රනිල්ගේ සාක්කිය බොරුවක් | දිනමිණ

රනිල්ගේ සාක්කිය බොරුවක්

ජවිපෙ නායක අනුර ජනපති කොමිසමට කියයි

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සම්පූර්ණයෙන් අසත්‍ය සාක්ෂියක් ලබා දී ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (28) පැවසීය. වික්‍රමසිංහ මහතාගේ කැබිනට් සංදේශයකින් පිහිටු වූයේ යැයි කියන “දූෂණ විරෝධී කමිටුවට” ජාතික විධායක සභාවේ අනුමැතියක් ලැබී ඇතැයි පැවසීම සම්පූර්ණ අසත්‍යයක් බවත්, එවන් කමිටුවක් පිහිටුවන කැබිනට් සංදේශයක් කිසිදු අවස්ථාවක ජාතික විධායක සභාවට ඉදිරිපත්ව නැති බවත් අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

ජාතික විධායක සභාව දේශපාලන අධිකාරියක්, සන්ධානයක් මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් පිහිටුවූ නීත්‍යානුකූල ආයතනයක් නොවන බවට කරුණු ඉදිරිපත් කළ දිසානායක මහතා, ජාතික විධයාක සභාව 2015 ජනවාරි 08 දිනෙන් පසුව ස්ථාපිත කළ බවත්, 2014 වසරේ අග භාගයේ එය ස්ථාපිත කළේ යැයි වික්‍රමසිංහ මහතා පවසන කරුණ තමන් නොදන්නා බවත් පැවසීය.

වික්‍රමසිංහ මහතාගේ කැබිනට් සංදේශයත් - ජාතික විධායක සභාවත් අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවට පෙන්වා දුන් දිසානායක මහතා, වික්‍රමසිංහ මහතා විසින් ජාතික විධායක සභාව කැබිනට් සංදේශයට ඈඳා ගන්නට ඇත්තේ ‘එය සම්මත විය යුතුයි’ යන කරුණ අවධාරණය කිරීමට හෝ කැබිනට් සංදේශය “මාගේ නොවෙයි” යන අර්ථය දැක්වීමට දැයි තමන් නොදන්නා බව සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය.

කැබිනට් සංදේශය ජාතික විධායක සභාවට ඉදිරිපත් කළේ යැයි කියන වික්‍රමසිංහ මහතා, එය එම සභාවට ඉදිරිපත් කළේ කවුරුන්ද යන්න ප්‍රකාශ නොකිරීම අඩුපාඩුවක් බවද පෙන්වා දුන්නේය. වික්‍රමසිංහ මහතාගේ කැබිනට් මණ්ඩල පත්‍රිකාවේ තමන්ගේ නම ඇතුළත් වුවද එවන් දූෂණ විරෝධී කමිටුවේ ක්ෂණික ප්‍රතිචාර කමිටු සම්බන්ධිකාරක ලෙස තමන් කිසිදිනක සහභාගි වී නැති බවත්, එවන් කමිටුවකට තම නම යොදන බවට කිසිදු අයකු ප්‍රකාශ කර නොමැති බවත් අවධාරණය කළේය.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැබිනට් සංදේශයකින් පිහිටුවූ දූෂණ විරෝධී කමිටුව මඟින් දේශපාලන පළිගැනීම් කළ බවට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් කීපදෙනෙකු විසින් දේශපාලන පළිගැනී‍ෙම් ජනාධිපති කොමිසම හමුවේ පැවරූ නඩුවල වගඋත්තරකරුවෙකු ලෙස සාක්ෂි දෙමින් දිසානායක මහතා එසේ පැවසීය.

කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ප්‍රමුඛ විනිසුරු මඬුල්ල ඉදිරියේ සාක්ෂි ලබාදෙනු ලැබේ.

 

රෝෂන් තුෂාර

නව අදහස දක්වන්න