වල් ඌරන් හා ඉබ්බන් මරා විකුණන තැනක් කදිරානේ | දිනමිණ

වල් ඌරන් හා ඉබ්බන් මරා විකුණන තැනක් කදිරානේ

විවිධ ප්‍රදේශවල රක්ෂිත කැලෑවලින් අල්ලාගෙන එනු ලබන ආරක්ෂිත සත්ත්වයන් ලෙස සැලකෙන වල් උෟරන් හා ඉබ්බන් මරා මස් විකිණීමේ යෙදුණු බව කියන දෙදෙනකු එසේ විකිණීමට තබා තිබූ මස් හා අබිලි ද්‍රව්‍ය තොගයක් සමඟ පසුගියදා (03) සවස අත්අඩංගුවට ගත් බව ගම්පහ දිස්ත්‍රික් වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

බුද්ධි අංශවලින් ලද තොරතුරක් අනුව මෙම වැටලීම කරනු ලැබූයේ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කදිරාන ප්‍රදේශයේදීය.

පෞද්ගලික නිවසක් ආශ්‍රිතව පිහිටි ඉඩමක මෙසේ ආරක්ෂිත සතුන්ගේ මස් විකිණීම කරගෙන යන බවට ලැබුණු තොරතුරක් අනුව ගම්පහ දිස්ත්‍රික් වනජීවී සහකාර අධ්‍යක්ෂ නීතිඥ ලලිත් කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැටලීම කෙරිණි.

සැකකරුවන් වසරකටත් අධික කාලයක් තිස්සේ මේ ආකාරයට මස් විකිණීමේ ජාවාරම කරගෙන ගොස් ඇතැයි හෙළිවී ඇත. තොරතුර අනුව පසුගියදා (03) සවස හදිසි සෝදිසියකදී ඉබ්බන් ගණනාවකගේ කටු ඇතුළු මස් තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. මස් කැපීමට යොදාගත් පිහි ආදියද අත්අඩංගුවට ගත් බව ගම්පහ දිස්ත්‍රික් වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

සැකකරුවන් හා නඩු භාණ්ඩ පසුගියදා (04) මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මුතුරාජවෙල වනජීවී කලාපීය කාර්යාලයේ අඩවි ආරක්ෂක ලසන්ත ගුණවර්ධන, ගම්පහ දිස්ත්‍රික් වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ අඩවි සහකාර එරංග සදුන්, වන සත්ත්ව නියාමකවරුන් වන ශානුක රණවක ආරච්චි, සේරම් යන නිලධාරීහු මෙම වැටලීමට එක්වූහ.

 

නව අදහස දක්වන්න