නැන්දම්මාගේ අත් ගැට ගසා මුහුණ බැඳ ලේලී මුළු ගෙටම සුද්දයක් දීලා | දිනමිණ

නැන්දම්මාගේ අත් ගැට ගසා මුහුණ බැඳ ලේලී මුළු ගෙටම සුද්දයක් දීලා

වයෝවෘද්ධ නැන්දම්මා සමඟ පවතින බරපතළ හිත් නොහොඳකමක් හේතුවෙන් ඇය මට්ටු කරවීම සඳහා ඇගේ අත්පා බැඳ දමා ඈ සතු වූ රන් ආභරණ හා මුදල් කොල්ලකරුවන් දෙදෙනකු යොදා පැහැරගත් ව්‍යාපාරික ලේලියක හා ඊට සම්බන්ධ වූ කොල්ලකරුවන් දෙදෙනකු අනුරාධපුර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (21) සවස සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

කොල්ලය මෙහෙය වූ තිදරු මවක වන ලේලිය හා ඇගේ සැමියා විසින් අනුරාධපුර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයට පසුගියදා (19) කර තිබූ පැමිණිල්ලකට අනුව සිදු කළ පරීක්ෂණවලින් පසුව කොල්ලයට සම්බන්ධ වූ ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවකු ඔහුගේ ගෝලයා හා ශ්‍රාවස්තිපුර කොඩිගල ප්‍රදේශයේ පදිංචි බේකරියක හිමිකාරියක් පොලීසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.

පැමිණිලිකාරිය හා ඇගේ සැමියා පසුගියදා (19) අනුරාධපුර යහලේගම ප්‍රදේශයේ පැවති හිතවතකුගේ පින්කම් උත්සවයකට සහභාගි වූ අවස්ථාවේ ලේලිය විසින් කොල්ලකරුවන්ට නිවෙස කොල්ලකන ලෙසත් නැන්දම්මා පමණක් නිවෙසේ ඇති බවත් දුරකතනය මඟින් දන්වා තිබේ. ඒ අවස්ථාවේ කොල්ලකරුවන් රාත්‍රී අටත් දහයත් අතර කාලයේදී නිවෙසට කඩාවැදී ඇගේ දෑත් ගැට ගසා ඇඳ ඇතිරිල්ලකින් මුහුණ බැඳ නිවෙසේ තිබූ මුදල් හා රන් ආභරණ තොගය රැගෙන පලා ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. කොල්ලකරුවන් රුපියල් තුන් ලක්ෂ අසූදහසක මුදල් හා රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමින් යුතු රන් පවුම් හතක රන් ආභරණ කොල්ලකා තිබිණි.

අත්අඩංගුවටගත් 40 හැවිරිදි තිදරු මව හා වයස අවුරුදු 30 - 33ත් අතර පසුවන සැකකරුවන් දෙදෙනා ඊයේ (22දා) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. එම්. සංජීව මහනාම, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ගයාන් ගාල්ලගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ජී. විදානගමගේ, උප පොලිස් පරීක්ෂක අධිකාරි, පොලිස් සැරයන්වරුන් වන බාලසූරිය (28049) ඩග්ලස්, (37292) චන්දන, (16644 ) උපාලි, (48242) යන නිලධාරීහු පරීක්ෂණ සඳහා එක් වූහ.

 බී. එම්. විජේසූරිය - අනුරාධපුර මධ්‍යම විශේෂ

නව අදහස දක්වන්න