නිව් ඩයමන්ඩ් කපිතාන්ට විදේශ ගමන් තහනම් | දිනමිණ

නිව් ඩයමන්ඩ් කපිතාන්ට විදේශ ගමන් තහනම්

 ශ්‍රි ලංකාවේ සංගමන් කන්ද තුඩුවට ආසන්නයෙ දී ඉකුත් දා ගිනි ගැනීමට ලක් වූ  නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීමට අවසර නුදුන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා එම කපිතාන්වරයාගේ විදේශ ගමන් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කර ඇත
 
එමෙන්ම විමර්ශනවලට පූර්ණ සහාය ලබාදෙන ලෙසත් පදිංචිව සිටින ස්ථානය වෙනස් කරන්නේ නම් ඒ බව අධිකරණය වෙත දැනුම් දෙන ලෙසත් මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් නෞකාවේ කපිතාන්වරයාට නියෝග කර සිටියේය.
 
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සැකකාර කපිතාන්වරයා අදාළ නෞකාව තුළ ගින්න හටගත් අවස්ථාවේ දී එය මැඩ පැවැත්වීම සඳහා ගත යුතු පියවරයන් අනුගමනය කිරීම පැහැරහැර ඇති බවට චෝදනා කළේය.
 
ගින්න ඇතිවූ අවස්ථාවේ දී එය නිවා දැමීමට කටයුතු නොකොට පළා යාම, එම අනතුර පිළිබඳව සංඥා වගකිවයුතු ආයතන වෙත නිකුත් නොකිරීම, තොරතුරු වසන් කිරීම යනාදී ක්‍රියාවන් කපිතාන්වරයා විසින් සිදුකර ඇති බවට විමර්ශනවල දී අනාවරණය වී ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා  එම ක්‍රියාවන් සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ 23, 25, 32 සහ 53 යන වගන්ති යටතේ අපරාධමය වරදක් බවද පෙන්වා දුනි.

නව අදහස දක්වන්න