රාජස්ථාන් පිලට වාර්තාගත ජයක් | දිනමිණ

රාජස්ථාන් පිලට වාර්තාගත ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග ඉතිහාසයේ සාර්ථකම හඹා යෑමේ වාර්තාව සතු කර ගත් රාජස්ථාන් රෝයල්ස් ක්‍රීඩකයෝ කිංග්ස් ලෙවන් පන්ජාබ් පිලට එරෙහිව තරගයෙන් කඩුලු 4ක ජයක් අත් කර ගත්හ.

තරගාවලියේ 9 වැන්න ලෙස සාජාහිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් පන්ජාබ් ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 223ක් රැස් කළ අතර, එම ඉලක්කය පන්දු 3ක් ඉතිරිව තිබියදී සපුරා ගැනීමට රාජස්ථාන් පිලට හැකි විය. මෙය අයිපීඑල් තරගයකදී හඹා ගොස් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වූ අතර, ඉන් පෙර 2008 වසරේදී රාජස්ථාන් පිල විසින් මේ වාර්තාවට හිමිකම් කීවේ ඩෙකෑන් චාජර්ස් පිල දුන් ලකුණු 215 පසු කරමිනි.

අර්ධ ශතක තුනකින් සවිමත් වූ රාජස්ථාන් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් තරගයේ වීරයා වූ සංජු සැම්සන් පන්දු 42කින් ලකුණු 85ක් රැස් කළේ හතරේ පහර 4ක් සහ හයේ පහර 7ක් සමඟිනි. නායක ස්ටීව් ස්මිත් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟ පන්දු 27කින් ලකුණු 50ක් සහ රාහුල් තෙවාටියා පන්දු 31කදී හතරේ පහර 7ක් සමඟ පන්දු 31කින් ලකුණු 53ක් ඉනිමට එක් කළහ.

පන්දු යැවීමේදී මොහොමඩ් ෂාමි කඩුලු 3ක් බිඳ දැම්මේය. පළමුව ලකුණු රැස් කළ පන්ජාබ් ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් නායක ලෝකේෂ් රාහුල් සහ මයාන්ක් අග්‍රවාල් පළමු කඩුල්ලට ගොඩනැඟූ සබඳතාව ලකුණු 183කි. පන්දු 54කදී හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 69ක් රැස් කර සිටි රාහුල් දැවී යෑමෙන් එම සබඳතාව නිමාවට පත් විය. අගනා ඉනිමක් දියත් කළ අග්‍රවාල් මෙවර තරගාවලියේ දෙවැනි ශතකයට හිමිකම් කීවේ ලකුණු 106ක් රැස් කරමිනි. පන්දු 50කට මුහුණ දුන් ඔහු හතරේ පහර 10ක් සහ හයේ පහර 7කින් ඉනිම වර්ණවත් කර ගත්තේය.

නව අදහස දක්වන්න