සේවාදායකයා මඟ හැරි නීතිඥයාගේ ලයිසම වසර 7 කට අත්හිටුවයි | දිනමිණ

සේවාදායකයා මඟ හැරි නීතිඥයාගේ ලයිසම වසර 7 කට අත්හිටුවයි

නෙල්කා මැදගෙදර

මූලික අයිතිවාසිකම් පෙත්සමක් වෙනුවෙන් පෙනී සිටීමට සේවාදායකයකුගෙන් මුදල් ලබාගෙන දින කිහිපයක්ම අධිකරණයෙහි පෙනී සිටීම මඟ හැර ‍සිටි නීතිඥවරයකුගේ නීතිඥභාවය වසර 7 ක කාලයක් සඳහා ‍තහනම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (25) තීන්දු කළේය. එම සේවාදායකයාගෙන් ලබා ගත් මුළු මුදල ආපසු ඔහු වෙතම ගෙවන ලෙස එම නීතිඥවරයාට නියම කෙරිණි.

ඒ අනුව එම මුදල වන රුපියල් ලක්ෂ තුන මාසයක කාලයකදී සේවාදායකයාගේ බැංකු ගිණුමට බැර කරන ලෙස ද එම නීතිඥවරයාට නියම කෙරිණි.

මහනුවර, කොළඹ පාර පදිංචිකරුවකු වන වසන්ත විජේවර්ධන නැමැත්තාගේ නීතිඥභාවය මෙලෙස තහනම් කරන ලදි.

මහනුවර අඹතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ආර්. එම්. කරුණාරත්න බණ්ඩා නැමැත්තෙකු කළ පැමිණිල්ලක් මත විභාගයක් සිදු කළ ප්‍රියන්ත ජයවර්ධන, එස්. තුරෙයි‍රාජා, ප්‍රීති පද්මන් සූරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගයන් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් වෙනුවෙන් පෙනී සිටීම සඳහා මෙම නීතිඥවරයා පැමිණිලිකරුගෙන් මුදල් ලබාගෙන තිබේ.

නව අදහස දක්වන්න