19න් ඇවිත් 20න් යන විගණන කොමිසම | දිනමිණ


 

19න් ඇවිත් 20න් යන විගණන කොමිසම

දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් විශාල සීමාසහිත සමාගම් සංඛ්‍යාවක් විගණකාධිපතිවරයාගේ  විගණනයට යටත් කරනු ලැබූව ද විගණකාධිපතිවරයාට අවශ්‍ය කාර්ය මණ්ඩලය  ප්‍රමාණවත් තරම් ලබා දුන්නේ නැත. සුදුසුකම්ලත් වරලත් ගණකාධිකාරීවරුන් බඳවා ගැනීම උනන්දු කිරීම සඳහා ඔවුනට ඉහළ වැටුප් ගෙවීමට ප්‍රතිපාදන ගෙන ආවේ නැත. දැනටත් ජාතික විගණන කාර්යාලයේ පුරප්පාඩු සැලකිය යුතු සංඛ්‍යාවක් තිබේ.

විගණකාධිපතිවරයා විසින් රාජ්‍ය ආයතනවල ගිණුම් විගණනය කිරීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර මෙන්ම ඉන් පසුව ද සිදු විය. යෝජිත 20 වැනි සංශෝධනය සම්මත වීමෙන් පසුව ද සියලුම රාජ්‍ය ආයතනවල ගිණුම් විගණනය විගණකාධිපතිවරයා විසින් සිදු කරනු ඇත.

විගණකාධිපතිවරයා සෘජුවම පාර්ලිමේන්තුවට වගකියනු ලබන ස්වාධීන නිලධාරියෙකි. දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ විගණකාධිපතිවරයා පත් කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසිනි. දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව විගණකාධිපතිවරයා පත් කරනු ලැබීය. විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසුව යළිත් ජනාධිපතිවරයා විසින් විගණකාධිපතිවරයා පත් කරනු ඇත.

දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් හඳුන්වා දෙනු ලැබූ ජාතික විගණන කොමිසම විගණකාධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් කිසිසේත්ම අදාළ වූයේ නැත. ජාතික විගණන කොමිසම වෙනමම ව්‍යවස්ථාපිත ආයතනයක් වන අතර, එය සාමාජිකයන් පස්දෙනකුගෙන් සමන්විත වේ. විගණකාධිපතිවරයා ජාතික විගණන කොමිසමේ සභාපතිවරයා වන අතර, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති හෝ ඊට ඉහළ නිලයන් දරනු ලැබූ නිලධාරීන් දෙදෙනකු, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ හෝ විශ්‍රාමලත් අභියාචනාධිකරණ හෝ විශ්‍රාමලත් මහාධිකරණ විනිශ්චයකාරවරයකු සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමලත් පළමු පන්තියේ නිලධාරියකු වශයෙන් එකී සාමාජිකයන් සමන්විත වේ. මෙම ජාතික විගණන කොමිසමේ රැස්වීම් සඳහා ගණපූරණය සාමාජිකයන් තුනකි. ඒ අනුව විගණකාධිපතිවරයාට සහ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් සාමාජිකයන් දෙදෙනාට කොමිසමේ රැස්වීම් පැවැත්වීමට පුළුවන. ඒ නිසා මගේ අදහස වන්නේ දැනට ක්‍රියාත්මක ජාතික විගණන කොමිසම ස්වාධීන විගණන කොමිසමක් නොවන බවයි. දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විගණකාධිපති දෙපාර්තමේන්තුව ‘ජාතික විගණන කාර්යාලය’ යනුවෙන් නම වෙනස් වූයේය. එහෙත් එය තවමත් රජයේ දෙපාර්තමේන්තුවකි. ජාතික විගණන කොමිසම පිහිටුවීම මඟින් විගණකාධිපතිවරයාගේ බලතල, කාර්යයන් හෝ ස්වාධීනත්වය සම්බන්ධ කිසිඳු වෙනසක් සිදු වූයේ නැත. එසේ නම් ජාතික විගණන කොමිසමේ බලතල සහ කාර්යයන් මොනවාද යන්න පැහැදිලි කර ගත යුතුය.

 

කොමිසමේ වගකීම

ජාතික විගණන කාර්යාලයේ කාර්ය මණ්ඩලය බඳවා ගැනීම, වැටුප් ගෙවීම, මාරු කිරීම සහ උසස් කිරීම, එම කාර්ය මණ්ඩලයේ විනය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම මෙම ජාතික විගණන කොමිසමට අයත් විය. එසේම වාර්ෂික අය වැය ඇස්තමේන්තු සෑදීම පැවරුණේ ද ජාතික විගණන කොමිසමටයි.

විගණකාධිපතිවරයා හෝ පෞද්ගලික විගණකවරයකු හෝ කිසියම් රාජ්‍ය හෝ පෞද්ගලික විගණනයක් සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා විගණන ප්‍රමිතවලට අනුකූලවය. විගණනයක ගුණාත්මක භාවය පවත්වාගෙන යනු ලබන්නේ ශ්‍රී ලංකා විගණන ප්‍රමිත මඟින් වන අතර, වෙනත් රටවල තත්ත්වය ද එසේමය. මෙයට අමතරව එක් එක් ආයතනවලට බලපාන්නා වූ විශේෂිත නීතිමය ප්‍රතිපාදන ද විගණනයේදී අදාළ වනු ඇත. ජාතික විගණන කොමිසම පිහිටුවනු ලැබූයේ විගණකාධිපතිවරයාගේ විගණන ක්‍රියාවලියට අදාළ විෂය කරුණු සහ තාක්ෂණික කරුණු පිළිබඳ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට නොවේ. ජාතික විගණන කොමිසම හුදෙක්ම පරිපාලනමය කටයුතු සඳහා පිහිටුවනු ලැබූ ආයතනයකි. විගණකාධිපතිවරයාගේ තනතුර කවදත් ස්වාධීන තනතුරකි. විගණකාධිපතිවරයාගේ දෙපාර්තමේන්තුව කිසිදු අමාත්‍යාංශයක් යටතට අයත් වූයේ නැත. දහනව වැනි සංශෝධනයෙන් පසුව ද තත්ත්වය එසේමය. විසිවැනි සංශෝධනය යටතේ ද තත්ත්වය එසේම වනු ඇත. තවදුරටත් විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියනු ඇත. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ප්‍රධාන රටවල තත්ත්වය ද එසේමය. එහෙත් එම රටවල විගණන කොමිසමක් නැත.

 

විගණන පනත

වර්ෂ 2018 දී ජාතික විගණන පනත සම්මත කරනු ලැබීය. එම පනත මඟින් ද විගණකාධිපතිවරයාගේ කාර්ය භාරය සහ විෂය පථය පිළිබඳ ප්‍රතිපාදන සලසා තිබේ. එසේ වුවද විගණකාධිපතිවරයාට රාජ්‍ය ආයතන විගණනය සඳහා බලය ලැබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟිනි. විගණකාධිපතිවරයා විසින් යම් රාජ්‍ය ආයතනයක ගිණුම් පිළිබඳව පිළියෙල කරනු ලබන වාර්ෂික විගණන වාර්තාවේ අඩංගු කළ යුතු කරුණු මොනවාද යන්න ජාතික විගණන පනතේ සඳහන් වේ. එයට අමතරව ත්‍රෛවාර්ෂික විගණනය පිළිබඳ කරුණු ද අඩංගු වේ.

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ විගණකාධිපතිවරයාගේ පත්වීම, වගකීම, බලතල, කාර්යයන් හෝ විෂය පථය යන කිසිඳු කාරණයකට වෙනසක් සිදු කිරීමට යෝජනා කර නැත. දහනව වැනි සංශෝධනය යටතේ ඇතැම් සීමාසහිත සමාගම් විගණනය විගණකාධිපතිවරයා විසින් සිදු කළ යුතු බවට තිබූ ප්‍රතිපාදනය පමණක් විසිවැනි සංශෝධනය මඟින් ඉවත් කිරීමට යෝජනා කර තිබේ. දැනට ක්‍රියාත්මක වන 2007 අංක 07 දරන සමාගම් පනත හෝ ඊට පෙර ක්‍රියාත්මක වූ සමාගම් පනත් යටතේ සංවිධානය කරනු ලැබ ඇති සියලුම සීමාසහිත සමාගම් විගණනය කිරීමට අදාළ ප්‍රතිපාදන සමාගම් පනතේ අඩංගු වේ. එනම් සීමාසහිත සමාගම්වල ගිණුම් විගණනය කළ යුතු වන්නේ සමාගම් පනතේ ප්‍රතිපාදනවලට අනුවයි. නමුත් දහනව වැනි සංශෝධනය මඟින් කිසියම් වෙනසක් සිදු කරනු ලැබීය. ඒ අනුව, යම් සීමාසහිත සමාගමක කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 50 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් රජය, පළාත් පාලන ආයතන හෝ රාජ්‍ය සමාගම්වලට අයත් වන්නේ නම් එවැනි සමාගම්වල වාර්ෂික ගිණුම් ද විගණකාධිපතිවරයා විසින් විගණනය කළ යුතු බවට ප්‍රතිපාදන ගෙන එනු ලැබීය. (මෙම ප්‍රතිපාදනයේ සිංහල සහ ඉංග්‍රීසි පිටපත්වල පරස්පරයක් පවතින බව ද මෙහිදී සඳහන් කළ යුතුය. සිංහල පිටපතේ ‘රාජ්‍ය සමාගම්’ යනුවෙන් සඳහන් වුවද ඉංග්‍රීසි පිටපතේ සඳහන්ව ඇත්තේ ‘Public Corporation's’ එනම් රාජ්‍ය සංස්ථා යනුවෙනි.)

කිසියම් සීමාසහිත සමාගමක කොටස් ප්‍රාග්ධනය අයිතිය කවුරුන් සතුව තිබුණ ද ඒවායේ මූල්‍ය ප්‍රකාශන විගණනය සිදු වූයේ සමාගම් පනතේ ප්‍රතිපාදන යටතේය. සීමාසහිත සමාගම් වාණිජ්‍යමය ක්‍රියාකාරීත්වයකින් යුතු ව්‍යාපාර සංවිධාන වර්ගයකි. ඒවා විගණනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනවලට අදාළ වන්නා වූ චක්‍රලේඛ සහ වෙනත් ප්‍රතිපාදන යොදා නො‍ගත යුතුය. එසේ කිරීමට යාමෙන් සිදු වනුයේ එකී සමාගම්වල ස්වාධීන ක්‍රියාකාරීත්වයට බාධා පැමිණීමයි. එසේ හෙයින් මෙවැනි සමාගම්වල ගිණුම් විගණනය කිරීම විගණකාධිපතිවරයාගේ ඉවත් කිරීම ඉතාමත් උචිත බව කිව යුතුය.

 

පෞද්ගලික විගණකවරුන්

විගණකාධිපතිවරයාට අවශ්‍ය නම් කිසියම් පෞද්ගලික විගණකයකු‍ හෝ පෞද්ගලික විගණන සමාගමක් ලවා ඕනෑම රාජ්‍ය ආයතනයක ගිණුම් විගණනය කරවාගත හැකි බව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව තිබේ. දහනව වැනි සංශෝධනය යටතේ ද මෙම ප්‍රතිපාදනය වෙනස් කෙළේ නැත. ඒ අනුව තවදුරටත් පෞද්ගලික විගණකවරුන් ලවා රාජ්‍ය ආයතන ගිණුම් විගණනය සිදු කිරීම සිදු කෙරෙනු ඇත. ප්‍රධාන රාජ්‍ය බැංකු ඇතුළු රාජ්‍ය ව්‍යවසායන්හි විගණන කටයුතු විගණනය පෞද්ගලික විගණකවරුනට පැවරීම කවදත් සිදු විය.

රාජ්‍ය බැංකු ශාඛා බහුතර සංඛ්‍යාවක් විගණනය කරනු ලබන්නේ ද පෞද්ගලික විගණකවරුන් බව සඳහන් කළ යුතුය. එසේ කිරීමට බලපාන ප්‍රධානම හේතුවක් වන්නේ විගණකාධිපතිවරයාට අවශ්‍ය තරම් කාර්යය මණ්ඩලයක් නොසිටීමයි. විශේෂයෙන්ම පූර්ණ සුදුසුකම් ලැබූ වරලත් ගණකාධිකාරීවරුන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් විගණකාධිපතිවරයාට නැත. මේ වන විට ජාතික විගණන කාර්යාලයේ සිටිනුයේ වරලත් ගණකාධිකාරීවරුන් 18 දෙනෙකි. සාමාන්‍යයෙන් විශාල පෞද්ගලික විගණන සමාගමක මීට වඩා වරලත් ගණකාධිකාරීවරුන් සංඛ්‍යාවක් සේවය කරයි. එසේ වුවද විගණකාධිපතිවරයාගේ විගණනය සඳහා රාජ්‍ය ආයතන 1500ට වඩා වැඩි ප්‍රමාණයක් තිබේ. විගණනයක ගුණාත්මක භාවය සඳහා බලපාන එක් ප්‍රධාන කාරණයක් වනුයේ සුදුසුකම්ලත් වරලත් ගණකාධිකාරීන් විසින් අදාළ විගණන ප්‍රමාණවත් ලෙස පරීක්ෂාවට භාජනය කිරීමයි.

දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් විශාල සීමාසහිත සමාගම් සංඛ්‍යාවක් විගණකාධිපතිවරයාගේ විගණනයට යටත් කරනු ලැබූව ද විගණකාධිපතිවරයාට අවශ්‍ය කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් තරම් ලබා දුන්නේ නැත. සුදුසුකම්ලත් වරලත් ගණකාධිකාරීවරුන් බඳවා ගැනීම උනන්දු කිරීම සඳහා ඔවුනට ඉහළ වැටුප් ගෙවීමට ප්‍රතිපාදන ගෙන ආවේ නැත. දැනටත් ජාතික විගණන කාර්යාලයේ පුරප්පාඩු සැලකිය යුතු සංඛ්‍යාවක් තිබේ. එසේ නම් ජාතික විගණන කොමිසම පිහිටුවීම නිසා විගණනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සිදු කර නොමැති බව පෙනී යයි. විගණකාධිපතිවරයාගේ විගණන කටයුතුවල ගුණාත්මක භාවය වර්ධනය කර රාජ්‍ය විගණනය ශක්තිමත් කිරීම සඳහා අවැසි කරුණු කිහිපයක් තිබේ.

1. විගණනය සඳහා හිතකර වාතාවරණයක් පැවතීම. එනම් රට

තුළ සාමාන්‍ය සිවිල් තත්ත්වයක් යටතේ රාජ්‍ය ආයතනවල

කටයුතු සිදු කිරීමට තරම් පරිසරයක් තිබිය යුතුය.

2. විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වය.

3. විගණකාධිපතිවරයාට අවශ්‍ය කාර්ය මණ්ඩලය සහ මූල්‍ය

ප්‍රතිපාදන සලසා දීම.

4. දැනුම සහ පළපුරුද්ද හුවමාරු කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු

සම්පාදනය කිරීම.

5. විගණකාධිපතිවරයාට පැහැදිලි වරමක් ලබා දී තිබීම.

 

ඉවත් කළ කොටස්

ශ්‍රී ලංකාව උත්තරීතර විගණන ආයතනයන්හි අන්තර්ජාතික සංගමයේ (International Organization of Supreme Audit Institutions) සාමාජික රටකි. ඒ නිසා එකී සංවිධානයේ ප්‍රමිතීන් සහ එකඟතාවන්ට අනුව ශ්‍රී ලංකාවේ විගණකාධිපතිවරයාගේ කාර්යයන් සිදු විය යුතුය. තවද මේ සඳහා ‘ලීමා සම්මුතිය’ ද (Lima Dechration) අදාළ වේ. මෙම සංවිධානයේ ශ්‍රී ලංකා සාමාජිකත්වය හිමිවන්නේ ජාතික විගණන කාර්යාලයටයි. එනම් ශ්‍රී ලංකාවේ උත්තරීතර විගණන ආයතනය වනුයේ ජාතික විගණන කාර්යාලයයි. (මීට පෙර විගණකාධිපති දෙපාර්තමේන්තුව)

මේ අනුව තේරුම් ගත යුත්තේ විගණකාධිපතිගේ ස්වාධීනත්වය, බලතල, කාර්යය, විෂය පථය මෙන්ම අදාළ විගණන ප්‍රමිත සම්බන්ධයෙන් හුදු විගණන කොමිසමකට කිසිදු කාර්ය භාරයක් නොපැවරෙන බවයි. යෝජිත 20 වැනි සංශෝධනය මඟින් යම් යම් රාජ්‍ය ආයතන විගණකාධිපතිවරයාගේ විගණනයෙන් ඉවත් කරන්නේ නැත.

විගණකාධිපතිවරයා විසින් සියලුම රාජ්‍ය දෙපාර්තමේන්තු ද විගණනය කළ යුතු බව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව තිබේ. දහනව වැනි සංශෝධනය යටතේ මෙය තවදුරටත් විශේෂනය කරනු ලැබීය. ඒ අනුව විගණකාධිපතිවරයා විසින් සියලු රාජ්‍ය දෙපාර්තමේන්තු, ජනාධිපති ලේකම්වරයාගේ කාර්යාලය, අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ කාර්යාලය යනුවෙන් විශේෂිතව සඳහන්ව තිබුණි. යෝජිත 20 වැනි සංශෝධනයේ සඳහන්ව ඇත්තේ සියලුම රාජ්‍ය දෙපාර්තමේන්තු යනුවෙන් පමණක් වන අතර, ජනාධිපති ලේකම්වරයාගේ කාර්යාලය සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ කාර්යාලය යන කොටස් ඉවත් කර යළිත් දහනව වැනි සංශෝධනයට පෙර තිබූ ආකාරයට සියලු රාජ්‍ය දෙපාර්තමේන්තු යනුවෙන් සඳහන්ව තිබේ. කාර්යාල යනුවෙන් හඳුන්වනු ලැබූව ද ජනාධිපති සහ අගමැති ලේකම් කාර්යාල රාජ්‍ය දෙපාර්තමේන්තුවලට අයත් වේ. ඒ නිසා ඒවා අනිවාර්යයෙන්ම විගණකාධිපතිවරයාගේ විගණනයට භාජනය වනු ඇත.

නව අදහස දක්වන්න