අප නිවැරැදි බව ලෝකය පිළිගනී! | දිනමිණ


 

අප නිවැරැදි බව ලෝකය පිළිගනී!

අප මේ සටහන ලියා තබනුයේ ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන වැඩසටහන මුළු මහත් ලෝකයේම අවධානයට ලක් වී ඇති මොහොතකය. චීනයේ පර්යේෂණ ආයතනයක් මඟින් ලෝක කොරෝනා මර්දන වැඩසටහන් පිළිබඳ සමීක්ෂණයක් සිදු කර ඇති අතර, හොඳම වැඩසටහන් අතර දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වී ඇත. චීනය පළමු ස්ථානය ගෙන ඇති අතර, අප්‍රිකානු රාජ්‍යයක් වන ඝානාව තෙවන ස්ථානය ලබා තිබේ. අසල්වැසි ඉන්දියාව ද ලතින් අමෙරිකානු රාජ්‍යයක් වන බ්‍රසීලය ද මතු නොව, අමෙරිකා එක්සත් ජනපදය ද කොවිඩ් - 19 වසංගතයෙන් බලවත් පීඩාවට පත් වී සිටිති. ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යයක් නොවන්නේ වුව කොරෝනා පාලනයේදී බලවත් රටවල් පරයා ඉදිරියෙන් සිටී.

කොරෝනා ලෝක වසංගතය ආරම්භ වන්නේ 2019 වසරේ අග කාර්තුවේදීය. එවකට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගය පිළිබඳ භීතිකාවක් පැවැතියේ නැත. එහෙත් රාජ්‍ය නායකයා කොරෝනා වසංගතය පිළිබඳ පෙර සූදානමකින් කටයුතු සැලැසුම් කළේය. එහි වැදගත්ම හා තීරණාත්මක සාධකය වන්නේ කොරෝනා මර්දන කාර්ය සාධක කමිටුවක් පත් කිරීමය. ඊට සෑම ක්ෂේත්‍රයකම පාහේ විශේෂඥයෝ ඇතුළත් කර ගන්නා ලදහ. කොරෝනා මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වූයේ ඉහත කී කාර්ය සාධක කමිටුවේ උපදේශ හා නිර්දේශ මතය. දේශපාලකයන් මේ කාර්යයෙහිලා කළ මැදිහත් වීම ඉතා අඩු විය. ඒ අනුව විද්‍යාත්මක වැඩපිළිවෙළක් ඔස්සේ කොරෝනා මර්දනය ඉදිරියට ගියේය.

චීන පර්යේෂණ ආයතනය කොරෝනා මර්දන වැඩසටහන් කෙරෙහි පැතිකඩ කිහිපයකින් තම සමීක්ෂණ කටයුතු සිදු කර තිබේ. පළමු පැතිකඩ වන්නේ රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගෙන ඇති පියවරය. දෙවන පැතිකඩ වන්නේ කොරෝනා වසංගතයෙන් බිඳවැටුණු ආර්ථිකයේ පුනර්ජීවනය සඳහා ගෙන ඇති පියවරය. තෙවන පැතිකඩ වන්නේ ලෝක වසංගතය හමුවේ අන්තර් ජාතික සහයෝගිතාව ලබා ගැනීමේ පියවරය. මේ පැතිකඩ තුනෙන්ම ඉහළම ලකුණු හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත. මීට ප්‍රධාන හේතුව සංවිධානාත්මක ලෙස අභියෝගයට මුහුණ දීමයැයි කිව හැකිය. ජනාධිපතිවරයා මුල සිටම පෙන්වා දුන්නේ කොරෝනා මර්දනය සඳහා සාමූහිකව ක්‍රියා කළ යුතු බවය. එහිදී සෑම පුද්ගලයකුම වගකීමකින් ක්‍රියා කරන්නට පුහුණු වූ බව පෙනෙයි.

ලෝක වසංගතයේ දරුණුම ප්‍රහාරය එල්ල වූයේ එකිනෙක රටවල ආර්ථික ක්ෂේත්‍රයටය. සංචාරක කර්මාන්තය මුළුමනින්ම බිඳවැටුණු අතර, දේශීය කර්මාන්ත දුර්වල විය. අන්තර්ජාතික වෙළෙඳාම හිටිහැටියේ අකර්මණ්‍ය විය. මේ තත්ත්වය ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයකට ඉතා බලවත් ප්‍රහාරයක් එල්ල කරන්නට ඉඩ තිබිණි. එය වළක්වා ගැනීම සඳහා බුද්ධිමත් පියවර ගණනාවක් ගැනීමට ජනාධිපතිවරයා සමත් විය. දේශීය කර්මාන්ත හා ව්‍යාපාර ප්‍රතිසංවිධානය සඳහා පොලී අනුපාත අඩු බැංකු ණය දීමට පියවර ගැනිණි. ණය ගෙවීම සම්බන්ධයෙන් සහන සලසන ලදි. වැසී යෑමට නියමිතව තිබූ කර්මාන්ත හා ව්‍යාපාර ගණනාවක් මේ මගින් සක්‍රීය විය. එහි වැදගත් ම ප්‍රතිඵලය වන්නේ ජනතාවගේ රැකියා සුරක්ෂිත වීමය.

ජනාධිපතිවරයා රට භාර ගන්නා විට ජාතික ආර්ථිකය බංකොලොත් තත්ත්වයක පැවැති බව රහසක් නොවේ. අපනයන ක්ෂේත්‍රය බිඳවැටීම, රාජ්‍ය ණය ඉහළ යෑම, සංචාරක කර්මාන්තය දුර්වල වීම, රටේ වාර්ෂික ආර්ථික වෘද්ධිය පහළ යෑම එහි කැපී පෙනෙන ලක්ෂණ විය. මේ තත්ත්වයට මුහුණ දීම සඳහා ආර්ථික පුනර්ජීවන කාර්ය සාධක කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා පියවර ගත්තේය. එය අතිශය බුද්ධිමත් තීරණයකි. මේ කමිටුව හඳුන්වා දුන් ආර්ථික උපාය මාර්ග නිත්‍ය වශයෙන්ම සාර්ථක වෙමින් පවතී. කමිටුවේ එක් තීරණයක් වූයේ දේශීය කෘෂිකර්මය වහා ප්‍රවර්ධනය කළ යුතු බවය; එලෙසම ආනයන සීමා කළ යුතු බවය. එම තීරණ දෙකම ක්‍රියාත්මක වූ අතර, එහි ප්‍රතිඵලය සාර්ථක බව පෙනී යයි.

කොරෝනා මර්දනය සඳහා ආරක්ෂක අංශවල ඍජු දායකත්වය ලබාගත යුතුය යන්න ජනාධිපතිවරයාගේ අදහසකි. එම අදහස ඉතා නිවැරැදි බව පෙනී ගියේ කොරෝනා පොකුරු හඹා යන අවස්ථාවලදීය. ආරක්ෂක අංශවල දායකත්වය නොවන්නට මෙතරම් සාර්ථක ලෙස වසංගතය පාලනය කිරීමට හැකි වන්නේ නැත. ශ්‍රී ලංකාවේ මේ ආදර්ශය අනුගමනය කරන්නට පසුව බලවත් රටවල් පවා ඉදිරිපත් වූහ. ආරක්ෂක අංශ කොරෝනා මර්දනය සඳහා යොදා ගත යුතුය යන්න මේ වන විට ලෝක සම්මුතියක් බවට පත් වී ඇත. නායකයන් දූරදර්ශී පුද්ගලයන් වීම ඉතා වැදගත්ය. අර්බුදයක් විසඳා ගැනීම සඳහා පළමුව එය වටහා ගත යුතුය. දෙවනුව ඒ සඳහා සැලැසුම් සකස් කළ යුතුය. තෙවනුව ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතුය. ඒ කාර්යයන් තුනම ශ්‍රී ලංකාව තුළ මැනැවින් ඉටු විය.

‍ලෝක වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ පුරවැසියන් බලවත් පීඩාවකට ලක් වූයේ නැත. ඇතැම් ප්‍රදේශ වසා දැමුණද එම ප්‍රදේශවල පවුල්වලට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයා තිබිණි‍; ඖෂධ සපයා තිබිණි; දුප්පත්ම පවුල් සඳහා ආධාර මුදලක්ද සැපයීමට පියවර ගෙන තිබිණි. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වසංගතය නිසා පරාජයට පත් වූයේ නැත. මහ මැතිවරණය සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලංකාව කො‍රෝනා අර්බුදයට සංවිධානගතව සාර්ථකව මුහුණ දී ඇතැ’යි කීම දේශපාලන අතිශයෝක්තියක් නොවේ. කෙනකුගේ මතයට අනුව කොරෝනා මර්දනයේ පළමු ස්ථානය ශ්‍රී ලංකාවට හිමි විය යුතුය. මන්ද යත්: වසංගතයෙන් රට ආපස්සට ගොස් නැති බැවිනි. සිදු වී ඇති මරණ සංඛ්‍යාව ඉතා අඩු බැවිනි.

අපේ ජනතාව ද සිය වගකීම් නොපිරිහෙළා ඉටු කරන්නට වග බලා ගැනීම වැදගත්ය. එය නැවත සිහිපත් කළ යුතු කාරණයෙකි. මේ වන විට සෞඛ්‍ය පිළිවෙත් ජනතාව වෙතින් කෙමෙන් ඈත් වන්නට පටන්ගෙන තිබේ. මුඛ ආවරණ ඇත්තේ සාක්කුවේ දමාගෙන යෑමට නොවේ. මීටරයේ දූරස්ථතාව පවත්වාගෙන යා යුත්තේ වසංගතය මුළුමනින්ම පරාජය වී නැති බැවින්ය. තවම කොවිඩ් - 19 වසංගතයට එරෙහිව සටන් කළ යුතුය. එසේ නොවුණ හොත් අපට ලැබුණු ගෞරවය ද අපතේ යනු ඇත.

නව අදහස දක්වන්න