නාවික හමුදාපති උතුරු නාවික විධානයේ හදිසි නිල සංචාරයක | දිනමිණ

නාවික හමුදාපති උතුරු නාවික විධානයේ හදිසි නිල සංචාරයක

නාවික හමුදාපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ශ්‍රී ලංකා 24 වන නාවික හමුදාපති ලෙස පත්වීමෙන් පසු පළමු වරට උතුරු නාවික විධානයේ හදිසි නිල සංචාරයක නිරත විය.

මේ සංචාරයේදී උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර, එළාර, අග්බෝ ගෝඨයිම්බර, කංචදේව සහ වේළුසුමන ආයතන සහ එම ආයතනවලින් පාලනය වන වෙරළ නිරීක්‍ෂණ මධ්‍යස්ථාන නාවික හමුදාපතිවරයාගේ නිරීක්‍ෂණයට ලක් විය. විධානය විසින් සංවිධාන කරන්නට යෙදුණු විශේෂ වැඩසටහන් කිහිපයකට ද ඒ මහතා සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ නාවික හමුදාපතිවරයා මෙසේ ද කීය.

‘විධානයේ රාජකාරී සිදු කිරීමේදී ඉතාමත් සුපරික්‍ෂාකාරීව කටයුතු කළ යුතුයි. නාවික විනය සහ මනා පාලනය පවත්වාගැනීමට අංශ ක්‍රමය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ආයතනවල දෛනික චර්යාවන් නිසි ලෙස පවත්වා ගැනීමටත්, නාවික පුද්ගලයන්ගේ ශරීර සෞඛ්‍ය දර්ශකය නිසි පරිදි පවත්වාගැනීමටත්, මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගැනීමටත් කටයුතු කරනවා.

උතුරු නාවික විධානය කොවිඩ්-19 ව්‍යාප්තියෙන් තොර කලාපයක් බවට පවත්වාගැනීමට කටයුතු කිරීම වෙනුවෙන් උතුරු නාවික විධානයේ ආඥාපති, නෞකා සහ ආයතනවල අණ දෙන නිලධාරීන් සහ විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු සියලුම නිලධාරීන් සහ නාවිකයන්ට මගේ ස්තූතිය පළ කරනවා. කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමට ලබාදී ඇති සම්මත ක්‍රියාපිළිවෙත් තවදුරටත් අනුගමනය කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.‘

මෙහිදී ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ ඉදි කෙරමින් පවතින නව නිලධාරී නිවාසයේ ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කළ නාවික හමුදාපතිවරයා මේ චාරිකා වාරය සනිටුහන් කරමින් පැළ රෝපණ ව්‍යාපෘතියකට ද සහභාගී විය.

මේ නිරීක්‍ෂණ චාරිකාවේදී ඓතිහාසික නාගදීප රජමහා විහාරය වැඳ පුදා ගත් නාවික හමුදාපතිවරයා උතුරු පළාතේ ප්‍රධාන සංඝ නායක, නාගදීප රජමහා විහාරාධිපති, ප්‍රවීණාචාර්ය, ධම්මකිත්ති නවඳගල පදුමකිත්ති තිස්ස නාහිමි බැහැදැක ආශිර්වාදය ලබා ගත්තේය. නාවික හමුදාපතිවරයාගේ නාවික දිවියේ සුවිශේෂ ස්ථානයක් වූ වර්තමානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයෙන් පාලනය වන නාගතෙවන්තුරේ අනුඛණ්ඩය ද ඒ මහතාගේ නිරීක්‍ෂණයට ලක් විය.

 

 

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න