මුල්‍යාධාර විහාර කීපයකට සීමා වීම වැළැක්වීමට සියලු දුෂ්කර පන්සල්වලට ඉදිරියේ දී ප්‍රතිපාදන වෙන් කරනවා | දිනමිණ

මුල්‍යාධාර විහාර කීපයකට සීමා වීම වැළැක්වීමට සියලු දුෂ්කර පන්සල්වලට ඉදිරියේ දී ප්‍රතිපාදන වෙන් කරනවා

අගමැති පවසයි

රජයේ මුල්‍යාධාර විහාරස්ථාන කීපයකට පමණක් සීමාවීම වැළැක්වීමට රටපුරා සියලු දුෂ්කර සහ නොදියුණු පන්සල්වලට ද ඉදිරියේ දී ප්‍රතිපාදන වෙන් කළ යුතුව ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

පසුගිය කාලයේ රජයේ මූල්‍යාධාර ලබාදීමේ වැඩසටහන්වල දී දියුණු විහාරස්ථානවලට රුපියල් මිලියන ගණනින් ආධාර ලබා දී ඇති අතර දුෂ්කර සහ නොදියුණු පන්සල් සංවර්ධනයට මුදල් වෙන් නොවීමත් සැලකිල්ලට ගනිමින් අගමැතිවරයා මේ උපදෙස් ලබා දුන්නේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩම්ගස්ලන්ද ආසනයේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණේ දොඩම්ගස්ලන්ද ආසනයේ භික්ෂූන් වහන්සේලා අතර සාකච්ඡාවක් කොළඹ විජේරාම මාවතේ පිහිටි අගමැති නිල නි‍ෙවසේ දී පැවැති අවස්ථාවේ අගමැතිවරයා මේ බව අවධාරණය කළේය. දොඩම්ගස්ලන්ද ආසනයේ පවතින ගැටලු ගණනාවක් පිළිබඳ මෙහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානය යොමු විය.

නෙල්ලිගල රාජමහා විහාරය පූජා භූමියක් ලෙස නම් කිරීම සහ විහාරස්ථානවල සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට මෙහිදී අගමැතිවරයා උපදෙස් දුන්නේය.

දොඩම්ගස්ලන්ද ආයුර්වේද රෝහලේ පවතින ගැටලු පිළිබඳ අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දුන් අගමැතිවරයා දොඩම්ගස්ලන්ද නගරයේ පවතින ප්‍රධාන අඩුපාඩුවක්ව පැවැති පොදු වැසිකිළි පද්ධතියක් ඉදිකිරීම ඇතුළු අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු පිළිබඳ සොයා බලන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාට ඒ මොහොතේදීම දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණේ දොඩම්ගස්ලන්ද ආසනයේ සභාපති කිරිඳිවත්තේ සුමනසාර, ශ්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණේ දොඩම්ගස්ලන්ද ආසනයේ ලේකම් කටුකෙන්දේ චන්ද්‍රසිරි, රිදීගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් රම්බඩගල්ලේ තිලකවංශ, දොඩම්ගස්ලන්ද ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් කැකිරියේ විමලසිරි නාහිමිවරුන් ද බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, අගමැති උපදේශක එස්. ලියනගම මහත්වරු ද මේ අවස්ථාවට එක් වූහ.

නව අදහස දක්වන්න