රළ මත ලිස්සා යෑමේ ජාතික ශූරතාවලියට වාර්තාගත තරගකරුවන් පිරිසක් | දිනමිණ

රළ මත ලිස්සා යෑමේ ජාතික ශූරතාවලියට වාර්තාගත තරගකරුවන් පිරිසක්

තරගාවලිය 26-27 ආරුගම්බේ මුහුදු තීරයේදී

ක්‍රීඩාවත් සංචාරක ව්‍යාපාරයත් එකට යා කරන රළ මත ලිස්සා යෑමේ (සර්ෆින්) ජාතික ශූරතාවලියට අති විශාල තරගකරුවෝ පිරිසක් එක් වී සිටිති. මේ මස 26 සහ 27 දෙදින ආරුගම්බේ මුහුදු තීරයේදී පැවැත්වෙන රළ මත ලිස්සා යෑමේ ජාතික ශූරතාවලිය සහ විවෘත තරගාවලිය සඳහා අයැදුම්පත් බාරගැනීම හෙටින් (24) අවසන් කිරීමට මීට පෙර තීරණය වී තිබුණ ද දැනටමත් අවශ්‍ය තරගකරුවන් සංඛ්‍යාව සම්පූර්ණ වී ඇතැයි රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩා සංගමයේ සභාපති හිරාන් උක්වත්ත මහතා ‘දිනමිණ’ට ප්‍රකාශ කළේය.

මෙරට ක්‍රීඩා ආර්ථිකය පෝෂණය කිරීමෙහිලා අතිශය වැදගත් කර්තව්‍යයක් ඉටු වන රළ මත ලිස්සා යෑමේ ශූරතාවලිය ලංකා ස්පෝර්ට්රයිසින් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අතර, ඊට ක්‍රීඩා අමාත්‍යාංශයේ දායකත්වය ද ලැබී තිබේ.

“කොවිඩ් වසංගතය හේතුවෙන් විදෙස් රටවලින් තරගකරුවන්ට පැමිණීමට නොහැකි වුවත් දැනට ශ්‍රී ලංකාවේ රැඳී සිටිනා විදේශිකයන් රැසක් තරගාවලියට එක් වී සිටිනවා. ඒ අතර, තරගකාරිනියන් 8 දෙනකුත් සිටිනවා. අපේ ඉලක්කය වුණේ විදෙස් තරගකරුවන් සහභාගි වන විවෘත තරගාවලියට අයැදුම්පත් 25ක් බාර ගැනීමයි. නමුත් දැනටමත් එම සංඛ්‍යාව ඉක්මවා තිබෙනවා. ඒ වගේම ජාතික ශූරතාවලියට තරගකරුවන් 50 දෙනකු බලාපොරොත්තු වුණත් ඊට වැඩි ප්‍රමාණයකගෙන් අයැදුම්පත් ලැබී තිබෙනවා” උක්වත්ත මහතා කියා සිටියේය.

වසර 2018දී ආරම්භ කළ රළ මත ලිස්සා යෑමේ ජාතික ශූරතාවලිය වාර්ෂිකව අදියර තුනකින් යුතුව පැවැත්වෙන අතර, ආරුගම්බේ පැවැත්වෙන්නේ අවසන් අදියරේ තරගාවලිය බව ද ඔහු කීවේය.

“අපි මේ වසරේ පළමු අදියර ජනවාරියේ මාතර, මඩිහේ මුහුදු තීරයේදී පැවැත්වුවා. මාර්තු මාසයේ මුල් භාගයේදී කොවිඩ් වසංගතයට පෙර හික්කඩුව මුහුදු තීරයේදී දෙවැනි අදියර නිමා කර ගැනීමට අපට හැකි වුණා.” උක්වත්ත මහතා පැවැසීය.

ආරුගම්බේ තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ජාතික රළ මත ලිස්සා යැමේ ක්‍රීඩකයන් සංචිත ගත කිරීමට නියමිත අතර, මේ තරගාවලිය තරගකරුවන් ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් වන බව ද ඔහු කියා සිටියේය.

“රළ මත ලිස්සා යැමේ තරග මේ වන විට අපේ රටේ අතිශය ජනප්‍රියත්වයට පත් වෙමින් තිබෙන ක්‍රීඩා ඉසවුවක්. මුහුදු තීරයට සමීපව ජීවත්වන ජනතාවට එමඟින් සිය ජීවනෝපායට විශාල රුකුලක් ලැබෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තයේ වර්ධනයට රළ මත ලිස්සා යෑමේ තරගාවලිය විශාල පිටිවහලක්.” උක්වත්ත මහතා කීවේය.

 ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න