පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගේම 19 ගෙනැවිත් මේ රටට කළ විනාශයේ පාපයෙනුත් මෛත්‍රීපාලට ගැලවෙන්න බෑ | දිනමිණ

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගේම 19 ගෙනැවිත් මේ රටට කළ විනාශයේ පාපයෙනුත් මෛත්‍රීපාලට ගැලවෙන්න බෑ

ඇමැති ප්‍රසන්න රණතුංග

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතුයැයි පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බලන කොමිසම හමුවේ තහවුරු වුවහොත් ඔහුට අනිවාර්යෙන්ම දඩුවම් දියයුතු බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා වත්මන් ආණ්ඩුවේ එල්ලුණු පමණින් ඔහු ශුද්ධවන්තයකු නොවන බව පෙන්වා දෙන ඒ මහතා ඔහු ආණ්ඩුවට එකතු වුණේම තමන්ගේ බේරීමට පමණක් බවද ආණ්ඩුව එකතු වී දේශපාලනය කළ පමණින් ඔහුට ගැලවීමට හැකියාවක් නැති බව ද අවධාරණය කරයි.

මහනුවර දී පෙරේදා (27) පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේ ද කීය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ යහපාලන ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අනුගමනය කළ නිද්‍රාශීලි පිළිවෙත දැන් හෙළිදරව් වෙමින් තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයට හිටපු ජනාධිපති වගකිව යුතු බව මේ කොමිසමේ දී තහවුරු වු‍ණොත් ඔහුට අනිවාර්යෙන්ම දඩුවම් දිය යුතුයි. අප එකට දේශපාලනය කළා කියලා, ආණ්ඩුවේ හිටියා කියලා ඔහුට ගැලවෙන්න ඉඩ දෙන්න බෑ. මේ රටට කරපු විනාශයට වගකිව යුතු ප්‍රධාන කෙනෙක් තමයි මෛත්‍රීපාල සිරිසේන. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනත් මේ රට අරාජික කිරීමේ වගකීම ද ගත යුත්තේ ඔහුයි. දැන් 19 ගෙනාවේ මම නෙමෙයි කීවාට ඔහුට ගැලවීමක් නෑ. පාස්කු ඉරිදා ප්‍රහාරයට වගේම 19 ගෙනල්ලා මේ රටට කළ විනාශයේ පාපයෙනුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට කිසිදා ගැලවිය නොහැකියි.

ඔය 19 හරහා ආපු ස්වාධීනයැයි කියාගන්නා ස්වාධීන කොම්සම් සභා ඇත්තටම ස්වාධීන නෑ. ඒවායේ නියෝජිතයෝ පත් කළේ දේශපාලන පක්ෂ හරහා. එහෙම පත්කරපු අය කටයුතු කළේ ඔවුන්ගේ දේශපාලන පක්ෂවල වුවමනා ඉටු කරගන්න. එහෙම නැතිනම් NGO ඩොලර් කාක්කන්ගේ වුවමනාව ඉටු කරන්න. ඒ නිසා ස්වාධීන කොමිසම් සභා හරියට ක්‍රියාත්මක වුණේ නෑ. විපක්ෂයට ඕනෑ 19 රැකගන්න. 19 තිබුණොත් ජනාධිපතිටත්, අගමැතිටත් වැඩ කරන්න බැරි වෙනවා. තව තවත් රට අරාජික වෙනවා. අප හදන්නේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලය ලබාදුන් ජනතාවගේ වුවමනාව ඉටු කරන්න. සුළුතරයක් වෙන විපක්ෂයේ බලාපොරොත්තු ඉටු කරන්න සුලුතරයක් වන අපට අවශ්‍යතාවක් නෑ. ඒ නිසා 19 අනිවාර්යෙන්ම අහෝසි කරනවා. අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.

මේ දවස්වල පිටරටවල්වලට ආවඩන සිවිල් සංවිධාන පෝලිමේ උසාවි යනවා 20ට විරුද්ධව. මොනවද ඔය NGO ඩොලර් කාක්කෝ පහුගිය කාලේ රටට කළේ. 20ට විරුද්ධව උසාවි යන විපක්ෂය මොනව ද පහුගිය කාලේ ආණ්ඩුවේ ඉදන් රටට කළේ. මේ රටට සිදුව තිබෙන විනාශයට ඇතැම් සිවිල් සංවිධානත් වගකිව යුතුයි. ඔය 20ට එරෙහිව උසාවි යන සිවිල් සංවිධාන පෙනී සිටින්නේ මේ රටේ ජනතාව වෙනුවෙන් නොවෙයි. පිටරට මුදල් වෙනුවෙන්. ඔය සිවිල් සංවිධාන කරන ප්‍රධාන චෝදනාවක් තමයි විගණනය කිරීම. 19ට කලින් මේ රටේ කිසිවක් විගණනය වුණේ නැද්ද? හොඳට විගණනය වුණා. මහබැංකු හොරකම වෙද්දී ඔය විගණන තිබුණා ද? පළාත් පාලන මැතිවරණ, පළාත් සභා මැතිවරණය තියන්න ඔය ස්වාධීන කියන කොමිෂන් සභාවලට පුළුවන් වුණා ද? ඇත්තටම ස්වාධීන කොමිෂන් සභා මේ රටේ ඇති කරන්න ඕනෑ. ඒක කරන්න වෙන්නේ අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් පමණයි.

20ට විරුද්ධ තියෙන අනෙක් චෝදනාව තමයි රට ඒකාධිපතිත්වයට ගෙන යනවා කියන එක. ඒකාධිපතිකම, විගණනය ගැන කියමින් විපක්ෂය මේ මවන්නේ බිල්ලෙක්. 2009 මේ රටේ 30 වසරක යුද්ධය අවසන් කරන්න මහින්ද මහත්තයාට පුළුවන් වුණේ ඔය විධායක ජනාධිපති ධූරය නිසයි. එදා දෙමළ සන්ධානය, බටහිර රටවල් කරපු බලපෑම්වලට යටවෙන්න වුණා නම් ජීවිතේට යුද්ධය ඉවර වෙන්නේ නෑ.

20 සංශෝධනය පාර්ලිමේන්තුවේ දී තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත කරගන්න අපට පුළුවන්. ඒ සහා අවශ්‍ය වුණොත් අවශ්‍ය පිරිස ගන්නවා. ඒ සම්බන්ධයෙන් අදාළ අය මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. විපක්ෂය කොච්චර උඩ පැන්නත් 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත වීම වැළැක්විය නොහැකියි. ආණ්ඩුවේ විවිධ පාර්ශ්ව ඉන්නවා. ඔවුන්ට මේ ගැන විවිධ මත තියෙන්න පුළුවන්. ඒත් අප පොදු එකඟතාවක ඉන්නවා 20 වන සංශෝධනය සම්මත කර රටට වැඩ කළ හැකි පරිසරයක් ගොඩනඟන්න. ජනතාව තුනෙන් දෙකක බහුතර බලයක් දුන්නේ රටට වැඩ කරන්නයි.ආණ්ඩුවට ඒ වගකීමෙන් මිදෙන්න බෑයැයි පැවසීය.

නව අදහස දක්වන්න