දේශීය රෙදි ඉහළ ප්‍රමිතියෙන් නිපදවන්න | දිනමිණ

දේශීය රෙදි ඉහළ ප්‍රමිතියෙන් නිපදවන්න

-ජනපති

මහා සහ සුළු පරිමාණ දේශීය නිෂ්පාදකයන් ඉහළ ප්‍රමිතියකින් සහ ගුණාත්මක අගයෙන් වැඩි රෙදි නිෂ්පාදනය වහාම ආරම්භ කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (28) අවධාරණය කළේය.

ඒ අනුව ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපතිවරයාගේ විමසුමට ලක් විණි. දංකොටුව, කර්මාන්තපුරයේ Dankotuwa Textile Mill (pvt) ltd, කඳාන, කපුවත්ත වැන්ගාඩ් Vanguard Industrial (pvt) ltd සහ වත්තල Creative Textile Mill (pvt) ltd ආයතන ඊයේ (28) නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා එසේ පැවැසීය.

එම ආයතනය නිෂ්පාදනය කරන ජාතික සහ බෞද්ධ කොඩි නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ඉල්ලුමට අවශ්‍ය පරිදි රට තුළ නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගන්නැයි හිමිකරුවනට දැනුම් දුන්නේය.

රෙදි නිෂ්පාදනය කඩිනමින් යළි ඇරඹීමට ආයතන කළමනාකාරිත්වය දිරි ගැන්වූ ජනාධිපතිවරයා ස්වයං රැකියාවක් ලෙස රෙදි නිෂ්පාදනයේ නිරත පිරිසට ද පාසල් රෙදි සැපයුමට අවස්ථාව සැලසීම ගැන සොයා බලන්නැයි පැවසීය.

ආයතනයේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය කළ ජනාධිපති රාජපක්ෂ මහතා දේශීය වෙළෙඳපොළහි රෙදි අවශ්‍යතාව සපුරාලීමට ධාරිතාව වැඩි කරන්නැයි ආයතන කළමනාකාරිත්වය දිරි ගැන්වීය.

රජය දේශීය කර්මාන්තකරුවන්ට දෙන සහය ප්‍රයෝජනයට ගෙන දේශීය මෙන්ම විදේශීය වෙළෙඳ පොළ දිනා ගැනීමට උත්සුක වන්නැයි ජනාධිපතිවරයා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

පාසල් නිල ඇඳුම් සදහා ක්‍රියාත්මක කළ කූපන් ක්‍රමයත් සමග විශාල ප්‍රාග්ධනයක් වැය කොට පටන් ගත් ආයතන කිහිපයක් වසා දැමීමට සිදු වූ බවත් ඉන් විශාල පිරිසකට රැකියා අහිමි වූ බවත් කර්මාන්තකරුවෝ පැවැසූහ.

දංකොටුව කර්මාන්තයේ පුරයේ පිහිටුවා ඇති Creative Textile Mill (pvt) ltd ආයතනය ප්‍රථමයෙන් ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් කෙරුණු අතර රුපියල් මිලියන 2000ක ආයෝජනයකින් ස්ථාපිත කර්මාන්ත ආයතනය 2015 වසරේ සිට වසා තබා තිබුණු බව එහිදී අනාවරණය විය.

කිසිදු ආදායමක් නොලැබුණද වසරකට රුපියල් මිලියන 08ක බැංකු පොළියක් ගෙවීමට හිමිකරුට සිදුව තිබේ.

Dankotuwa Textile Mill (pvt) ltd ආයතනයේම ශාඛාවක් වන වත්තල ක්ලිප්ටෙක්ස් Creative Textile Mill (pvt) ltd ආයතන ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

ත්‍රිවිධ හමුදාවේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි එහි නිෂ්පාදනය කරන අතර එහි 1500ක පමණ පිරිසක් සේවය කරති. ආරක්ෂක අංශවලට අවශ්‍ය පරිදි රෙදි වර්ණ ගැන්වීම ආයතනයේ මූලික කාර්යයකි. ආනයනික රෙදි පරීක්ෂා නොකරන අතර, දේශීය රෙදි නිෂ්පාදන පරීක්ෂණවලට යොමු කිරීමේ දී විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව කළමනාකරිත්වය ජනාධිපති රාජපක්ෂ මහතාට කීවේය.

රෙදි සෝදන කුඩු වර්ග නිසි නියාමනයකට ලක් නොවන බව පෙන්වා දුන් එම පිරිස එමගින් රෙදිවල වර්ණයට විශාල හානියක් වන බව පැවසූහ.

කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා ද නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියේය.

නුවන් කොඩිකාර

නව අදහස දක්වන්න