දූෂණ විරෝධී කමිටුව රාජ්‍ය නිලධාරීන්ගෙන් පලිගත් යහපාලන ජුන්ටාවක් | දිනමිණ

දූෂණ විරෝධී කමිටුව රාජ්‍ය නිලධාරීන්ගෙන් පලිගත් යහපාලන ජුන්ටාවක්

ජනාධිපති කාර්ය සාධක  බළකායේ සම ලේකම්  ඩී. එස්. ජයවීර  ජනපති කොමිසමට කියයි

‘යහපාලන ආණ්ඩුව පිහිටුවාගත් දූෂණ විරෝධී කමිටුව’ රාජ්‍ය නිලධාරීන් දේශපාලන පළිගැනීමට ලක්කළ ‘යහපාලන ජුන්ටාවක්’ යැයි ආර්ථික පුනර්ජීවන හා දිළිඳුකම නැති කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ සම ලේකම් ඩී. එස්. ජයවීර මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (28) පැවසීය. රාජ්‍ය මුදල් අවභාවිතය, සාවද්‍ය පරිහරණය හා පොදු දේපළ ගැන කතා කළ එම ජුන්ටාවේ පිරිස් බොරු නඩු රාජ්‍ය නිලධාරීන්ට පටලවා සංචාරක සංවර්ධන අරමුදලේ මුදල් සැබෑ ලෙසට සාවද්‍ය පරිහරණයට ලක් කර ඇති බවද පැවසීය.

සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂව සිටියදී සිදු කළ නීත්‍යානුකූල ක්‍රියාවක් සම්බන්ධයෙන් බොරු නඩු පටලවා දේශපාලන පළිගැනීමක් කළේ යැයි සඳහන් කරමින් පැවරු පැමිණිල්ලේ සාක්ෂි දෙමින් ඒ මහතා එසේ පැවසීය.

දේශීය සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් සහිතව රුපියල් මිලියන 5.7ක් (ලක්ෂ 57ක්) සංචාරක සංවර්ධන අධිකාරියේ සුබසාධක සංගමය ලබාදුන් බවත්, එම මුදලින් ඉතිරි වූ මිලියන 1.2ක් නැවත අධිකාරියට ලබා දීමට සුබසාධක සංගමය පියවර ගෙන තිබියදී එසේ නැවත ලබා නොදෙන ලෙසට උපදෙස් ලබා දී රඳවා ගනිමින් මෙම බොරු නඩුව පටලවා ඇති බවත් ජයවීර මහතා පෙන්වා දුන්නේය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ එම උපදෙස් පරිදි රුපියල් මිලියන 1.2ක් යළි ලබා නොදීමෙන් පසුගිය වසර 5 තුළ අධිකාරියට රුපියල් ලක්ෂ 5 ½ක මුදලක් අහිමි වී ඇති බවත්, සැබෑ ලෙසම මුදල් අවභාවිතය වී ඇත්තේ එෆ්. සී. අයි. ඩී ය කළ ක්‍රියාව තුළ බවත් ජයවීර මහතා පෙන්වා දුන්නේය.

දූෂණ විරෝධී කමිටුව කියන ජුන්ටාව නීත්‍යානුකූල රාජ්‍ය ආයතනයක් නොවන බවත් පෙන්වා දුන් ජයවීර මහතා, එම කමිටුවට රජයේ ඒකාබද්ධ අරමුදලින් වැටුප් ලබාදීම තවත් දූෂණයක් බව පැහැදිලි කළේය.

මෙම කමිටුවේ උපදේශකයින් ලෙස නීතිපතිවරයා විසින් නිලධාරීන් දෙදෙනකු නම් කර ඇතත්, කේ. එම්. වෛද්‍ය රත්න මහතා කිසිදු දිනක ඊට සහභාගි වී නැති බවත්, තුසිත් මුදලිගේ මහතා සහභාගි වී දීමනා ලබා ඇති බවත් පෙන්වා දුන්නේය.

නීතිඥ සුමුදු වික්‍රමාරච්චි මහතා පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීය.

ජනාධිපති කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ සාක්ෂි මෙහෙයවීය

නව අදහස දක්වන්න