කුවේටයේ එමීර් ෂෙයික් සබා අල් අහමද් අල් සබා මිය යයි | දිනමිණ

කුවේටයේ එමීර් ෂෙයික් සබා අල් අහමද් අල් සබා මිය යයි

 කුවේටයේ එමීර්වරයා ලෙස කටයුතු කළ ෂෙයික් සබා අල් අහමද් අල් සබා අභාවප්‍රාප්ත වෙයි.

එමීර්වරයා ඊයේ (29) මෙලෙස මිය යන විට 91වැනි වියෙහි පසුවිය.

ෂෙයික් සබා 2006 වසරේ සිට කුවේටය පාලනය කරන අතර අමෙරිකානු හිතවාදී ප්‍රතිපත්තියක් යටතේ සිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ලදි. ඔටුන්න හිමි කුමරු වන ඔහුගේ සොයුරු ෂෙයික් නවාෆ් අල් අහමද් අල් සබා මීළග එමීර්වරයා ලෙස පත්වීමට නියමිත බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

ෂෙයික් සබාගේ පාලන කාලය තුළදී සෞදි අරාබිය සමග ද දැඩි මිත්‍රත්ත්වයක් ඇතිකරගත් අතර කුවේටයේ ඛණිජතෙල් ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට සමත් විය.

එසේම වරක් 1990-1991 කුවේටය ආක්‍රමණය කළ ඉරාකය සමග පැවති සම්බන්ධතා ඔහුගේ පාලන කාලය තුළදී වර්ධනය වූ අතර ඉරානය සමග සංවාදයකට එළඹීමට හැකිවිය. ගල්ෆ් කලාපයේ සාමය ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් ෂෙයික් සබාගෙන් සිදුවූයේ විශේෂ මෙහෙවරකි.

නව අදහස දක්වන්න