පරිසරය සංවර්ධනය සහ වගකීම | දිනමිණ

පරිසරය සංවර්ධනය සහ වගකීම

මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති මෙන්ම පෞද්ගලික දේශපාලන මැදිහත්වීම් නිසා ද ඉතිහාසය පුරාම පාරිසරික විනාශයන් සිදුව තිබේ.

ජනාධිපතිතුමා සිය මැතිවරණ ව්‍යාපාරය ගෙන ගියේ පොලිතීන් සැරසිලි ආදියෙන් තොරවය. එමෙන්ම, එම කාලය තුළ පරිසරයට නිදහස් වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් රුක් රෝපණ වැඩසටහනක් ද ගෙන ගියේය. ඒ යටතේ පැළ 29000 ක් පමණ සිටුවා තිබේ. එලෙස රෝපණය කළ පැළ රැක ගැනීමේ වැඩපිළිවෙළක් ද ඇත. මැතිවරණ ව්‍යාපාරයකදී මෙවැන්නක් සිදුවූයේ ලොව පළමු වතාවටය. එබැවින් එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා අැගැයීමට ලක් විය. මහ මැතිවරණය එළැඹියේ මෙවැනි පසුබිමකය. ජනාධිපතිතුමා මැතිවරණ ව්‍යාපාරයේදී ලබා දුන් ආදර්ශය පොදුජන පෙරමුණේ සියලු අපේක්ෂකයෝ අනුගමනය කළ අතර පොලිතීන්වලින් තොර පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක් සඳහා ප්‍රතිඥා දුන්හ. එමඟින් ආණ්ඩුව තුළ පරිසරයට ඇති ළෙන්ගතු බව පළ විය. ඒ සංවේදී බව සමාජය පුරාම පැතිරී තිබිණි.

  • විමසිලිමත් බව

ලෝකය පුරා පරිසරය රැක ගැනීමට ඇති උනන්දුව, උවමනාව බලවත් වූ අතර එය පෙරට ආවේය. ළැව් ගිනි, ගංවතුර වැනි ස්වාභාවික ආපදා වුවද දේශගුණික විපර්යාස සමඟ ඇති සම්බන්ධය ඔස්සේ පරිසරය පිළිබඳ ජනතාව අවදියෙන් තැබීමට බලපා තිබේ. පරිසරයට එරෙහිව කිසිදු ක්‍රියාවක් නොකරන තැනට සමාජය තුළ දැනුවත්භාවයක් ඇතිවූයේ මේ ඔස්සේය. පරිසරයට හානිකර කිසිවක් නොකරන ලෙසට වන මතය වඩාත් පෙරට ගියේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයටත් වඩා සමාජ ජාලා ඔස්සේය. යම් දෙයක් සිදුවන්නේ නම් එය වහා හෙළිදරව් වීම යහපත් ප්‍රවණතාවකි. මධ්‍යම පරිසර අධිකාරිය වශයෙන් අප ද ඒ ගැන සිටින්නේ අවධානයෙනි. ඒ සමඟම දේශපාලන විරුද්ධවාදීන් ද වෑයම් කරන්නේ කිසියම් දෙයක් විශාල කර දක්වමින් ජනාධිපතිතුමාට සහ රජයට මඩ ප්‍රහාර එල්ල කිරීමටය.

ඇත්ත තත්ත්වය නම් මේ සෑම ක්‍රියාවක් පිළිබඳ අප සත්‍යතාව සොයා බැලූ බව සහ ඒවා පාලනය කිරීමට ද අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද යොමු වූ බවය. නිදසුනක් ලෙස උඩරට ප්‍රදේශයේ අක්කර 3 කට ආසන්න පුද්ගලික ඉඩමක් තම කැමැත්තට අනුව එළිපෙහෙළි කිරීමට කටයුතු කිරීම ගැන කිහිපදෙනෙක් අත්අඩංගුවට ගෙන එම ඉඩමේ නැවත වන වගාව සඳහා නියෝග ලබාගැනීමට අධිකරණයට ගොස් තිබීම දැක්විය හැකිය. මධ්‍යම පරිසර අධිකාරිය වශයෙන් හන්තානේ ද මෙවැනි සිද්ධීන්ට අපි මැදිහත් වී සිටිමු. වගකීමෙන් සඳහන් කළ හැකි කාරණය නම් මෙලෙසම ආනවිලුන්දාව හා වනාතවිල්ලුව සිද්ධීන්ට ද මැදිහත් වූ බවය. වනාතවිල්ලුවේ සිද්ධියට අදාළව එම සිමෙන්ති සමාගම අපගේ උපදෙස් පරිදි නැවත වන වගාව පවා අරඹා ඇත. අදාළ ඉඩමේ අක්කර 5000 වටා සීමා සලකුණු කර එම වගාව ආරක්ෂා කර ගැනීමට, මාර්ගයක් පවා නිර්මාණය කරමින් සිටී. 1959 න් පසු සිමෙන්ති සංස්ථාව සතු එම අක්කර 5000 ක භූමිය ආරක්ෂා කිරීමට කිසිදු රජයක් මැදිහත් වී නොතිබිණි.

  • ලංකාගම මාර්ගය

මෙවැනි කාරණා මාධ්‍ය ඔස්සේ ද මතු කෙරෙන්නේ නැත. කෙසේ වුවද සත්‍ය නම් එම ඉඩම්වල නැවත වන වගා ද රැකගනිමින් මේ සංරක්ෂණ කටයුතු සිදු වන බවය. අප ඒ ගැන නිරන්තර සෝදිසියෙන් සිටින බව ද දැක්විය යුතුය. එම අක්කර 5000 ක භූමිය රැක ගැනීමට ක්‍රියා කර ඇත්තේ මේ රජයයි. එතෙක් කාලයක් තිස්සේ මේ ඉඩම් එළිපෙහෙළි වී ඇත. පවුල් 300 කට වඩා මෙම ඉඩම්වල පදිංචිව සිටිති. ඇතැම් අවස්ථාවල බලහත්කාරයෙන් පදිංචි වී ඇති අතර එම නිවාසවලට විදුලිය පවා ලබාගෙන ඇත.

සිංහරාජ - ලංකාගම මාර්ගය සම්බන්ධයෙන් ඇතිවූ ආන්දෝලනය සලකන විට, ඒ වන විට එළිපෙහෙළි කර තිබුණේ පෞද්ගලික ඉඩම්ය. එම ඉඩම් හිමියන්ගේ කැමැත්ත ලබාගෙන මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) ද මැදිහත් වීමෙන් එම පරිසරයට හානි නොවන අයුරින් එය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනිණි. වනාන්තරයට අයත් වන කිලෝමීටරයකට ආසන්න දුර ප්‍රමාණය ගැන සොයා බලනතුරු මුලදී එම ව්‍යාපෘතිය නතර කිරීමට පවා පියවර ගත්තේය. ජනාධිපතිතුමාම ලංකාගමට ගොස් එය නිරීක්ෂණය කිරීමෙන් පසුව අවසර ලැබුණේ පරිසරයට හානි නොවන අයුරින් ජනතාවගේ අවශ්‍යතාව ඉටුකර දීමටයි. මෙය එසේ වුවද ඉතිහාසයේ එවැනි දෑ ගැන සොයා බැලීමක් හෝ නිවැරැදි කිරීමක් සිදු වී නොමැත.

  • නිවැරැදි කිරීම්

ජනාධිපතිතුමාම ඇතැම් අවස්ථාවලදී අපට උපදෙස් දී තිබෙන්නේ යම් යම් කරුණු පිළිබඳ සොයා බලා නිවැරැදි කිරීම් කළ යුතු නම් අවශ්‍ය කටයුතු කරන ලෙසටය. ඉතිහාසයේ එවැනි තත්ත්වයක් ගැන අපට දැන ගැනීමට නැත. එසේම මෙවැනි අවස්ථාවලදී පක්ෂ - පාට භේද සලකමින් දේශපාලන තීන්දු ගැනීමක් ද මේ වන විට සිදු නොවේ.

මෙතෙක් මතු වූ යම් යම් කාරණා දෙස හොඳින් බලන විට පෙනී යන කාරණයක් වන්නේ ඒවා පෞද්ගලික ආයතනයකට හෝ පුද්ගලයන්ට සම්බන්ධව සිදු වී ඇති ඒවා බවයි. එහිදී යම් මට්ටමක හෝ සිදුව ඇති පරිසර හානි සම්බන්ධයෙන් සොයා බලා ඒවා හැකි ඉක්මනින්ම නිවැරදි කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇති බව වගකීමෙන් සඳහන් කළ හැකිය. මෙහිදී යමක් සිදු වන්නේ නම් එය පෞද්ගලික අංශයේද නැතිනම් රාජ්‍ය ආයතනයකට සම්බන්ධව ද යන කාරණය අප සලකන්නේ නැත. ඒ කොතැනකින් සිදු වුවද පරිසරයට වන හානිදායී බලපෑම් නතර කිරීම අපේ පිළිවෙතය. ඇතැම් අවස්ථාවල කර්මාන්ත ශාලා ආදියෙන් මුදාහරින අපජලය ගංගාවලට මුදාහැරීම භූගත ජලය දූෂණය වීම වැනි අවස්ථා සම්බන්ධයෙන් අපට ක්‍රියා කිරීමට සිදු වේ. ලංකාව පුරා ඇති පානීය ජල මූලාශ්‍රය අපවිත්‍ර නොවී ‍රැක ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඇත. ඉදිරි වසර 5 තුළ පානීය ජල අවශ්‍යතාව සපුරාගත හැකි පරිදි එම ජල මූලාශ්‍රය රැක ගැනීම අපේ ඉලක්කයකි.

ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ග්‍රාමීය මාර්ග කි. මී. ලක්ෂයක් කාපට් මාර්ග වශයෙන් සංවර්ධනය කිරීමේදී එම මාර්ග දෙපස වන රෝපණය සිදු කිරීමටද පියවර ගෙන ඇත. එමඟින් රටේ වන ඝනත්වය ඉහළ නැංවීම අපේක්ෂාවයි.

ව්‍යාපාරික අවශ්‍යතා මත ක්‍රියා කරන අය ලාබ උපරිම කර ගැනීම සඳහා ක්‍රියා කරන බව පැහැදිලි කාරණයකි. එහිදී ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් වගකිවයුතු අංශ ක්‍රියාත්මක වේ. 1970 - 77 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයෙන් පසු ප්‍රථම වතාවට රට කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් පුනරුදයක් ඇති කිරීමට යොමු වී ඇත. මෙරට නිෂ්පාදනය කළ හැකි දෑ ආනයනය කිරීම වෙනුවට ඒවා රට තුළම නිෂ්පාදනය කිරීම සඳහා යොමු වී තිබේ. මේ සෑම අවස්ථාවකදීම පරිසරය රැක ගැනීම පිළිබඳ සංවේදීව කටයුතු කළ යුතුය. මෙහිදී නිදසුනක් ලෙස බඩඉරිඟු අක්කර දහසක් වගා කිරීමේ ව්‍යාපෘතියක් කිසියම් සමාගමකට අක්කර දහසක් ලබා දීම වෙනුවට ගොවීන්ට එම බිම වගාව සඳහා ලබා දී ඔවුන් මඟින් එම අවශ්‍යතාව සපුරා ගැනීමට ඉඩ සැලැස්වීම වැනි පියවර දැක්විය හැකිය. මෙහිදී වගාව සඳහා අවශ්‍ය බීජ, පොහොර ආදි පහසුකම් ද ලබා දුන් විට ජනතාව අතට මුදල් ලැබීමෙන් ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීමට ද හැකි වේ. මෙහිදී පරිසරය රැක ගැනීම මෙන්ම නිෂ්පාදන ආර්ථිකය දියුණු කිරීම යන කාරණා දෙකම සමතුලිතව පවත්වා ගත යුතුය.

  • නීති රීති

මැණික් පතල් කර්මාන්තය, කළුගල් කැඩීම වැනි කර්මාන්තවලදී පාරිසරිකව වන බලපෑම් අවම කිරීම සඳහා දැනටමත් නීති රීති ක්‍රියාත්මක වේ. ගැටලු ඇති වී ඇත්තේ ඒවා නිසියාකාර ක්‍රියාත්මක නොවූ, නිසි ලෙස පිළිපැද නැති අවස්ථාවලදීය. එබැවින් එම නීති-රීති ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට ද අප වගබලාගෙන ඇත. මෙම නීති-රීති ක්‍රියාත්මක නොවූ අවස්ථාවල යම් යම් බලපෑම් ද තිබී ඇති බව පැහැදිලිය. එවිට නිලධාරීන් ද අසරණ වීම සිදු වේ. මෙවැනි තත්ත්වයන්ට නිලධාරීන්ට ද මුහුණය දීමට සිදු නොවන ලෙස නීති හරියාකාර ක්‍රියාවට නැංවීමට කටයුතු කර තිබේ. මේ ශක්තිය නිලධාරීන්ට ලැබී ඇති නිසා ඔවුන් බිය වන්නේ ද නැත. අවශ්‍ය අවස්ථාවලදී තීන්දු - තීරණ ගැනීමට පැකිළෙන්නේ ද නැත. එය සුබදායක තත්ත්වයකි.

සංවර්ධනය තිරසාර විය යුතු බව පිළි ගැනීමය. ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ සකස් වී ඇත්තේ ද සංවර්ධනය වෙනුවට තිරසාර සංවර්ධනයක් ළඟාකර ගැනීම පිළිබඳ අවධානය යොමු කරමිනි. එහිදී ජනාධිපතිතුමාත්, රජයත්, රාජ්‍ය නිලධාරීනුත් අතර ඇති මනා සම්බන්ධතාව සම්බන්ධීකරණය එම ඉලක්ක සපුරා ගැනීම සඳහා බෙහෙවින් උපයෝගී වනු ඇති බව අපගේ විශ්වාසයයි. ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩපිළිවෙළ ඔස්සේ ඉදිරි දශක දෙක තුළ මේ රට ආසියාවේ පමණක් නොව ලෝකයේම ගෞරවනීය රාජ්‍යයක් බවට ඔසොවා තැබීමට හැකිවනු ඇත.

ඉදිරි වසර ‘ඉදිකිරීම් වසරක්’ ලෙස හැඳින්වේ. ඉදිකිරීම් සඳහා ප්‍රමුඛත්වයක් දෙමින් එය දියත්වනු ඇත. මධ්‍යම පරිසර අධිකාරිය වශයෙන් අප ද ඊට දායක විය යුතු වන්නේ අපේ පරිසරය ද රැකගනිමින් තිරසාර ලෙස එම සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට යොමු වීමෙනි. මහාමාර්ග කි. මී. ලක්ෂයක් කාපට් මාර්ග වශයෙන් දියුණු කිරීම, වැව් 5000 ක් පිළිසකර කිරීම ආදි නොයෙක් ව්‍යාපෘති මේ යටතේ ක්‍රියාත්මක වනු ඇත. දැනටමත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ වී තිබේ. රටේ සංවර්ධන සිහින සැබෑ කර ගැනීමට මෙන්ම ජන ජීවිතය ඉහළ නැංවීමට අප සෑම විටම සූදානම්ය. ඒ, තිරසාරව එම ඉලක්ක සපුරා ගනිමිනි. පරිසරයට පිටුපා යන ගමනකින් දියුණුව සාක්ෂාත් කර ගත නොහැකි බවට ඉතිහාසය ලෝකයට පාඩම් උගන්වා තිබේ.

ධම්මික සෙනෙවිරත්න

නව අදහස දක්වන්න