‘ගොවි නැණ - ගෙවතු වගාව’ නව මුහුණුවරකින් | දිනමිණ

‘ගොවි නැණ - ගෙවතු වගාව’ නව මුහුණුවරකින්

‘ගොවි නැණ - ගෙවතු වගාව’ ජංගම යෙදුම ශ්‍රී ලාංකේය ගොවීන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද නව මුහුණුවරකින් ගොවීන් වෙත පැමිණෙන තාක්ෂණික යෙදුමකි. ඉකුත් ජූනි මස 01 වැනි දින රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීවා අමරසේන මහතා විසින් මෙම නව යෙදුම දියත් කෙරිණි. ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයේ ගොවි නැණ යනුවෙන් විමසීමෙන් මෙම යෙදුම බාගත කර ගත හැකිය. මෙම යෙදුම මේ වන විට ඇන්ඩ්‍රොයිඩ් දුරකතනනවල පමණක් ස්ථාපනය කළ හැකි සංස්කරණයක් ලෙස එළි දක්වා තිබුණද යෙදුමේ ඇපල් සංස්කරණයේද නිෂ්පාදන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවති.

පසුගිය කොවිඩ් 19 වසංගත හේතුවෙන් නිවෙස් තුළ ගත කළ කාලය ඇතුළත නිර්මාණය කරන ලද මෙම ව්‍යාවපෘතිය මඟින් ජාතික වශයෙන් යම් සේවාවක් කිරීමට තීරණය කරන ලද බව මෙම ව්‍යාපෘතියේ නිර්මාතෘවරුන් අප හා පැවසූහ.

ගොවි නැණ - වාණිජ ගොවි ව්‍යාපෘතියේ ගොවි නැණ ගෙවතු වගාව ලෙස උප ව්‍යාපෘතියක් කිරීමට නිර්මාණකරුවන් තීරණය කර ඇත්තේ, රට තුළ ආහාර නිෂ්පාදනය අඛණ්ඩව වේගවත් කිරීමේ අරමුණිනි. නිවාස උද්‍යාන මිලියනයක් වගා කිරීමට ශ්‍රී ලංකා රජය ජනතාව පොලඹවන සමයක එම ඉලක්කය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අනතුරුව මෙලෙස ගෙවතු වගාකිරීමේ අරමුණු සඳහා මෙම යෙදුම හඳුන්වා දුන් බව වැඩිදුරටත් ඔවුහු පවසති.

ආහාර අපතේ යෑම අවම කිරීම, ඉල්ලුම පුරෝකථනය කිරීම, තත්‍ය කාලීන තොරතුරු සැපයීම, තත්‍ය කාලීන ප්‍රතිපෝෂණය සහ තවත් බොහෝ දේ මඟින් ඩිජිටල් කෘෂිකර්මාන්තයට ආහාර සුරක්ෂිතභාවයේ විශාල කාර්භාරයක් ඉටු කළ යැකි ලෙස මෙම ගොවි නැණ ව්‍යාපෘතිය සකස්වී ඇත.

උසස් අධ්‍යාපන ව්‍යාප්තිය හා සංවර්ධනය වේගවත් කිරීම යටතේ ක්‍රියාත්මක වන ගොවි නැණ කණ්ඩායම ගොවීන් සඳහා ජංගම දුරකතන පදනම් කරගත් යෙදුමක් සකස් කිරීමේ ප්‍රධාන පරමාර්ථය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ එළවළු හා වී යන අංශවල වර්දනය හා දිගුකාලීන තිරසර බව වැඩි දියුණු කිරීම සඳහා ජංගම දුරකතන පදනම් කරගත් තොරතුරු පද්ධතියක් සංවර්ධනය කිරීම හා වාණිජකරණය කිරීමයි. මෙය රුහුණ විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසල (UCSC) ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි විශ්වවිද්‍යාලය වැනි විවිධ විශ්වවිද්‍යාලවල විවිධ වෘත්තීය පර්යේෂකයන් මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ.

මෙම ගෙවතු වගා කිරීමේ ගොවි නැණ යෙදුමට ගෙවතු වගාව හා සම්බන්ධ බොහෝ අංග ඇතුළත්ව ඇත. අස්වැන්න නෙළන තෙක් ගොවීන් නිවැරදිව වගා කරන්නේද යන්න පියවරෙන් පියවර ගොවීන්ට මඟ පෙන්වනු ලබයි. කාබනික ගොවිතැන් ව්‍යුහගත ආකාරයෙන් ප්‍රයෝජනවත් තොරතුරු සැපයීම, ගොවීන්ගේ ගොවිතැන් කටයුතු සංවිධානය කිරීමට අවශ්‍ය දින දර්ශනයක් ලබා දෙන අතර තව බොහෝ තොරතුරු සහ අංග මෙම ව්‍යාපෘතියට ඇතුළත්ව ඇත.

මේ වන විට මෙම ගෙවතු වගා කිරීමේ යෙදුමට පරිශීලකයන් 500කට වඩා සිටිති. ඔවුහු පවසන අන්දමට මෙම ගොවි නැණ යෙදුමෙහි ගෙවතු වගාව හා සම්බන්ධ බොහෝ අංග ඇතුළත්ව ඇත. වගාව ගැන මූලික අවබෝධයක් නොමැති කෙනෙකුට පවා මෙම යෙදුම භාවිතයෙන් ගෙවතු වගාව මනාව සිදු කිරීමට හැකිවීම මෙම යෙදුමේ විශේෂිත ලක්ෂණය වේ. බීජ හෝ පැළ සිටුවීමේ දිනයේ සිට අස්වැන්න නෙළන කාලය තෙක් සිදු කළ යුතු සියලුම ක්‍රියාකාරකම් අදාළ නියමිත දිනයන්හිදී පරිශීලකයාට දැනුම් දීමද මෙම යෙදුමේ තවත් විශේෂිතවූ ලක්ෂණයකි. පරිශීලකයන් ලබාදෙනු ලබන තම ප්‍රදේශයට අදාළව වගා කිරීමට නිර්දේශිත බෝග ලැයිස්තුව පෙන්වනු ලබන අතර වගාකිරීමට අපේක්ෂිත බෝගය තේරීමෙන් පසුව එම බෝගයට අදාළව පවතින සියලුම බෝග ප්‍රභේද ලැයිස්තුව පෙන්නුම් කරනු ලබයි. තවද වගාව සිදු කිරීමට ඉතාමත් වැදගත් වන කාලගුණය තත්ත්වය පිළිබඳ තොරතුරුද මෙම යෙදුමෙහි ඇතුළත්ය. මෙම යෙදුම සිංහල, ඉංග්‍රීසි, දමිළ යන භාෂා තුනෙන්ම සමන්විත වීම තුළින් පරිශීලකයන්ට තමන්ට අවශ්‍ය භාෂා මාධ්‍ය

තෝරාගැනීමට හැකි වනු ඇත.

මෙම පරිගණක යෙදුම පිළිබඳව කෘෂි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් මාතර, ගාල්ල, හම්බන්තොර යන දිස්ත්‍රික්ක තුනෙහිම කෘෂි නිලධාරීගේ සහභාගීත්වයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයේදී ඉතා සාර්ථක අයුරින් පැවැත් වූහ.

ගොවි නැණ ජංගම දුරකතන යෙදුම අන්තර් ජාලයේ www.govinena.lk යන සබඳතාවය මඟින් බාගත කළ හැකිය. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීම සඳහා ව්‍යාපෘති සම්බන්ධීකාරකවරිය ඇමතීමෙන් 071-7796910 හරහා විමසීම් කිරීමට හැකිය.

මෙම ජංගම දුරකතන යෙදුම භාවිත කරමින් වඩාත් නිවැරදි ලෙස සහ ගුණාත්මක භාවයෙන් ඉහළ ඵලදායී ගෙවතු වගාවක් සෑම නිවෙසකම ආරම්භ කරමින් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට සෑම පුරවැසියෙක්ම දායක වීමත් එමඟින් වස විසෙන් තොර ගුණාත්මක ආහාර නිවසේදීම නිෂ්පාදනය කර ගැනීමෙන් නීරෝගී පරපුරක් බිහි කිරීමට දායක වීමත් යන කාරණා මෙම ව්‍යාපෘතියේ අරමුණ වන බව ව්‍යාපෘතියේ විද්වත් කණ්ඩායම පවසති.

නව අදහස දක්වන්න