මහනුවර හැඩ කළ INNEX 2020.... | දිනමිණ

මහනුවර හැඩ කළ INNEX 2020....

මධ්‍යම පළාත් කර්මාන්ත කරුවන්ගේ නිෂ්පාදන අළෙවි කිරීම සඳහා දේශීය හා විදේශීය නව වෙළෙඳ පොළ අවස්ථා ඇති කිරීමත් ව්‍යාපාරිකයින් හා ගැනුම් කරුවන් අතර අන්තර් සම්බන්ධතාව දියුණු කිරීම ඇතුළු කරුණු ගණනාවක් අරමුණු කරගනිමින් මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශය සංවිධානය කළ INNEX 2020 නමින් වෙළෙඳපොළ ප්‍රදර්ශනයක් මෙම මස 25,26 හා 27 තෙදින තුළ මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හිදී පැවැත්විණි.

මෙම ප්‍රදර්ශනයට සමගාමීව ලෝක සංචාරක දින උත්සවයද ඊයේ (27) මහනුවරදී සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ සංචාරක කර්මාන්තය හා ග්‍රාමීය ආර්ථිකය යන්න තේමාකර ගනිමිනි.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ ව්‍යාපාර කටයුතු අඩපණවී අසීරුතාවට පත්ව සිටින මධ්‍යම පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් මෙය සංවිධානයකර තිබූ අතර ඊට මධ්‍යම පළාතේ පාරම්පරික කර්මාන්තවල නියුක්තව සිටින කලාකරුවන් මෙන්ම ව්‍යවසායකයින් නිර්මාණ ඉදිරිපත්කර තිබිණි.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ සංචාරකයින් මෙරටට නොපැමිණීම නිසා තම නිර්මාණ වෙළෙඳපොළ කඩා වැටුණු බවත් මෙම ප්‍රදර්ශනය මගින් දේශිය ගැනුම්කරුවන් හඳුනා ගැනීම ඔස්සේ නව වෙළෙඳපොළ අවස්ථා ඇතිවූ බව පාරම්පරික කැටයම් ශිල්පි ඇම්බැක්කේ සතිස් කුමාර මහතා කීය.

පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරේ නේවාසිකයින්ගේ නිර්මාණ අළෙවි කුටියක්ද මෙහි ස්ථාපිතකර තිබිණි.මෙරට පදිචිව සිටින Diana Adagamova නැමැති රුසියානු කාන්තාව හා ඇගේ සැමියා මෙරට අත්කම් නිර්මාණ කුටියක් පවත්වාගෙන යාම මෙහි දක්නට ලැබුණු තවත් සුවිශේෂත්වයකි.

සටහන -

අසේල කුරුළුවංශ

ඡායාරූප-

රුවන් මීගම්මන

නව අදහස දක්වන්න