ගිනි ගත් නැවේ ඉරණම | දිනමිණ

ගිනි ගත් නැවේ ඉරණම

දුමින්ද අලුත්ගෙදර

අනතුරට පත් නෞකාවේ ගබඩා කර තිබූ ඉන්ධන යම් හෙයකින් කාන්දුවීමකට ලක් වූයේ නම් කලාපයේ දරුණුම සමුද්‍රීය දූෂණය බවට පත් වන්නට ඉඩ තිබූ නමුත් ශ්‍රී ලංකාවේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව මෙන්ම ඉන්දීය වෙරළාරක්ෂක නෞකා එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමෙන් ගින්න සම්පූර්ණයෙන් මැඬ පැවැත්වීමට හැකි විය.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 38කට එපිටින් ගිනි ගෙන තිබූ ‘‘MT New Diamond” තෙල් ප්‍රවාහන නෞකාව කුවේට් සිට ඉන්දියාව දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබෙන අතර පසුගිය 03 වැනිදා නැව ගිනි ගැනීමකට ලක් විණි. ඒ වන විට නැව තුළ බොර තෙල් මෙට්‍රික් ටොන් 2,70,000ක් සහ නැවේ භාවිතය සඳහා රැගෙන ගිය ඩීසල් මෙට්‍රික් ටොන් 1700ක්ද තිබී ඇත. අනතුරට පත් නෞකාවේ ගබඩා කර තිබූ ඉන්ධන යම් හෙයකින් කාන්දුවීමකට ලක් වූයේ නම් කලාපයේ දරුණුම සමුද්‍රීය දූෂණය බවට පත්වන්නට ඉඩ තිබූ නමුත් ශ්‍රී ලංකාවේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව මෙන්ම ඉන්දීය වෙරළාරක්ෂක නෞකා එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමෙන් ගින්න සම්පූර්ණයෙන් මැඬ පැවැත්වීමට හැකි විය. එහෙත් නැව සම්බන්ධයෙන් අර්බුද රැසක් මතුවෙමින් තිබෙන බව දක්නට ලැබෙන්නකි.

යම් හෙයකින් නැව පුපුරා ගියේ නම් උතුරු, නැඟෙනහිර හා දකුණු වෙරළ තීරයට තෙල් මුසු වීමේ අවදානමක්ද තිබුණි. එසේ වුණි නම් ප්‍රදේශයේ සිටින තල්මසුන්, කැස්බෑවුන්, ඩොල්පින් ඇතුළු මත්ස්‍යයන් විශාල ප්‍රමාණයක් විනාශ වීමේ අවදානමක් ඇති බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අනතුරු අඟවා තිබුණි. කෙසේ වුවත් අනතුර වළක්වා ගැනීමට ක්ෂණිකව ක්‍රියාත්මක වූ කණ්ඩායම්වලට හැකියාව ලැබුණි. අවදානම වළක්වාගත නොහැකි වී තෙල් කාන්දු වීමක් සිදු වූයේ නම් මෙරට සමුද්‍ර පරිසර පද්ධතියට පමණක් නොව ඉන්දියාව, බංග්ලාදේශය ආදී රටවල පරිසර පද්ධතිවලට ද දැඩි බලපෑමක් එල්ල වීමට ඉඩ තිබූ බව විශේෂඥයන් පෙන්වා දුන්නේ ය. 

කෙසේ නමුත් ශ්‍රී ලංකා නාවික හමුදාව නිවේදනය කළේ ගින්න නැවත ඇති වීම වැළැක්වීම සඳහා දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය සහ ජලය යොදා ගනිමින් තවදුරටත් අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවකි. අනතුරට පත් නැව ආසන්නයෙන් තෙල් පැල්ලමක් නිරීක්ෂණය වී තිබූ අතර නෞකාවේ ඇති වූ ගිනි ගැනීම හේතුවෙන් සාගර පරිසරයට සිදුවූ බලපෑම තක්සේරු කිරීම සඳහා ආපදාවට පත් නෞකාව රඳවා ඇති මුහුදු ප්‍රදේශයේ ජල නියැඳි පරීක්‍ෂා කිරීමට පරීක්‍ෂණ කණ්ඩායමක් ද පිටත්ව ගොස් තිබුණි. ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (NARA), ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය (MEPA) හා රුහුණු විශ්වවිද්‍යාලයට අයත් පරීක්‍ෂණ නිලධාරීන්ගෙන් සමන්විත වූ කණ්ඩායමක් ඒ අතර විය.

ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයට (NARA) අයත් සමුද්‍රීය පර්යේෂණ නෞකාවක් ද එම මුහුදු ප්‍රදේශය වෙත ළඟාවී වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සිදු කිරීමට කටයුතු කළේය.

සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පෙන්වා දෙන්නේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථානවලට මූලික වශයෙන් පැමිණිලි යොමුකර ඇති බවයි. මේ වන විටත් පොලිස් මූලස්ථානය හරහා සාක්ෂි සටහන් කරගෙන යමින් පවතින බවද සාමාන්‍යාධිකාරිවරයා පෙන්වා දෙයි. ‘අද වන විට සම්පූර්ණයෙන් ගින්න නිවා දමා ඇති බව මෙහෙයුම් කණ්ඩායම් පවසා තියෙනවා. අදත් විශේෂඥ කණ්ඩායමක් නැවට ගොඩවෙනවා. සිදුවෙලා තියෙන දූෂණය කොයි වගේ ද කියලා බලන්නේ දැන්. මේ හැම දෙයක්ම යම් ක්‍රමවේදයක් යටතේ තමයි සිදු වෙන්නේ. මේ සියල්ල ඉදිරියේ දී ඉතා වැදගත්. වන්දි ලබා ගැනීම වුවත්, නීතිමය කටයුතු වුවත් සිදුකරන්න අවශ්‍ය වාර්තා දැන් ගන්න පුළුවන්‘

සාමාන්‍යාධිකාරිවරයා පවසන පරිදි ඊයේ දිනය වන විට නැවේ කාර්යය මණ්ඩලය ලංකාවට රැගෙන විත් තිබේ. ඔවුන්ගෙන් සියලු විස්තර ලබා ගමින් සිටින අතර, අනතුරුව නීතිමය කාර්යයන් ආරම්භ කරනු ඇත. සිද්ධිය වූ දිනයේ සිට මේ වන තෙක් සියලු කටයුතු නිසි ආකාරයෙන් සිදුවන අතර නීතිපතිවරයා ඊට අවශ්‍ය සියලු සහය ලබාදෙමින් සිටී. අන්තර්ජාතික වශයෙන් කටයුතු කරන ආකාරය සහ ශ්‍රී ලංකාවට අවාසියක් නොවන ආකාරයෙන් කටයුතු කරන්නේ කෙසේ ද යන්නත් නීතිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී මූලික වශයෙන් සාකච්ඡා කෙරී ඇත. පරිසර වශයෙන් මෙන්ම සමාජීය, ආර්ථික වශයෙන් හා නීතිමය වශයෙන් ශ්‍රී ලංකාව නිවැරැදි ලෙස මෙකී සිද්ධියේදී මුහුණ දිය යුතු බවත් පෙන්වා දෙන සාමාන්‍යාධිකාරිවරයා කියා සිටින්නේ සියයට සියයක් ශ්‍රී ලංකාවට හානියක් නොවන ආකාරයේ ප්‍රවේශයකට යා හැකි බවය.

අද වන විට විශේෂඥ කණ්ඩායමක් බාරයේ නැව ඇති අතර තවත් විශේෂඥ කණ්ඩායමක් අද දිනයේ නැවට ගොඩවීමෙන් පසු ඔවුන්ගේ තීන්දු තීරණ අනුව නැව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇත. විශේෂඥ කණ්ඩායමේ උපදෙස් මත ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කණ්ඩායම්ද ඉදිරි ක්‍රියාමාර්ග ගැන තීරණය කරන බව සමූද්‍රීය දූෂණ වැළැක්වීමේ අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයා පෙන්වා දෙන්නේය.

අනතුරට පත් MT New Diamend නෞකාව මේ වන විට කල්මුණේ තුඩුවට නාවික සැතපුම් 50ක් නැඟෙනහිර දෙසට වන්නට ස්ථානගත වී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි. මීට පෙර නැව සන්ගමන් කන්ද තුඩුවට නැඟෙනහිර දෙසින් තිබූ නමුත් අද වනවිට උතුරු දෙසට පාව යමින් තිබේ. ඊයේ දිනයේදී කණ්ඩායමක් නැවට ගොඩවී පරීක්ෂණ සිදුකර නැවෙන් බැස ඇති අතර අද දිනයේදී තවත් කණ්ඩායමක් නැවට ගොඩවීමට නියමිතය. නැව තුළ විෂ රසායන තිබෙන බවට ද තහවුරු වී ඇත. නැව ස්ථානගතවී ඇති ස්ථානයේ ටග් යාත්‍රා 6ක් මේ වන විට ස්ථානගත වී තිබෙන අතර ඉන්දියන් හමුදාවේ නෞකා සහ ශ්‍රී ලංකාවේ නෞකා දෙකක් ද අනතුරට ලක්වූ නැව ආසන්නයේ ස්ථානගත කොට තිබේ. නාවික හමුදාවේ මෙහෙයුම් මේ වන අවසන් කොට ඇති අතර පරිසරයට සිදුවන්නට ගිය හානිය හා නැව අනතුරෙන් බේරා ගැනීමේ කටයුතු ද අවසන් කොට ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේය.

මේ අතර මෙවැනි අනතුරුවලින් නෞකා ගලවා ගන්නා සමාගමකට නැව බාර දෙන්නට නැව් සමාගම කටයුතු කර ඇත. 2000 වසරේදී නිපදවූ මෙකී නෞකාව දිගින් මීටර 333කින් යුක්තය. අනතුරට පත්වන අවස්ථාවේ කුවේට් හි මීනා අල් අහ්මදි වරායේ සිට ඉන්දියාවේ ඔඩිෂා හි ප්‍රදීප් වරාය බලා යාත්‍රා කරමින් තිබිණි. මෙකී නැව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වගකිව යුතු අංශ සියල්ල පාහේ අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටී. නෞකාවේ හටගත් ගින්න පිළිබඳ සැලවීමත් සමඟ ක්‍රියාත්මක වු ශ්‍රී ලංකා නාවික හමුදාව හා ගුවන් හමුදාව වහා ගින්න මැඬ පැවැත්විමේ කටයුතු ආරම්භ කිරීමත්, ඊට මෙරට වෙනත් ආයතන දැක් පවූ සහයත්, ඉන්දිය නාවික හා වෙරළ ආරක්ෂක බළකායේ නෞකාවල සහයත් නිසා පැය 35ක දැවැන්ත මෙහෙයුමකින් පසු ගොඩබිමට නාවික සැතපුම් 20 කට ආසන්නයේ තිබියදී නෞකාවේ ගින්න පැතිරීම පාලනය කරන්නට හැකිවිය. එය සිදුවන්නට ගිය දැවැන්ත විනාශයක් වළක්වා ගත් වීර වික්‍රමාන්විතයක් ලෙස ද සැලකිය හැකිය.

නව අදහස දක්වන්න