සියලු පාර්ශ්වකරුවන්ගේ සහායෙන් කොරෝනා ව්‍යාප්තිය අවම මට්ටමක තබාගැනීමට අපට හැකි වුණා | දිනමිණ

සියලු පාර්ශ්වකරුවන්ගේ සහායෙන් කොරෝනා ව්‍යාප්තිය අවම මට්ටමක තබාගැනීමට අපට හැකි වුණා

සාර්ක් අමාත්‍ය මණ්ඩල පළමු අතථ්‍ය අවිධිමත් රැස්වීමේදී විදේශ සබඳතා ඇමැති දිනේෂ් කියයි

ශ්‍රී ලංකාවේ සියලු පාර්ශ්වකරුවන්ගේ අතිමහත් සහයෝගය ඇතිව, දැඩි උත්සාහයක් දරමින් කොවිඩ් -19 වසංගතයේ ව්‍යාප්තිය අවම මට්ටමක තබාගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙන බව සාර්ක් අමාත්‍ය මණ්ඩල පළමු අතථ්‍ය අවිධිමත් රැස්වීමේදී විදේශ සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

කොවිඩ් -19 ගෝලීය වසංගතය අවම කිරීමේ දැවැන්ත කර්තව්‍යයට අපරට මුහුණ දී තිබියදී, අනෙක් අතින් ඊට සමගාමීව රටේ මහ මැතිවරණයක් පැවැත්වීමට ව්‍යවස්ථාමය බැඳීමක් ද තිබුණු බව පෙන්වා දෙන ඒ මහතා විශාල අවදානම් තත්ත්වයන් තිබියදී රජය මේ අභියෝග දෙකම පිළිගත්තේ ඔරොත්තු දෙනසුළු ජනතාවගේ අතිමහත් සහයෝගයෙන් යුතුව බවද ඒ මහතා පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ (UNGA) 75 වැනි සැසිවාරයට සමගාමීව පසුගියදා (24) පැවති සාර්ක් අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම අමතමින් විදේශ සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසිවාරයට සමගාමීව සාර්ක් අමාත්‍ය මණ්ඩලයේ පළමු අතථ්‍ය අවිධිමත් රැස්වීම ඇමතීමට ලැබීම මට මහත් සතුටක්. කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වය මධ්‍යයේ අර්බුදකාරී අවස්ථාවක මේ අවිධිමත් රැස්වීම සංවිධාන කිරීම පිළිබඳ නේපාල විදේශ ඇමැති ප්‍රදීප් කුමාර් ග්‍යවාලි මහතාට සහ නේපාල රජය වෙත මගේ අවංක ස්තුතිය පිරිනැමීමට කැමැත්තෙමි. මේ රැස්වීම සඳහා පහසුකම් සැපයීම සම්බන්ධයෙන් සාර්ක් සංවිධානයේ මහලේකම් ඇසල වීරකෝන් මහතාට සහ සාර්ක් මහලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයට මගේ රජයේ කෘතඥතාව පළ කිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි. කොවිඩ්-19 ගෝලීය වසංගතය පිළිබඳ පෙර නොවූ විරූ අභියෝගය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ නොවැළැක්විය හැකි ආර්ථික පසුබෑම හා අවපාතය බියකරු ලෙස අප ඉදිරියේ පවතී. එබැවින් සමකාලීන අභියෝග ජය ගැනීමට අපගේ සාමූහික ප්‍රයත්න ඵලදායී ලෙස ඒකරාශී කිරීම අන් කවරදාටත් වඩා අදාළ වේ.

අගුළු දැමීම් සහ විවිධ දේශීය ගැටලු මධ්‍යයේ, පසුගිය මාස කිහිපයේ මගේ රටේ පුරවැසියන් හදිසියේ නැවත මෙරටට ගෙන්වා ගැනීමට ඔවුන්ට පහසුකම් සැලසීම පිණිස ලබාදුන් නොමසුරු සහයෝගය වෙනුවෙන්, සියලුම සාර්ක් සාමාජික රටවලට මගේ අවංක ස්තූතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කරගත යුතුයි. දිවයිනේ සියලුම පාර්ශ්වකරුවන්ගේ අතිමහත් සහයෝගය ඇතිව, අනවරත වෑයමක් දරමින් කොවිඩ්- 19 වසංගතයේ ව්‍යාප්තිය අවම මට්ටමක තබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ. එක් අතකින් ගෝලීය වසංගතය අවම කිරීමේ දැවැන්ත කර්තව්‍යයට මගේ රට මුහුණ දී තිබියදී, අනෙක් අතින් ඊට සමගාමීව රටේ මහ මැතිවරණයක් පැවැත්වීමට ව්‍යවස්ථාමය බැඳීමක් ද තිබුණි. විශාල අවදානම් තත්ත්වයන් තිබියදීත්, රජය මේ අභියෝග දෙකම පිළිගත්තේ මගේ රටේ ඔරොත්තු දෙන සුළු ජනතාවගේ අතිමහත් සහයෝගයෙන් යුතුවය. පසුගිය මාසයේ පැවති මහ මැතිවරණයේ දී “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අඛණ්ඩව දෙවැනි වරමක් ලබාදුන්හ.

අපගේ ආසියානු අසල්වැසි රටවල් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සහ කලාපීය සහයෝගීතාව ප්‍රමුඛස්ථානයේ තබා ගනිමින් මිත්‍රශීලී හා මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අපගේ මැතිවරණ ප්‍රකාශනය මගින් පොරොන්දු විය. එබැවින්, සාර්ක් සහ අනෙකුත් කලාපීය කණ්ඩායම්, අපගේ විදේශ ප්‍රතිපත්තිමය දෘෂ්ටි කෝණයේ මූලික අංග ලෙස පවතී. අන්‍යෝන්‍ය අවබෝධය, අන්තර් සම්බන්ධතා සහ සමීප සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමෙන් මේ කලාපයේ ආර්ථික වර්ධනය, තිරසාර සංවර්ධනය, කල් පවත්නා සාමය සහ සමෘද්ධිය ළඟා කර ගත හැකි බව, සාර්ක් සංවිධානයේ ආරම්භක සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකාව තරයේ විශ්වාස කරයි. මේ කලාපයේ අපගේ ජාතික ආර්ථිකයන්හි ජීවනාලීන් වන නිෂ්පාදනය කඩාකප්පල් කිරීම, ප්‍රේෂණ සීමා කිරීම සහ සංචාරක කර්මාන්තය සීමා කිරීම මගින් එය අපගේ ආර්ථික ක්‍රියාකාරකම්වලට විවිධාකාරයෙන් බලපා ඇති බැවින්, කොවිඩ්-19 ගෝලීය වසංගතය අවසන් වීමෙන් අනතුරුව, අපගේ ජීවිතය පෙර පැවති පරිදිම නොවනු ඇති බව ශ්‍රී ලංකාව අදහස් කරයි.

මේ ආර්ථික බිඳවැටීමේ අහිතකර බලපෑම් තවමත් දැකගත නොහැකි නමුත්, එහි පෙරනිමිති ඉතා දරුණු ලෙස පවතී. එවැනි සන්දර්භයක් තුළ, අපගේ ආර්ථික දැක්ම සමාලෝචනය කිරීම, බලපෑමට ලක් වූ ශ්‍රම බළකාය සඳහා නව රැකියා සොයා ගැනීම, නව ආයෝජන පිළිබඳ සොයා බැලීම, ව්‍යාපාර පුනර්ජීවනය කිරීම සහ නිෂ්පාදනය වැඩි කිරීම සිදුකළ යුතුව ඇත. අප අඛණ්ඩව අපගේ ප්‍රයත්නවල යෙදෙන්නේ නම්, ආර්ථික වර්ධනයේ සහ සමෘද්ධියේ උත්ප්‍රේරකයක් බවට පත්වීමේ හැකියාව සාර්ක් ආයතනයට ඇති බව ශ්‍රී ලංකාව විශ්වාස කරයි. 2020 මාර්තු මාසයේ දී පැවති සාර්ක් රටවල නායකයන්ගේ වීඩියෝ සම්මන්ත්‍රණය සංවිධාන කිරීමේ දී නායකත්වය ගැනීම වෙනුවෙන් ඉන්දියාව වෙත මගේ රජයේ හෘදයාංගම ඇගයීම පිරිනැමීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.

ආර්ථික වර්ධන සහ වාණිජ කටයුතු ගොඩනැගීමට, සාර්ක් ක්‍රියාවලිය කලාපීය සහයෝගීතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කළයුතු බව ශ්‍රී ලංකාව තරයේ විශ්වාස කරයි. බිලියන 1.8 කට අධික ජනගහනයක් සිටින වෙළෙඳපොළක් වන අපගේ කලාපය, ලෝකයේ වඩාත්ම වේගයෙන් වර්ධනය වන කලාපයකි. කෙසේ වෙතත්, ලෝක බැංකුවට අනුව තවමත් අපගේ අන්තර් කලාපීය වෙළෙඳාම සමස්ත වෙළෙඳාමෙන් යන්තමින් සියයට 5 ක් පමණක් ඉක්මවා සිටී.

ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය හා මනෝචිකිත්සක ඖෂධ පිළිබඳ සාර්ක් සම්මුතියට අනුකූලව, ත්‍රස්තවාදය සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ මැඩපැවැත්වීමට තොරතුරු හුවමාරු කර ගැනීම පිණිස ශ්‍රී ලංකාව කොළඹ සාර්ක් ත්‍රස්තවාදී අපරාධ අධීක්ෂණ කවුළුව (STOMD) සහ සාර්ක් මත්ද්‍රව්‍ය අපරාධ අධීක්ෂණ කවුළුව (SDOMD) සම්බන්ධීකරණය කරයි. මේ STOMD සහ SDOMD කවුළු දෙකම තම සුරක්ෂික දත්ත පදනම් වැඩිදියුණු කිරීමට වන තාක්ෂණික යෝජනා විශ්ලේෂණය කරමින් සිටින අතර, අප ඔබගේ සමීප සහයෝගය ඒ සඳහා අපේක්ෂා කරමු. අනපේක්ෂිත කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වයත් සමඟ, අපගේ කලාපයේ වෙසෙන ජනතාවගේ සංවර්ධන අභිලාෂ ඉටුකිරීම සඳහා ඵලදායී ආධාරකයක් ලෙස සාර්ක් සංවිධානය පුනර්ජීවනය කිරීමට කලාපීය සහයෝගීතාව යළි පණගැන්වීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව ශ්‍රී ලංකාව විශ්වාස කරයි. මේ සංවිධානයේ ආරම්භක මූලධර්ම ඉදිරියට ගෙනයාම පිණිස, හැකි සෑම සාර්ක් ප්‍රඥප්තියක්ම පදනම් කරගත් යාන්ත්‍රණ හැකි ඉක්මනින් කැඳවීමට සාමාජික රටවල් ක්‍රියාකළ යුතුය.

පෙරට යා හැකි එක් මාර්ගයක් වනුයේ, මහජන සෞඛ්‍යය, දරිද්‍රතාව පිටුදැකීම, කෘෂිකර්මාන්තය, ආහාර සුරක්‍ෂිතතාව, පරිසරය, අධ්‍යාපනය සහ පුද්ගලාන්තර සබඳතා ප්‍රවර්ධනය කිරීම වැනි වඩාත් පහසු ව්‍යාපෘති පිළිබඳ සහයෝගීතාව පුළුල් කිරීමයි. අවසාන වශයෙන්, නැවත නැඟී සිටීමේ යුගයක දී අපගේ කලාපයේ ජනතාවගේ සමෘද්ධිය ළඟාකර ගැනීම පිණිස ආරක්ෂාව, සාමය සහ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා සාර්ක් සමඟ සමීප සහයෝගීතාවකින් හා සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ පූර්ණ කැපවීම යළි අවධාරණය කිරීමට කැමැත්තෙමි.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න