මතු පරපුරේ ආරක්ෂාවට බාලදක්ෂ සංකල්පය ප්‍රවර්ධනය කළ යුතුයි | දිනමිණ

මතු පරපුරේ ආරක්ෂාවට බාලදක්ෂ සංකල්පය ප්‍රවර්ධනය කළ යුතුයි

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

අනාගත පරම්පරාව නීති විරෝධී කටයුතුවලින් ආරක්ෂා කරගැනීමට බාලදක්ෂ සංකල්පය ප්‍රවර්ධනය කළ යුතු බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පැවැසීය.

ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවැසුවේ කොළඹ දී ඉකුත් 26 වැනිදා පැවති ශ්‍රී ලංකා රැජින සහ ජනාධිපති බාලදක්ෂ සංසදයේ 20 වන වාර්ෂික මහ සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා මෙසේ ද කීය.

‘බාලදක්ෂයන්ට කළ හැකි දෑ වටහාගෙන ශ්‍රී ලංකා ප්‍රජාව තුළ බාලදක්ෂ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය සෑම උත්සාහයක්ම ගත යුතුයි. මත්ද්‍රව්‍ය සහ අපරාධ ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා යෞවනයන් සම්බන්ධවීම වර්තමානයේ වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. මේ නිසා අපේ අනාගත පරපුර වෙනුවෙන් සුරක්‍ෂිත රටක් බිහි කිරීමට චරිත හැඩගැස්වීමක් ලෙස බාලදක්ෂයන්ගේ අවශ්‍යතාව අතිශයින්ම වැදගත්. රටේ යෞවනයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම, අපරාධ, පාතාල ක්‍රියාකාරකම් සහ ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීමට බාලදක්ෂ පුහුණුව ස්වර්ණමය පලිහක් වේවි. තරුණ පරම්පරාව නීති විරෝධී කටයුතුවලින් ආරක්ෂා කරගැනීමට බාලදක්ෂ සංකල්පය ප්‍රවර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීමට අප සියලු දෙනා උපරිමයෙන් කටයුතු කළ යුතුයි. ශ්‍රී ලංකා බාලදක්ෂ සංසදයේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා. ඒ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්මට‘ අනුකූලව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. රටේ තරුණ පරම්පරාවට යහපත් අනාගතයක් උදා කිරීමට අප සහාය දිය යුතුයි. පසුගිය වසර 20ක කාලයේ බාලදක්ෂ සංසදයේ සාමාජිකයන් ඉහළම ප්‍රමිතීන්ට අනුකූලව එහි අරමුණු ළඟා කරගැනීමට කැපවී ඇති බව පැහැදිලිව දැක ගත හැකියි. ‘තම ජීවිතයට බලපෑමක් ඇති කිරීමට තමන්ට කළ හැකි දේ කිරීම‘ කියන පාඩම මා මගේ හමුදා ජීවිතයට අදාළ කර ගත්තා. වරක් බාලදක්ෂයෙක් වු අයකු සෑම විටම බාලදක්ෂයකු වෙනවා. එමෙන්ම ඔහු සෑම විටම සමාජයේ සමස්තයක් ලෙස ලෝකය ගැනම සැලකිලිමත් වෙනවා.

තරුණ පුද්ගලයකුගේ ජීවිතයේ පළමු වසර 21 වැඩිහිටියන්ගේ ලෝකය සඳහා සූදානම්වීමේ කාලය ලෙස සඳහන් කළ හැකියි. ඔහු මේ වසර කිහිපයේ ජීවිතයේ දීර්ඝතම දුෂ්කර පුහුණුවක් සහ ආධුනිකත්ව පුහුණුවක් ලබනවා. ඒ වගේම ඔහු පරිණතභාවයට පත් වන විට ක්‍රියාශීලී පුරවැසියකු ලෙස තම කාර්යභාරය ඉටු කිරීමට සම්පූර්ණයෙන්ම සූදානම්. මේ අනුව ජනාධිපති බාලදක්ෂ සම්මානය දිනාගැනීමේ සන්ධිස්ථානය කරා ළඟා වූ පසු අප කරන ක්‍රියාකාරකම්, ඵලදායී චරිත ගොඩනැංවීමට අපට සහයක් වෙනවා. අපේ කාර්යභාරය වන්නේ මෙහෙයුම් සඳහා ඉහළ පෙළ නිලධාරීන් ලබාදී ඇති නියමිත අරමුණු සාක්ෂාත් කරගැනීමට ඒ අය ගන්නා තීරණවලට සහායවීමයි. ඒ අනුව අප ක්‍රියාත්මක වුණා. සෑම තරාතිරමකම නායකයන් සතුව ඉහළ මට්ටමක ධෛර්යය, කැපවීම සහ අවංකභාවය තිබීම අවශ්‍යතාවක්. දැනුම, ප්‍රඥාව, කුසලතා මෙන්ම බාලදක්ෂ පුහුණුවේදී සමාජයේ ජීවත් වන රටාව ද ඉගෙනගැනීමට හැකිවීම බාලදක්ෂයකුගේ ජීවිතයේ වැදගත්ම ලක්ෂණයක්. ධෛර්යයෙන් සහ අවංකභාවයෙන් පරිපූර්ණ වී ඇති රාජකාරියේ විශිෂ්ටත්වය සහ වගකීම වැනි ගති ලක්ෂණ බාලදක්ෂ ජීවිතයෙන් මා රැස් කළ වැදගත් පාඩම්. එය මගේ ජීවිතයේ මූලික අඩිතාලම බවට පත් වුණා.‘

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති චන්ද්‍රා වාකිෂ්ඨ, ශ්‍රී ලංකා රැජිණ සහ ජනාධිපති බාලදක්ෂ සංසදයේ සභාපති කමල්නාත් ජිනදාස, හිටපු බාලදක්ෂ කොමසාරිස්වරුන් ඇතුළු ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ විධායක සාමාජිකයෝ මේ අවස්ථාවට සහභාගි වූහ.

චන්ද්‍රිකා පෙරේරා

නව අදහස දක්වන්න