යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ටයර් රටින් ගේන්න එපා | දිනමිණ

යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ටයර් රටින් ගේන්න එපා

දේශීය ටයර් නිෂ්පාදකයෝ රජයෙන් ඉල්ලති

දේශීය වෙළෙඳපොළේ මෝටර් සයිකල් හා ත්‍රීවීලර් ටයර් හිඟයක් නොමැති බවත් එනිසා එම ටයර් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් මෙරට මෝටර් සයිකල් හා ත්‍රීවීලර් ටයර් නිෂ්පාදන සමාගම් පවසයි. දේශීය අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා මෝටර් සයිකල් හා ත්‍රීවීලර් ටයර් නිෂ්පාදනය කිරීමේ හැකියාව මෙරට පිහිටි තම කර්මාන්තශාලා සතු බවත් දැනටමත් දේශීය ඉල්ලුම සපුරමින් සිය නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කර ඇති බවත් එම සමාගම් වැඩි දුරටත් අවධාරණය කරයි. 2019දී රුපියල් මිලියන 1,062ක වටිනාකමකින් යුත් මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ ටයර් හා ටියුබ් මෙරටට ආනයනය කර ඇත. මේ සියල්ල මෙරට නිෂ්පාදනය කිරීමෙන් රුපියල් මිලියන 1,062ක විදේශ විනිමයක් ඉතිරි කර ගැනීමට හැකි වී ඇත.

වත්මන් රජය ගෙන යන දේශීය නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළට සහයෝගය දක්වමින් ශ්‍රී ලංකාවේ මෝටර් බයිසිකල් හා ත්‍රීවීල් ටයර් අවශ්‍යතාව වර්තමානයේදී මෙරටදීම නිපදවන බවත් එම නිෂ්පාදන ක්‍රියාවලිය වර්ධනය කිරීමට රජයේ සහයෝගය ඉදිරියටත් අවශ්‍ය බවත් දේශීය ටයර් නිෂ්පාදකයෝ පවසති. මේ කාණ්ඩයට අයත් ටයර් අතරින් දේශීයව නිෂ්පාදනය නොකරන විශේෂ ප්‍රමාණවල ටයර් වර්ග කිහිපයක් පමණක් සුළු වශයෙන් මෙරටට ආනයනය කරන බවත් එම ටයර් කලාතුරකින් භාවිත වන නිසා ඒවාට ඇත්තේ අඩු ඉල්ලුමක් බවත් දේශීය ටයර් නිෂ්පාදකයෝ සඳහන් කරති.

 

නව අදහස දක්වන්න