කැරම් සම්මේලනය නිලවරණයට සූදානම් | දිනමිණ

කැරම් සම්මේලනය නිලවරණයට සූදානම්

විවිධ හේතුන් මත දිනෙන් දින කල් ගිය ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ නිලවරණය එළැඹෙන නොවැම්බර් මස 6 වැනිදා පැවැත්වීමට තීරණය වෙයි.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය සහ කැරම් සම්මේලනයේ අනුබද්ධ ක්‍රීඩා සමාජවලින් මුතු වූ විරෝධතා හේතුවෙන් නිලවරණයට දින නියම කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබිණි.

සම්මේලනයේ නිල කාලය පසුගිය මැයි මාසයෙන් අවසන් වූ අතර, ජනසතු සේවා කැරම් සංගමය සහ ඊට අනුබද්ධ ක්‍රීඩා සමාජ කීපයක්ම 2017 වසරේ සිට වාර්ෂික සාමාජික මුදල් ගෙවා නොතිබීම හේතුවෙන් සාමාජිකත්වය අහිමි කිරීම හේතුවෙන් එම ක්‍රීඩා සමාජවලින් විරෝධතා මතු විය. ඒ පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශයට හා නිලවරණ කමිටුවට ඉදිරිපත් වූ පැමිණිලි පිළිබඳ කීප වතාවක්ම විභාග කිරීමට සිදු වීමෙන් කැරම් නිලවරණයට දින නියම කර ගැනීමට නොහැකි විය.

කෙසේ වෙතත් කැඳවා ඇති නිලවරණය නීති විරෝධී බවට ජනසතු සේවා කැරම් සංගමය ක්‍රීඩා ඇමැතිවරයාට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

මෙවර නිලවරණයේ සියලු කටයුතු පරිපාලන ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් තිදෙනෙකුගෙන් සමන්විත නිලවරණ කමිටුවකින් සිදු වන අතර, විශ්‍රාමික අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධර්මසේන කහඳව (සභාපති), මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික මාණ්ඩලික නිලධාරී, ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ හිටපු ලේකම්වරයකු වන ෂෙල්ටන් ප්‍රේමරත්න, කොළඹ නගර සභාවේ විශ්‍රාමික මාණ්ඩලික නිලධාරී, ඩී.ඩී.ඒ. සේනාධීර යන මහත්වරු එම කමිටුවට ඇතුළත් වෙති.

මේ නිලවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම පසුගිය 8 වැනිදා අවසන් වූ අතර, නිලවරණ කමිටුව විසින් විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පසුගිය 21 දක්වා කල්දී තිබිණි. ඉන් අනතුරුව එක් පාර්ශ්වයකින් ඉදිරිපත් වූ නාම යෝජනා කීපයක් ප්‍රතික්‍ෂේපවීම හේතුවෙන් ලේකම්, භාණ්ඩාගාරික, තරග ලේකම්, උප භාණ්ඩාගාරික යන තනතුරු නිතරගයෙන් පත්වීම විශේෂත්වයකි.

ඒ අනුව සභාපති, උප සභාපතිවරුන්, උප ලේකම්, හා කමිටු සාමාජිකයන් දස දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම නොවැම්බර් මස 6 වැනිදා කොළඹ 07, ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කිරීමට නියමිතය.

මේ අතර, මේ නියමිත පරිදි නිලවරණ පැවැත්වීමට අපොහොසත් වූ හා පරිපාලනමය ගැටලුවලින් සමන්විත ජාතික ක්‍රීඩා සංගම් 8ක් වෙනුවෙන් අතුරු කමිටුපත් කිරීමට හෝ තාවකාලික පියවරක් ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතට පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

ඒ අතරට කැරම් සම්මේලනයත් ඇතුළත් වූ අතර, මේ පිළිබඳ කළ විමසීමකදී ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රකාශකයකු පැවැසුවේ අතුරු කමිටු පත්කිරීම පිළිබඳ තීරණය ජාතික ක්‍රීඩා සභාවට පවරා ඇති අතර, එහි තීරණය ලැබෙන තෙක් සම්මේලනවල කටයුතු ඉදිරියට පත්වාගෙන යා හැකි බවයි. ඒ අනුව කැරම් සම්මේලනයට නිලවරණය පැවැත්වීමට අවස්ථාව හිමිව තිබේ.

 

 

නිරෝෂාන් ප්‍රියංකර

 

නව අදහස දක්වන්න