ක්‍රීඩා දැනුම වෙනුවෙන් අායෝජනය කරන වැඩපිළිවෙළක් රටට අවශ්‍යයි | දිනමිණ


 

ක්‍රීඩා දැනුම වෙනුවෙන් අායෝජනය කරන වැඩපිළිවෙළක් රටට අවශ්‍යයි

ශ්‍රී ලංකාවේ ළාබාලතම රග්බි උපදේශක රෝහිත රාජපක්ෂ

ක්‍රිකට් පුහුණුකරුට මිලියන 6යි: සෙසු පුහුණුකරුවන්ට 30,000යි

දැනුමට වටිනාකමක් නැත්නම් ලැබෙන ධෛර්යය කුමක් ද?

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා දැනුම වෙනුවෙන් අයෝජනය කරන වැඩපිළිවෙළක් සැකසීම අත්‍යවශ්‍ය බව මෙරට බිහි වූ ළාබාලතම රග්බි පුහුණු උපදේශක හා සී.එච්. ඇන්ඩ් එෆ්.සී කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රෝහිත රාජපක්ෂ මහතා පවසයි. රට තුළ බොහෝ විට සිදු වන්නේ ක්‍රීඩා උපකරණයක් හෝ වෙනත් යටිතල පහසුකමක දියුණුව පිළිබඳ මිල නියම කිරීම පමණක් බව ඒ මහතා පෙන්වා දෙයි. ක්‍රිකට් පුහුණුකරුවකුගේ වැටුප රුපියල් මිලියන 6ක් වෙද්දී රග්බි ඇතුළු බොහෝ ක්‍රීඩාවල පුහුණුකරුවන්ට ලැබෙන්නේ රුපියල් 30,000ක පමණ අවම වැටුපකි.

මේ හේතුවෙන් ක්‍රිකට් හැර අනෙකුත් ක්‍රීඩාවලට හොඳ පුහුණුකරුවන් බිහි වන්නේ කෙසේද? ඔවුන්ගේ දැනුමට නිසි වටිනාකමක් නැති තැනක ඔවුන්ට ලැබෙන ධෛර්යය කුමක්ද? රෝහිත රාජපක්ෂ මහතා ප්‍රශ්න කරයි. ඒ නිසා කොළඹින් පිටත දුෂ්කර පළාත්වල දරුවන්ගේ අනාගතය වෙනුවෙන් හොඳ දැනුමෙන් පිරිපුන් පුහුණුකරුවන් බිහි කිරීම සඳහා දැනුම වෙනුවෙන් ආයෝජනය කරන වැඩපිළිවෙළක් සකස් කළ යුතු යැයි ඒ මහතා අවධාරණය කළේය.

ඒ මහතා එසේ පැවැසූවේ සී.එච්. ඇන්ඩ් එෆ්.සී කණ්ඩායමේ ප්‍රධාන රග්බි පුහුණුකරු වශයෙන් වැඩ බර ගැනීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

“අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අන්තර්ජාතික මට්ටමට යා හැකි දක්ෂතාවලින් පිරිපුන් පිරිසක්. නමුත් ඔවුන්ට නිසි මඟ පෙන්වන පුහුණුකරුට ‘කෝච් එඩියුකේෂන්’ නෑ. ඒක ගන්න අතින් සල්ලි වියදම් කරන්න වෙනවා. කීයෙන් කී දෙනකුටද එහෙම කරන්න පුළුවන්. මේ වෙනුවෙන් තවම නිසි ක්‍රමයක් නෑ. අලුතින් හිතලා දැනුම වෙනුවෙන් ආයෝජනය කරන ක්‍රමයක් හදන්න අවශ්‍යයි. නැතිනම් හොඳ පුහුණුකරුවන් බිහි වන්නේ නෑ. ක්‍රිකට්වලට හා අනෙකුත් ක්‍රීඩාවල ඇති අසමතුලිතභාවය නැති කොට, සැමට විශ්වාසය ගොඩ නැඟෙන පරිසරයක් නිර්මාණය කළ යුතුයි” පුහුණුකරු රෝහිත රාජපක්ෂ මහතා සඳහන් කළේය.

රෝහිත රාජපක්ෂ මහතා සී.එච්. ඇන්ඩ් එෆ්.සී කණ්ඩායමේ පුහුණුකරු වීමට පෙර ගල්කිස්ස විද්‍යා විදුහලේ හා කොළඹ තර්ස්ටන් විදුහලේ රග්බි පුහුණුකරු ලෙස කටයුතු කළේය. ඔහු ශ්‍රී ලංකාවේ බිහි වූ ළාබාලතම රග්බි පුහුණු උපදේශක වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගණිත විද්‍යා (Mathematical Optimisation) ආචාර්ය උපාධියක් ලබා, දැනට ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ආචාර්ය උපාධිය හදාරමින් සිටී.

“මා රග්බි පුහුණුකරුවකු වශයෙන් කටයුතු කිරීමට අවශ්‍ය පාඨමාලා සමත් වෙලා සී.එච්. ඇන්ඩ් එෆ්.සී පිලට එක් වුණේ. පුහුණුකරුවකුට දැනුම හා අධ්‍යාපනය හරිම වැදගත්. ක්‍රීඩකයන්ගේ දක්ෂතා හඳුනාගෙන ඔවුන්ට ගැළපෙන ස්ථානය සහ වේලාව කළමනාකරණය කරදීම විශාල වගකීමක්. මා ක්‍රීඩාවට ආදරය කරන නිසා රග්බි ක්‍රීඩාව වෙනුවෙන් මෙය හදවතින් කරන දෙයක් මිස පුහුණුකරු තනතුරෙන් මුදල් උපයන්න බලාපොරොත්තුවක් නෑ’’ රාජපක්ෂ මහතා පැවසීය.

“ක්‍රීඩකයෙකුට මුලින්ම තමන්ගේ අනාගතය පිළිබඳ විශ්වාසයක් ඇතිවිය යුතුයි. සී.එච්. ඇන්ඩ් එෆ්.සී පිලේ කළමනාකාරිත්වය ඒ විශ්වාසය මුලින්ම ගොඩනඟා දුන්නා. ඒ නිසා ඉදිරි තරගවාරයේදී හොඳ ශක්තිමත් කණ්ඩායමක් අප සතුයි. අපේ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන්ගේ අධ්‍යාපනය අප මුලින්ම බලනවා. ඒ සඳහා වැඩපිළිවෙළක් යොදනවා. ඉන් පස්සේ හොඳ රැකියාවක් පිළිබඳ අවධානය යොමු කරනවා. ක්‍රීඩකයන්ට රග්බි නැතිදා ජීවිතය ගොඩනඟාගන්නේ කොහොමද කියා විශ්වාසයක් ඇති කොට හමාරයි. අප සමඟ ආශ්‍රය කරන අය දන්නවා ඒ අයව අතඅරින්නේ නෑ කියලා.”

2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව කිසිවකු තමාට රග්බි ක්‍රීඩාව කරගෙන යෑමට ආරාධනා නොකළ අවස්ථාවේ සී.එච්. ඇන්ඩ් එෆ්.සී පිලේ ආරාධනාව කිසිදා අමතක නොවන බැවින් එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමේ වගකීම ද සතුටින් භාරගත් බව ඒ මහතා සඳහන් කළේය.

“මට රග්බි කණ්ඩායම් කිහිපයක්ම කතා කළා. බැරි වේලාවේ අත දුන් අය අමතක කරන්නේ නෑ. ඒක අපේ සදා හිතේ තියන දෙයක්. ඒ වේලාවේ අපත් එක්ක හිටපු ක්‍රීඩකයන් තමයි අදත් ඉන්නෙ. මේ පාර වෙනසක් කරන්න අපේ කණ්ඩායමට පුළුවන්” රෝහිත රාජපක්ෂ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පාසල් රග්බි ඉහළම වයස් කාණ්ඩය ඉදිරියේදී වයස අවුරුදු 21න් පහළ ලෙස වෙනස් කිරීම කාලෝචිත බව රෝහිත රාජපක්ෂ මහතාගේ අදහස වේ.

“අද ලෝකයේ පාසල්වල සහ යොවුන් රග්බි ක්‍රීඩාව පවතින්නේ වයස අවුරුදු 21න් පහළ ලෙස. කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් රග්බි ක්‍රීඩාව පවත්වන්න බැරි වෙලා තියෙනවා. මේ නිසා අවසන් අවුරුද්දේ ක්‍රීඩා කරන පාසල් ක්‍රීඩකයන්ට විශාල අසාධාරණයක් වෙනවා. මේ ගැන හිතන්න අවශ්‍යයි. මොකද රග්බි ක්‍රීඩකයකුගේ සුන්දර කාලය පාසල් රග්බි සමයයි. ඒ අයට තවත් අවස්ථාවක් දෙන්න පාසල් රග්බි ක්‍රීඩාවේ වයස් සීමාව සංශෝධනය කරමින් ලෝකයට ගැළපෙන විදිහට වයස අවුරුදු 21න් පහළ කරන ලෙස මා යෝජනා කරනවා. අපේ පාසල් රග්බි ක්‍රීඩාවත් වයස අවුරුදු 21න් පහළ ලෙස සංශෝධනය වුණොත් මේ පාර අවසන් වසරේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයන්ට අසාධාරණයක් වන්නේ නැහැ. ඒ වගේම හොඳම යොවුන් කණ්ඩායමක් තෝරා ගැනීමත් පහසු වෙනවා”

“අපේ ක්‍රීඩාව ඉදිරියට ගන්න ක්‍රීඩා සංගම්වල හා ක්‍රීඩාංගණ භාර නිලධාරීන්ගේ ආකල්ප වෙනසක් අවශ්‍යයි. ශ්‍රී ලංකා රග්බි හා පාසල් රග්බි වශයෙන් දෙපැත්තකට බෙදිලා රග්බි දියුණු කරන්න බෑ. ක්‍රීඩා සංගම් අභ්‍යන්තර දේශපාලනික මතිමතාන්තරවලින් ඉවත් වෙලා ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණ ගැන පමණක් හිතන්න අවශ්‍යයි. අද තුරඟ තරග පිටිය තරගයකට ගන්න රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ ගෙවන්න වෙනවා. ඉතින් කවුද මැච් ගහන්න එහෙ යන්නේ? තුරඟ තරග පිටිය නිකම් තියෙනවා. මේ ජාතික සම්පත් නිසි පරිදි ක්‍රීඩාව වෙනුවෙන් යොදවන්න ඕනෑ. ක්‍රීඩා ඇමැතිතුමාට ඒ ඕනෑකම තියෙනවා. නව ක්‍රීඩා ඇමැති ක්‍රීඩාව ගැන දන්න, ක්‍රීඩා කරපු අයෙක්. ඒ නිසා සියලු දෙනාට යහපතක් වන හෙට දිනක් ක්‍රීඩාවෙන් අපට දකින්න පුළුවන් වේවි” රෝහිත රාජපක්ෂ මහතා සඳහන් කළේය.

 

ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න