අගමැති මහින්ද - මෝදි සාකච්ඡාවේ කරුණු ගැන ඇතැම් මාධ්‍ය වාර්තා පදනම් විරහිතයි | දිනමිණ

අගමැති මහින්ද - මෝදි සාකච්ඡාවේ කරුණු ගැන ඇතැම් මාධ්‍ය වාර්තා පදනම් විරහිතයි

රජ‍යේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සාකච්ඡාවේදී ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය කියයි

පළාත් සභා  අහෝසි කරනවා කියා  ආණ්ඩුව කිසිම අවස්ථාවක  කියා නෑ

ඇමැති ඩග්ලස් දේවානන්දා

ඩොලර් මිලියන  400ක මුදලක්  අපට දෙන්න ඉන්දියාව  එකඟ වුණා

රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ්

 

අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර පැවැති විශේෂ සාකච්ඡාවේදී අවධානය යොමු වූ කරුණු පිළිබඳ ඇතැම් මාධ්‍ය සිදු කර ඇති වාර්තා පදනම් විරහිත හා අසත්‍ය බව ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

‍මෙරට මෙන්ම ඉන්දීය මාධ්‍ය විසින්ද මේ විශේෂ සාකච්ඡාව සම්බන්ධයෙන් අසත්‍ය පුවත් වාර්තා කර තිබූ බවද ඇමැතිවරයා පැවසීය.

ඩොලර් මිලියන පහළොවක මුදලක් ලබාගැනීම වෙනුවෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එකඟ වූ බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබූ බවත් එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඇමැතිවරයා පැවසීය.

ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේ මේ සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීමට රජ‍යේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (28) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ඇමැතිවරුන් වන ඩග්ලස් දේවානන්දා, අජිත් නිවාඩ් කබ්රාල්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කළුවැව මහත්වරුද මේ අවස්ථාවට එක්වූහ.

එහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

අද මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට හේතු වූ ප්‍රධානම හේතුව වන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වූ විශේෂ සාකච්ඡාව පිළිබඳ දැනුම්වත් කිරීමයි. මේ සාකච්ඡාව ඉතා සාර්ථකයි. ‍ සාකච්ඡාව සැලසුම් කර තිබු‍ණේ විනා‍ඩි 45කට .‍ එහෙත් පැයකුත් විනාඩි දෙකක කාලයක් සාකච්ඡාව පැවැත්වුණා. දෙපාර්ශ්වයම ඉතාමත් සතුටින් හා සාර්ථකව පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළා. සාකච්ඡාවේදී අවධානය කළ ඇතැම් කරුණු සම්බන්ධයෙන් මා‍ධ්‍ය ඔස්සේ ඉතා නිවැරැදිව වාර්තා කර තිබුණා. ඉතාමත් සංවේදී කරුණු කීපයක් පිළිබඳ පරස්පර කරුණු වාර්තා වී තිබුණා. ඒ නිසා එම පරස්පර විරෝධී කරුණු සම්බන්ධයෙන් ඉතා‍මත් නිවැරැදි තොරතුරු ‍පිළිබඳ ප්‍රකාශ කිරීම වෙනුවෙන් මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට තීරණය කළා. මේ පිළිබඳ නිවැරැදි තොරතුරු අනාවරණය කිරීමේ වගකීම මාධ්‍ය අමාත්‍යාංශය ලෙස අප සතු වෙනවා. ඒ වගේම මේ සාකච්ඡාවට මමත් සහභාගි වුණා.

මේ සාකච්ඡාවේදී ප්‍රථමයෙන්ම ආරම්භක සාකච්ඡාව සිදුවුණා. ඉන්පසුව කොවිඩ් වසංගතය ගැන කතා‍ කළා‍. වසංගතය පාලනය හා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා‍ව ගත් ක්‍රියාමාර්ග ගැන කතා කළා. ඒ වගේම අපේ සංවර්ධන සහභාගිත්වය, සංවර්ධන ක්‍රියාවලිය, සංවර්ධන එකමුතුව ගැන කතා කළා.

ආර්ථික දැක්ම හා ඒ සම්බන්ධ හැසිරීම්, වෙළෙඳ කටයුතු, ආ‍රක්ෂාව, ආ‍රක්ෂක වැඩපිළිවෙළ, හා ඉන්දීය සාග‍රයේ ආරක්ෂක වැඩපිළිවෙළ ආදිය ගැනත් සාකච්ඡා කළා‍‍. ධීවර ප්‍රශ්නය, අධ්‍යාපනය, මානව සම්පත, සෞඛ්‍ය, සංස්කෘතිය හා දර්ශනය ආදි විෂයයන් ගැනත් කතා කළා. ඒ වගේම බිම්ස්ටෙක් වැනි ජාත්‍යන්තර බැදීම්, සාමය හා වගකීම, සංහිදියාව ආදිය ගැන කතා කළා. ඒ වගේම ධීවර කර්මාන්තයේදී පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡා කළා.

ඩොලර් මිලියන 15 ක් ලබාගැනීම වෙනුවෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එකඟ වූ බවට මා‍ධ්‍ය වාර්තා පළ වී තිබෙනවා. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ඒ සම්බන්ධයෙන් සිදුවූ කතාබහ පිළිබඳව මම ඔබට ඉදිරිපත් කරන්නම්. ඔබගේ දැනගැනීම පිණිස.

'ජනාධිපතිවරණය වගේම මහ මැතිවරණයේදීත් ලංකාවේ රජයට විශාල ජනවරමක් ලැබුණා. ඒ අනුව සියලු ජාතීන්ට සමඟියෙන්, සහයෝගයෙන් කටයුතු කරන්න අවශ්‍ය පසුබිම අප හදනවා.ඊට ඔබගේද සහාය ලැබෙන බව අප දන්නවා. අපට ලැබුණ ජනවරම අනුව කොවිඩ් 19 වසංගතය ජයගැනීම සඳහා ක්‍රියා කළ ආකාරය පිළිබඳව රටේ තිබෙන ප්‍රසාදය පිළිබිඹු වන බව මම කියන්න ඕනෑ.ඉතාම අසීරු අවස්ථාවක වුවත් ලංකාවේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට මුල්තැන දීලා කටයුතු කළ බව කියන්න ඕනෑ. ඒ වගේම කෙතරම් දුෂ්කර තත්ත්වයක් ආවත් අපේ පොදු ජනතාවගේ ආර්ථිකය, සෞඛ්‍ය, අධ්‍යාපනය වගේ අත්‍යාවශ්‍ය දේවල් හැකි උපරිම ආකාරයෙන් සපුරාලන්න කටයුතු කර තිබෙනවා.

ඒ වගේම ඩොලර් මිලියන 15ක් ලබාගැනීම වෙනුවෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඩොලර් මිලියන 15ක් ලැබෙන බව ඇත්ත. නමුත් එය ලබාගැනීම වෙනුවෙන් 13 සංශෝධනය ක්‍රියාත්මක කරන බවට එකඟ වී නැහැ.

මේ මුදල් ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා බෞද්ධ දර්ශනය නඟා සිටුවීම ඇතුළු තවත් කරුණු කීපයක් වෙනුවෙන්. ඕනෑම දෙයක් ගැන කාට වුණත් විවිධ මතවාද ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම අපගේ ව්‍යවස්ථාව ගැන එදා සිටම කතා‍ කරනවා. ජේ ආර් ජයවර්ධන මහතා, සිරිමාවො බණ්ඩාරනායක මැතිනියගේ වකවානුවේදී සිටම මේ ගැන කතා කරනවා. 13,19 ආදිය ගැන කතා‍ කරනවා. 13 වැනි සංශෝධනය, 19 වැනි සංශෝධනය පමණක් නොවෙයි. අද නව ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරනවා. ඉදිරියේදී අපේක්ෂා කරන්නේ පුළුල් ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමටයි. ඒ වගේම ශ්‍රී ලංකාව හා ඉන්දිය අගමැතිවරුන් අතර පසුගියදා පැවැති සාකච්ඡා සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍යය විසින් ද විවිධ තොරතුරු වාර්තා කර තිබෙනවා. ඒ ප්‍රවෘත්ති අතරින් ඇතැම් ඒවා පදනම් විරහිතයි. දිගින් දිගටම විවිධ අදහස් ප්‍රකාශ කරනවා. නමුත් මොන තරම් කතා කළත් වැදගත් වන්නේ අවසානයට ගන්නා තීරණයයි. පුද්ගලයන් විසින් කරන ප්‍රකාශ ඒ නිසා ඒ තරම් වැදගත් නැහැ. ඉන්දීය ධීවරයන්ගේ ප්‍රශ්නය දිගුකාලයක් පුරා පවතින ප්‍රශ්නයක්. මට මතකයි වරක් ගාමිණි දිසානායක ඇමැතිවරයාත් ඉන්දියාවට ගියා මේ ධීවර ප්‍රශ්නය ගැන ‍කතා කරන්න. මෙය ප්‍රධාන ගැටලුවක්. මේ තත්ත්වය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික ලෙස කාලයක් තිස්සේ සාකච්ඡා කර තිබෙනවා. නමුත් තවමත් ඒ ආකාරයෙන්ම ඒ ගැටලුව තිබෙනවා‍. ඉන්දියාවේ එක් එක් ප්‍රාන්ත විසින් විවිධ තීරණ ගන්නවා. නමුත් සාගර ආරක්ෂාව තිබෙන්නේ මධ්‍යම රජය යටතේ. ඒ නිසයි මේ ප්‍රශ්නය මෙතරම් දුරට ඇවිත් තිබෙන්නේ. ‍ධීවර ගැටලුව සංකීර්ණ ප්‍රශ්නයක්. ඒ නිසා දෙරට අතර මිත්‍රත්වයට ගැටලුවක් ඇති නොවන පරිදි මෙය විසඳා ගැනීම අපගේ අරමුණයි.

ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා-

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා‍ බහ වුණ බව මාධ්‍ය විසින් වාර්තා වී තිබෙනවා. නමුත් 13 වැනි සංශෝධනය කියන්නේ අපට අලුත් දෙයක් නොවෙයි. 13 වැනි සංශෝධනය ඔස්සේ ලැබුණු පළාත් සභා ක්‍රමය දැනට කාලයත් තිස්සේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා‍ ඒ පිළිබඳ අමුතුවෙන් ක්‍රියාත්මක වන්න දෙයක් නැහැ. පළාත් සභා අහෝසි කරනවා කියා ආණ්ඩුව කිසිම අවස්ථාවක කියා නැහැ. පළාත් සභා අහෝසි කළ යුතු බවට කවුරුන් හෝ කියනවානම් ඒවා තම තමන්ගේ පෞද්ගලික මතවාද. ඒවා‍ ගැන කලබල විය යුතු යුතු නැහැ. දැනට තිබෙන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්න කියනව කියා කියන එක සාධාරණ නැහැනේ. ඒ වගේම 13 අහෝසි කරන බවට ජනා‍ධිපතිවරයා, අගමැතිවරයා හෝ කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගෙන නැහැ. ඒ නිසා විවිධ පිරිස් පුද්ගලිකව සිදුකරන අදහස් ප්‍රකාශ ගැන අවධානය යොමු කළ යුතු නැහැ.

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා-

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින්නේ සමීප මිත්‍රත්වයක්. ඉන්දියාවෙන් අප භාණ්ඩ රැසක් ආනයනය කරනවා. අපෙන්ද ඉන්දියාවට භාණ්ඩ අපනයනය කරනවා. ඒ නිසා අපගේ වෙළෙඳ පරතරය සැලකිල්ලට ගෙන කටයුතු කරන්න අප බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ණය සහන මුදලක් ලබාදීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා. ඩොලර් මිලියන 400ක මුදලක් ඒ අනුව අපට ලබාදීමට එකඟ වී තිබෙනවා‍.ඉදිරි කාලයේදී ඒ පිළිබඳවත් අප සාකච්ඡා කිරීමට‍ අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉදිරියේදී තවත් කාරණා කීපයක් සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ කටයුතු කරන්න අප බලාපොරොත්තු වෙනවා. ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් ඉදිරියේදී මේ පිළිබඳ යම් එකඟතාවන්වලට ගිවිසීමට නියමිතයි. මේ ඩොලර් මිලියන හාරසියයක මුදල ලබාදෙන්නේ ශ්‍රී ලංකා මහබැංකුවට. ඒ නිසා ඊට අදාළ කටයුතු ඉන්දීය මහ බැංකුව හා අපගේ මහ බැංකුව එක්ව සිදුකරාවි. මේ මුදල ණය මුදලක්. ණය මුදල ලබා දෙන්නේ යම් කාල සීමාවක් වෙනුවෙන්. ඒ කාල සීමාව අවසන් වීමෙන් පසු අදාළ මුදල අප ඉන්දියාවට ලබාදිය යුතුයි. ඉන්දියාව හා ශ්‍රී ලංකාව කියන්නේ දිගුකාලීන මිත්‍රත්වයක් ඇති රටවල් දෙකක්. ඉන්දියාව එලෙස ලබාදෙන මුදල අපට වෙනත් දේවල්වලට යොදවන්න බැහැ. ඒ මුදල ලැබෙන්නේ වෙළෙඳපොළ වැය ශේෂය පවත්වා ගැනීම වෙනුවෙන්. ඒ මුදල ලැබෙන්නේ විශේෂ ව්‍යාපෘතියක් වෙනුවෙන් නොවෙයි.

 

ස්වර්ණා විජේකෝන්

නව අදහස දක්වන්න