක් එය දසදහසක්, පහළොස්දහසක් වැනි සංඛ්‍යාවක් විය. පොදුජන පෙරමුණට සහය දෙන පක්ෂද එක් කරගත් විට පාර්ලිමේන්තුවේ 2/3 බහුතර බලයක් නිසැකවම අත්කරගැනීමට පුළුවන. එසේ නොමැති වුවද සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දීමෙන් පසු ආණ්ඩු ගණනාවක් මුහුණ පෑ බරපතළ ඛේදවාචකයක් මඟහැරීමට ‍පොදුජන පෙරමුණට හැකියාව ලැබී තිබේ. එම ඛේදවාචකය බලපෑවේ ඒ ඒ ආණ්ඩුවලට පමණක් නොව රටටමය. මේ ඛේදවාචකය සුළු ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන්ය යන සටන් පාඨය ඉදිරියේ තබා ගනිමින් වර්ගවාදී කට්ටිවාදී සහ ගෝත්‍රවාදී ලෙස හැසිරෙන කුඩා පක්ෂවල ප්‍රාණ ඇපයට හසුවීමය. මේ ප්‍රතිඵලය හේතුවෙන් ඊට හසු නොවී රට පාලනය කිරීමට පොදුජන පෙරමුණට හැකි වේ. ශ්‍රී ලංකාව ස්ථාවර ආර්ථිකයක් සහිතව, ජන කොටස් අතර සමගිය පවත්වා ගෙන යමින් පෙරට ගෙන යාමේදී මෙය තීරණාත්මක සාධකයකි. සමහර කෙනෙක් මේ අදහස ජාතිවාදී ප්‍රවණතාවකට තල්ලු වීමක් ලෙස දකින්නට ඉඩ තිබේ. එවැනි ලක්ෂණයක් ඇතැම් විට තිබිය හැකි නමුත් සුළු ජන කණ්ඩායම්වල ප්‍රාණ ඇපයට හසු නොවීම ඉතාමත් වැදගත් බව පසුගිය කාලයේදී අප දුටු විකාර රූපී තත්ත්වයෙන් වුවද පැහැදිලි වේ. එනම් මන්ත්‍රීවරු 100ක් සිටින පක්ෂය නැංවීමට මන්ත්‍රී ධුර 5ක් ඇති පක්ෂයට හැකිවිණි. එම සුළු කොටස අතිශයින්ම පටු හේතු මත අතරමඟදී ආණ්ඩුව අත්හැරීම සිදු විය. මේ හේතුවෙන් රටේ විශාල අස්ථාවරත්වයක් මෙන්ම ඒ ඔස්සේ ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයට පසුබිමක්ද නිර්මාණය විය.

තනි පක්ෂයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය පවා මෙවැනි ජයග්‍රහණයක් අපේක්ෂා නොකළ සෙයකි. මැතිවරණයට දෙදිනකට පමණ පෙර පොදුජන පෙරමුණේ නිර්මාතෘ ලෙස පිළිගනු ලබන බැසිල් රාජපක්ෂ මහතා කීවේ ආසන 130 – 135 ක් පමණ දිනාගනු ඇති බවය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ තනි පක්ෂයක් ලෙස මැතිවරණයට තරග කරමින් මෙතරම් ආසන සංඛ්‍යාවක් දිනාගත් පළමු අවස්ථාවද මෙයයි.

මේ හා සම කළ හැකි බලයක් ලැබුණේ නම් ඒ 1977 දී ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වය යටතේ එජාපය ටය. ඒ ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රී ධුර 168න් 140ක් දිනා ගැනීමෙනි.

මෙහිදී අපට සිහිපත් වන්නේ පසුගිය ඉන්දීය මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ලබාගත් ජයග්‍රහණයයි. මෙයද ඊට සමකළ හැකිය. එතරම්ම පැහැදිලි, නිසැක ජයග්‍රහණයකි.

පොදුජන පෙරමුණ අත්කර ගත් මේ අසාමාන්‍ය ඓතිහාසික ජයග්‍රහණය තුළ පෙනෙන ප්‍රමුඛ වාර්තාවක් නම් පසුගිය නම වැනිදා සිව් වැනි වතාවටත් අග්‍රාමාත්‍ය ධුරයේ දිව්රුම් දුන් මහින්ද රාජපක්ෂ නම් දේශපාලන චරිතය හිමි කරගත් මනාප ඡන්ද සංඛ්‍යාවයි. එය 527,364කි. එය මෙතෙක් කවර හෝ අපේක්ෂකයකු දිස්ත්‍රික්කයකින් ලැබූ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවයි. ඇතැම් මූලාශ්‍ර අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණට ප්‍රකාශ කළ ඡන්ද අතරින් 80%කට ආසන්න පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට මනාපයක් ලකුණු කර තිබේ. මේ මනාපය කුරුණෑගල දිස්ත්‍රික්කයට පමණක් ලඝු කළ යුතු නැත. මහින්ද රාජපක්ෂ නමැති දේශපාලනඥයාට දිවයින පුරා ඇති ප්‍රසාදය මින් පිළිබිඹු වන බැවිනි. මේ එකී ප්‍රසාදය පිළිබඳ සංකේතයකි. දිවයිනේම මනාප ගණන් ගන්නා අවස්ථාවක් නම් එය ඉතා විශාල සංඛ්‍යාවක් වනු ඇත.

මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයට පිවිසෙන්නේ රුහුණේ පළපුරුදු දේශපාලන පවුලකිනි. එතුමාගේ සීයා, මහප්පා ඇතුළු ඥාතීහු දේශපාලන බිමේ උන්හ. පියා බණ්ඩාරනායක මහතා ද සමඟ එක්ව ඩී.ඒ. රාජපක්ෂ මහතා එජාපයෙන් ඉවතට පැමිණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීමට ද එක් වූහ. එවැනි පසුබිමකින් පැමිණි ඔහු, පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 1970 මහ මැතිවරණයේදීය. ඒ අවුරුදු 24ක තරුණයකු වශයෙනි. පාර්ලිමේන්තුවට තේරී පත්වූ ළාබාලම මන්ත්‍රීවරයා ලෙස ඔහු වාර්තාවක් ද තැබීය. ඔහුගේ දේශපාලන දැක්මේ තිබුණේ වාමාංශික නැඹුරුවකි. වරක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ පරිදි, ඔහුගේ සහෝදරයා පීඩිත මිනිසුන්ගේ දුක් ගැනවිලි කෙරෙහි ප්‍රමුඛත්වය දැක්වූ දේශපාලන චරිතයකි. ඔහු ඇමැති ධුර, විපක්ෂනායක ධුරය, අගමැති ධුරය දරා දෙවරක් විධායක ජනාධිපති ධුරයද දැරීය.

විශේෂයෙන් ජනාධිපති ධුරයේ සිටියදී ලැබූ අසමසම ජයග්‍රහණයක් නිසා ඔහු ශ්‍රී ලංකාවේ ඉතිහාසයට එක් වේ. ඒ තිස් අවුරුද්දකට වැඩි කලක් තිස්සේ අපේ රට පෙළූ එල්.ටී.ටී.ඊ, ත්‍රස්තවාදය මිලිටරි බලයෙන් පරාජය කිරීමය. මෙය තිස් අවුරුද්දකට ලඝු කළ විට සැබෑ චිත්‍රය යම්තාක් වසන් වේ. එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදය හුදෙක් 70 දශකය මුල් භාගයේදී පැන නැඟි එකක් නොව අපේ රටට ඩොමීනියන් තත්ත්වය ලැබීමෙන් පෙර දෙමළ ප්‍රභූ පංතිය නිර්මාණය කළ දෙයකි. මේ තිත්ත ඇත්ත අප තේරුම් ගත යුතුය. ඔවුන් බෙදුම්වාදී බීජය රෝපණය කළේ මෙරටට කෝල්බෲක් කොමිසම පැමිණීමත් සමඟමය. පසු කලෙක විශාල වෘක්ෂයක් බවට පත් වූයේ ඒ බීජයයි. දෙමළ ජනයාට අයිතිවාසිකම් නොතිබිය යුතුය යන්න හෝ ඔවුන්ට දුක් ගැනවිලි නැති බව මින් කිසිසේත් අදහස් නොකෙරේ. පැහැදිලිවම සෑම ජන කොටසකට සේම දෙමළ සමාජයටද බොහෝ ප්‍රශ්න තිබේ. ඒවා ආමන්ත්‍රණය කළ යුතුය. ඒත්, ඒ කිසිම ප්‍රශ්නයකට විසඳුම එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදය නොවේ. විසැඳුම එය විණි නම් මේ රට කිසිදා ගොඩ ඒමට අසීරු ලේ විලක ගිලී යන බැවිනි. වාර්ගිකත්වය මත රටවල් බෙදීගිය සෑම අවස්ථාවකදීම ඒ රටවලට අත්වූ යහපතට වඩා අයහපත වැඩිය. ඉන්දියාව හා පාකිස්තානය හොඳම නිදසුන්ය.

ජනවාර්ගික ප්‍රශ්නය

මේ යුද්ධය දිනාගත නොහැකි බවද මෙය ජනවාර්ගික ප්‍රශ්නයක් බවද මීට ඇති විසැඳුම බලය බෙදීම බවද පැල්පදියම් කළ අදහස විය. ඇතැම් හමුදා ප්‍රධානීහු පවා එල්.ටී.ටී.ඊ.ය. පරාජය කළ නොහැකි බව විශ්වාස කළහ. මහින්ද රාජපක්ෂ නම් නායකයා එල්.ටී.ටී.ඊ ය මිලිටරිමය වශයෙන් පරාජය කිරීමට නායකත්වය දුන්නේ එවැනි පසුබිමකය. එහිදී ඔහුගේ නායකත්වය යටතේ ලැබූ ජයග්‍රහණය අප සියල්ලන්ගේ සිත් සතන්වල නොමැකෙන අයුරින් සටහන්ව ඇත. එය අන් කවර චෝදනාවකට හෝ යටපත් කළ නොහැකි සත්‍යයකි. මේ රටේ සියලු ජනකොටස් අද නිදහසේ ජීවත් වන්නේ එකී ජයග්‍රහණය නිසාය. මේ කාරණය 2020 මහ මැතිවරණයේදී කැපී පෙනෙන අයුරින් සටහන්ව ඇත.

ජනාධිපතිවරණයෙන් පසු ඇතැම් විට පොදුජන පෙරමුණු පාර්ශ්වයේම දේශපාලන විචාරකයන් කීවේ ජනාධිපතිවරණයේ දී එජාපය ලැබූ පරාජයට හේතුව සිංහල - බෞද්ධ මතවාදය අත්හැරීම හා ඊට ගැරහීම මෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේට අවමන් කිරීම වැනි කාරණා බවය. එය සාධකයක් විය හැකිය. එහෙත් එය ප්‍රමුඛ සාධකය නොවේ. දෙවැනි හෝ තුන් වැනි සාධකයයි. යහ පාලන ආණ්ඩුව බලයට පත් වූයේ 2015දීය. ඒ ආණ්ඩුව ඉතා කෙටි කලක් තුළ පිරිහීමට පටන් ගත්තේය. ඒ බව ඒ ආණ්ඩුවට එරෙහිව කෙමෙන් වර්ධනය වූ ජනමතය දෙස බැලීමෙන් වටහාගත හැකිය. එවැනි පැහැදිලි අවස්ථා කිහිපයකි. 2017 දී ගාලු මුවදොර පිටියේ පැවැති මැයි රැලිය ඉන් එකකි. ආණ්ඩු බල‍යක් නැති අලුත් පක්ෂයක් පැවැත් වූ මේ රැලියේදී ගාලු මුවදොර පිටිය පමණක් නොව එතරම් විශාල අවට මාර්ගයද ජනයාගෙන් උතුරා ගියේය.

මහින්ද රාජපක්ෂ මහතා 2015 දී පරාජය වී මැදමුලනට ගියේ ජනවාරි 9 වැනිදාය. ජනතාව නුගේගොඩදී ‘මහින්ද සුළඟ’ වටා පෙබරවාරි 17 වැනිදා රොක් වූයේ දැවැන්ත ලෙසය. 2018 පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම යහ පාලන ආණ්ඩුවට එරෙහි විරෝධය හොඳින්ම ප්‍රකාශයට පත්වූ අනෙක් අවස්ථාවය. රට පාලනය කළ එජාපයටත් එහි හවුල්කරුවකු වූ ශ්‍රී ලනිපයටත් එම පාලනයේ ළඟම සගයකු වූ ජවිපෙටත් ඉන් අත්වූයේ අපකීර්තිමත් පරාජයකි. බලය අහිමි වන තුරුම යහ පාලන ආණ්ඩුව පළාත් සභා මැතිවරණ පැවැත්වූයේ නැත. එම ආණ්ඩුවට හා ජවිපෙට එරෙහි විරෝධය පසුගිය නොවැම්බර් 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ දී ‍‍ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් හැට නව ලක්ෂයකට අධික ඡන්ද සංඛ්‍යාවෙන් පැහැදිලි විය. මහ මැතිවරණය මෙන්ම එයද සුපැහැදිලි නිරවුල් ජයග්‍රහණයකි.

යහ පාලන ආණ්ඩුව බලයට පැමිණි දා සිට අනුගමනය කළේ “ජනසතුරු” පිළිවෙතකි. එය පොදු ජනයාට එරෙහිව ජන සතුරු පාලනයක් විය. ඔවුන්ගේ දේශපාලන, ආර්ථික, විදේශ ප්‍රතිපත්තිවල එය පිළිබිඹු විය. යහ පාලන ආණ්ඩුව පැහැදිලි ජන සතුරෙකි. මේ රටේ ආර්ථිකය විනාශ කළ ඔවුන් බහුජාතික සමාගම්වලට මේ රට ගොදුරු වීමට ඉඩහැරි බව තිත්ත ඇත්තය. රටේ ප්‍රධානම මූල්‍ය කේන්ද්‍රය වන මහ බැංකුව කොල්ල කෑවේ බලයට පත් වී දින 50ක් ඇතුළතය. රාජ්‍ය දේපළ මහජන සම්පත් ලොව බලවත් රටවලට තුට්ටු දෙකට විකිණීම ද ඔවුහු ඇරැඹූහ. මේ රටේ බෙදුම්වාදී ත්‍රස්තවාදය අවසන් කිරීමට කැපවූ ආරක්ෂක හමුදා අපරාධකරුවන් ලෙස පිළිගෙන ඔවුන්ට දඬුවම් කිරීම සඳහා යාන්ත්‍රණ සෑදීමට එකඟ වූයේ අමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවේගවල බලපෑමට හසුවෙමිනි. නව ලිබරල් ආර්ථික මොඩලය මුදුනින් ගත් එම ආණ්ඩුවේ පිළිවෙත කෙටියෙන්ම දක්වතොත් මිනිසා පරිභෝජනය කරන සියලු භාණ්ඩ හා සේවා ලාභ උපයන ව්‍යාපාර බවට පත් කිරීමය. ඒ ඔස්සේ ඒකාධිකාරී ‍ගෝලීය ප්‍රාග්ධනයට මේ රට ගොදුරු කිරීමය.

යහ පාලන ආණ්ඩුවේ අවසාන කාලය වන විට, අද ලෝකයේ වර්ධනය වෙමින් බරපතළ තර්ජනයක් වන යම් මොහොතක අමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී රටවල් චීනයට හෝ රුසියාවට එරෙහිව යුද බලය යොදවන විට ඊට උපකාරී වන පරිදි සැලසුම් කළ ඇක්සා, සෝෆා වැනි ගිවිසුම්වලටද අනුමැතිය පළ කළේය. අගෝස්තු 5 මැතිවරණයට සතියක් තිබිය දී එජාප නායකයා පුවත්පතකට කීවේ MCC ගිවිසුම රටට අහිතකර නොවන බවය. මේ සියල්ලෙන් පෙනෙන්නේ ඒ ආණ්ඩුවේ ජනසතුරු පිළිවෙතයි. ඒ ආණ්ඩුව යටතේ සෑම ජන කොටසකටම දුක් ගැනවිලි තිබිණි. එහෙත් පාලකයන්ගේ ප්‍රමුඛත්වය වූයේ ස්වකීය විදේශීය ස්වාමිවරු පිනවීමයි.

පාස්කු ප්‍රහාරය

රට පළාත් 9කට කැබලි කිරීමද ඔවුන්ගේ අභිලාෂයක් විය. එවැනි තත්ත්වයක් ඇති වී තිබුණේ නම් කොවිඩ් 19 වසංගතය හමුවේ අපේ රටට අත්විය හැකිව තිබූ ඉරණම කෙබඳුද? මහජන සෞඛ්‍ය ඇතුළු පොදු සේවාද රාජ්‍ය සේවාද දිය කර හැරීම ඔවුන්ගේ අවශ්‍යතාවක් විය. පසුගිය සමයේ වරින් වර ප්‍රකාශයට පත් වී ජනාධිපතිවරණයේ දී හා මහ මැතිවරණයේ දී ප්‍රදර්ශනය වූයේ එකී කාරණාවලට එරෙහි ජනතා විරෝධයයි. ඔවුන් ජාතික ආරක්ෂාව බිඳ දැමූ තරම පාස්කු ප්‍රහාරයෙන් පැහැදිලි වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වී එකී ගමනට තිත තැබූ අතර රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර ශක්තිමත් ආණ්ඩුවක් බිහි කිරීමට මඟ සැලසීය. නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දුන්නේය. ලෝක බලවතාට ද තර්ජනයක් ව ඇති කොවිඩ් - 19 අභියෝගය සතුටුදායකව හා සාර්ථක ලෙස පාලනය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ ද මේ නායකත්වය යටතේය. එය ජනාධිපතිවරණයේ දී ඔහුට ඡන්දය නොදුන් පිරිස අතර පවා ප්‍රසාදයක් ඇති වීමට බලපෑ අයුරු මහ මැතිවරණ ප්‍රතිඵලයෙන් ද පැහැදිලිය. ඔහු කියන දේ කරන කරන දේ කියන නායකයකුය යන හැඟීම ජනතාව තුළ ඇති වී තිබේ. එය විරුද්ධ පාක්ෂිකයන් පවා ඔහු වෙත ආකර්ෂණය කිරීමට බලපෑ සාධකයකි. මේ ජයග්‍රහණයේ තවත් විශේෂයක් වන්නේ කොවිඩ් 19 ටද මුහුණ දෙමින් මැතිවරණය පැවැත්වූ සුවිශේෂී පසුබිමක් තුළ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය විශාල ලෙස අඩු වනු ඇතැයි බො‍හෝ දෙනා ප්‍රකාශ කළද එය 71%ක් වැනි ඉහළ අගයකි.

සියලු කාරණා ඔස්සේ ජනසතුරු ආණ්ඩුව වෙනුවට ජන මිතුරු ආණ්ඩුවක් පිහිටුවීමට ජනතාව පියවර ගත්හ. බයට පත් වන ජන මිතුරු ආණ්ඩුවේ වැඩපිළිවෙළ පෙරට ගෙන යා හැකි ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බවද ඔවුහු තේරුම් ගත්හ.

දැවැන්ත නායකයෝ

නිදහස ලැබීමෙන් පසු අපේ රට මාරුවෙන් මාරුවට පාලනය කළේ එජාපය හා ශ්‍රීලනිපයයි. ඉනුත් වැඩි කලක් එජාපයයි. ඒ පක්ෂයට දැවැන්ත නායකයෝ උන්හ. ඉතා නරක අවස්ථාවේ දී පවා එය මෙලෙස පරාජයට පත් වූයේ නැත. මෙවර ඊට අත් වූයේ අපකීර්තිමත් නින්දා සහගත පරාජයකි. නායකයාට පවා පාර්ලිමේන්තු වරම් අහිමි විය. මේ තත්ත්වය ඛේදජනකය. රට තවත් පක්ෂ සමඟ එක්ව රට පාලනය කළ ශ්‍රීලනිපය ද අභාවයට යමින් ඇති පක්ෂ ගොඩට ඇද වැටී තිබේ. එය සිදු වූයේ 2015 දී “රෙජීව් ජෙන්ජ්” වැඩපිළිවෙළට මුක්තු ගසමින් ජන සතුරු ආණ්ඩුවේ පිහිටුවීමට මුල් වීම හේතුවෙනි. එජාපය නො‍බෙදී තිබුණ ද පසුගිය ජනාධිපතිවරණය ජයගත නොහැකි විය. එම පක්ෂයේ ඇති වූ බෙදීම ද ප්‍රතිපත්තිමය කාරණා මත සිදුවූවක් නොව නායකත්වය සඳහා පුද්ගලවාදී බල තරගය මත ඇතිවූ බෙදීමකි. ජන සතුරු ආණ්ඩුවේ සිටි ප්‍රතිපත්තියක් නැති සියල්ලන් නතර වූයේ සමඟි ජන බලවේගයේය. ජවිපේ යනු ඝනකම් සමක් ඇති නායකයන්ගෙන් සමන්විත පක්ෂයකි. කිනම් පරාජයක් වුව ද එය සුළු පසුබෑමක් ලෙස පවසමින් මිනිසුන් රවටා තමන්ද රැවටීම එහි ස්වභාවයයි. සත්‍යය නම් ජනතා ප්‍රසාදය දිනාගත් ජවිපෙ දේශපාලන ව්‍යාපාරයකි. ඉහළ පාර්ලිමේන්තු නියෝජනයක් ද තිබිණි. එහෙත් අද එය යහමින් මුදල් ඇති එන්ජීඕවක් හෝ බලපෑම් කණ්ඩායමක තත්ත්වයට පත් වී ඇත. ඔවුන් අත අද ඇත්තේ දේශපාලන සටන් පාඨ නොව එන්ජීඕ සටන් පාඨය. ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක් ද? 

මැතිවරණයේ දී ඔවුන් කතා කළ කුලුනු 3 ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය සහ ජාතික සංහිඳියාවයි. 2015 දී යහ පාලන කණ්ඩායම ගෙන ආවේද මේවාමය. ගියවර ඔවුන් සමඟ සිටි ආචාර්ය මහාචාර්යවරු බලකරුවන් අද යූ එන් පියේය. මෙවර සිටින අයද ඊළඟ වතාවේ ඔවුන් සමඟ නැත. ජවිපෙ අයත් වන්නේ ජන සතුරු පිලටමයි. 2008 දී මහින්ද රාජපක්ෂ පාලනය අවසන් කිරීමට ඔවුන් වෑයම් කළේය. එය සිදු වී නම් යුද්ධය අදට ද තිබෙනු ඇත. යහ පාලනය යටතේ ඇති කළ ව්‍යවස්ථා විරෝධී ජාතික විධායක සභාවේ ජවිපෙ වත්මන් නායකයාද සාමාජිකයෙකි. කවර සළුපිළිවලින් සැරසී පැමිණිය ද ජනතාව ඔවුන්ගේ ව්‍යාජත්වය තේරුම් ගෙන ඇති බව මේ ප්‍රතිඵලයෙන් පැහැදිලිය. දූෂණ විරෝධයක් ගැන ඔවුන් කතා කළ ද එහි ප්‍රමුඛයා මාතර දිස්ත්‍රික්කයෙන් පරාජයට පත් විය.

අභියෝගය

මේ සුවිසල් ජයග්‍රහණ තුළම බලයට පත් වන ආණ්ඩුව මුහුණ දෙන අභියෝගය ද තිබේ. කලින් රට පාලනය කළ ආණ්ඩු කළ වැරැදි නොකිරීමට වගබලා ගත යුතුය. ඒ වැරැදි පීල්ලට බොහෝ ආණ්ඩු වසර කිහිපයක් යන විට වැටීමේ ඉඩ ඇත. විශාල බලයක් ඇතිව පත් වන නිසා ඒ ගැන සැලකිලිමත් විය යුතුය. පොදු ජන පෙරමුණු ආණ්ඩුව නිර්මාණය වන්නේ එක් දේශපාලන දෘෂ්ටියක පිහිටන කණ්ඩායමකින්ම නොවේ. විවිධ මතවාද තිබේ. ඒ නිසා පරම්පරා ගණනාවකට මුදල් උපයන්නේ නැතිව මහජන මුදලින් සැප විඳින්නේ නැතිව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ පෙරට ගෙන යාම ඔවුන්ට පැවරෙන අභි‍යෝගයකි. තමන්ගේ අරමුණු හා න්‍යායපත්‍ර මත ක්‍රියාත්මක වීමේ අන්තරායට ඉඩ නොතැබිය යුතුය. ප්‍රතිපත්තිමත නොව බලය වෙනස් වීම අනුව වෙනස් වූ සැලකිය යුතු පිරිසක් ද සමඟ යන ගමනේ දී ඒ සියල්ලන්ම හසුරුවා ගැනීමේ වගකීම නායකත්වයට පැවරී තිබේ. ජනාධිපතිතුමා මෑතක දී කියා සිටියේ ජනතාව තමන් බලයට පත් කළේ විශාල බලාපොරොත්තු ඇතිව බවත් ඒවා ඉටු කිරීම තම කාර්යභාරය බවත්ය. ආදර්ශය එයයි. සියයට සියයක් බැරිනම් ඊට ආසන්න ප්‍රමාණයකට සපුරාලීමට ආණ්ඩුව කැපවිය යුතුය. පසුගිය යහ පාලන ආණ්ඩුව උරුම කර ගිය ‍ලෝක බලවතුන්ගේ බල තරගයේ දී ගිරයට හසු වූ පුවකක් බඳු ශ්‍රී ලංකාව එතැනින් නිදහස් කර ගනිමින් ආර්ථික ස්ථාවරත්වයක් ද ගොඩනඟා සෞභාග්‍යවත් දේශයක් ගොඩනැගීම ආණ්ඩුව හමුවේ ඇති අභියෝගයකි. එහි දී සෑම විටම අවදියෙන් සිටිමින් වැරැදි වන විට නිවැරදි පීල්ලේ තබමින් වැරැදිකරුවන්ට දඬුවම් දෙමින් ඉදිරියට යාමට වගබලා ගත යුතු වේ.

ධම්මික සෙනෙවිරත්න 
ඡායාරූපය-විමල් කරුණාතිලක

නව අදහස දක්වන්න