විස්සේ කොස්ස තාවකාලිකයි! | දිනමිණ

විස්සේ කොස්ස තාවකාලිකයි!

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ දේශපාලන පාර්ශ්ව අතර විවිධ මත තිබුණත් අවසන් ලෙස එක් මතයකට එන බව ද එය පහසුවෙන් ජයග්‍රහණය කරන බව ද අගමැතිවරයා කියා සිටී. ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක් ඇති අතර, එම පක්ෂවලට ස්වාධීන මත තිබෙන්නට පුළුවන් බව ද අගමැතිවරයා පෙන්වා දෙයි. ස්වාධීන මතවලට අවකාශ සලසා දීම ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රමුඛ ලක්ෂණයකි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය විසි වන සංශෝධනය සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කර ඇත. එහෙත් ආණ්ඩුවක් වශයෙන් පොදු මතයකට පැමිණීමේ අවශ්‍යතාව පවතී. අවසන් සාකච්ඡාවේදී පොදු මතය ඉදිරියට එන බව ද මහින්ද මහතා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා පත් වී ඇත්තේ ද ආණ්ඩුව බලයට පත් වී ඇත්තේ ද විශාල ජනවරමක් සහිතවය. මේ ජනවරම ලැබී ඇත්තේ දහනව වන ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමේ පොරොන්දුව මත යැයි කිව හැකිය. ජනාධිපතිවරණය පවතින සම‍යේ ද මහ මැතිවරණය පවතින සමයේ ද දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. එය අහෝසි කළ යුතුය යන්න රටේ බහුතරයකගේ මතය වෙයි. ආණ්ඩු‍වට තුනෙන් දෙකක බලයක් ලැබී ඇත්තේ ද දහනවය පරාජය කිරීමට යැයි තර්කයක් ගොඩනැඟිය හැකිය. දහනවය රටට සිදු කළ හානිය ජනතාව මැනැවින් වටහාගෙන ඇතැයි කිව හැකි අතර, ස්වකීය ඡන්දය පාවිච්චි කර ඇත්තේ ද සාධනීය වෙනසක් අපේක්ෂාවෙන් බව සිතන්නට පුළුවන.

මෑත කාලීන දේශපාලන ඉතිහාසය නිරීක්ෂණය කළ හොත් වත්මන් ආණ්ඩුව තරම් ශක්තිමත් ආණ්ඩුවක් මෑත කාලයේ බිහි වී නැත. ජනාධිපතිවරයා ද ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය නියෝජනය කරන අතර, ඔහු බලයට පත් වන්නේ ද වාර්තාගත ඡන්ද ප්‍රමාණයක් ලබමිනි. මේ අනුව විධායකය හා ව්‍යවස්ථාදායකය වෙනදාට වඩා ශක්තිමත් වන අතර, පාර්ශ්ව දෙකම එක් මතයකට හා එක් වැඩපිළිවෙළකට ගොනු වී ඇත. මෙය සුවිශේෂ තත්ත්වයකි. දහනව වන ව්‍යවස්ථා සංශෝධනය නිසා දුරස් වී තිබූ විධායකය හා ව්‍යවස්ථාදායකය අද අවබෝධාත්මක එකඟතාවක සිට වැඩ කරනු දැක ගත හැකිය. දහනවය අහෝසි වීමෙන් පසු මේ තත්ත්වය තවදුරටත් තහවුරු වනු ඇතැ’යි උපකල්පනය කළ හැකිය.

විස්සට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් ගණනාවක් ඉදිරිපත් වී ඇත. බොහෝ පෙත්සම්වල හරය වන්නේ විස්ස සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයට අමතරව ජනමත විචාරණයක් වෙත ද යා යුතු බවය. ශ්‍රේෂ්ඨාධිකරණය ඉහත පෙත්සම් සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය පිළිබඳ පූර්ව නිගමනයකට පැමිණිය නොහැකිය. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට අනුව ජනමත විචාරණයකට ගිය ද ආණ්ඩුව එහිදී පරාජයට පත් වන්නේ නැත. ජනතාව ජනාධිපතිවරයා කෙරෙහි මෙන්ම ආණ්ඩුව කෙරෙහි ද බලවත් විශ්වාසයකින් කටයුතු කරන බව ඉතා පැහැදිලිය. පොදු ජනයාගේ මතය වන්නේ වැඩ කරන ජනාධිපතිවරයකු හා වැඩ කරන ආණ්ඩුවක් අවශ්‍ය බවය. දහනවය ඊට බාධාවක් බව රටේ පොඩි ළමයි පවා දනිති.

ජනාධිපතිවරයා ගමින් ගමට යමින් පොදු ජනයාගේ අවශ්‍යතා සොයා බලමින් ඒවාට ක්ෂණික විසඳුම් දෙන වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඊට ලැබෙන ජනතා ප්‍රතිචාරය ඉතා ඉහළය. වැඩ කරන රාජ්‍ය නායකයකුගේ අවශ්‍යතාව ජනතාව හොඳින් වටහාගෙන තිබේ. විධායක ජනාධිපති ක්‍රමය ශ්‍රී ලංකාව තුළ පැළපදියම් වී ඇති අතර, එය මහජනයාගේ අනුමැතියට ලක් වූ ආණ්ඩු ක්‍රමයක් බවට පත් වී ඇත. රාජ්‍ය නායකයකුට නිර්භීත තීන්දු තීරණ ගනිමින් රටක් ගොඩනැඟීමට අවශ්‍ය බලය මේ ආණ්ඩු ක්‍රමයෙන් ලැබෙයි. ප්‍රංශය ඩිගෝල්ගේ පාලන සමයේ සිට විධායක ජනාධිපති ක්‍රමය අනුගමනය කරයි. සිංගප්පූරුව, දකුණු කොරියාව වැනි රටවල් වේගවත් ආර්ථික සංවර්ධනයක් අත්කර ගත්තේ මේ ක්‍රමය අනුගමනය කිරීමෙනි.

1978 ජනරජ ව්‍යවස්ථාව විවිධ පැතිකඩ ඔස්සේ විවේචනයට ලක් වී ඇතත්, එයින් රටට සිදු වූ වැදගත් සේවාවන් රාශියක් තිබේ. එක් පැත්තකින් ආර්ථික දියුණුවක් ලබන්නට එය හේතු සාධක විය. තව පැත්තකින් ඒකීය ශ්‍රී ලංකාව තහවුරු කිරීමට ද එය හේතු සාධක විය. තිස් අවුරුද්දක් පුරා පැවැති යුද්ධය හා ත්‍රස්තවාදය පරාජය කරන්න හැකි වන්නේ විධායක ජනාධිපති ක්‍රමය නිසාය. මේ සම්බන්ධයෙන් කරන ලද ශාස්ත්‍රීය විග්‍රහ ගණනාවක් ප්‍රකාශයට පත් වී ඇත. අද පවතින්නේ 1978 ජනරජ ව්‍යවස්ථාවේ විකෘතියකි. එය දහනව වතාවක් සංශෝධනය වී ඇත. එයින් දාහත, දහනවය වැනි සංශෝධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික හරයට අභියෝග කරන බව පැහැදිලිය. ජනාධිපතිවරයාගේ බලය සීමා කිරීම ඉහත ව්‍යවස්ථාවේ මූලික හරයට විරුද්ධය.

දහනව වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලබන්නේ ද එය සම්මත කරගනු ලබන්නේ ද නායකයන් කිහිප දෙනකුගේ පෞද්ගලික අරමුණු ජය ගැනීම සඳහා යැයි චෝදනා එල්ල වී ඇත. එය අසත්‍යයක් නොවන වග දහනවයේ වගන්ති විශ්ලේෂණය කරන විට පැහැදිලි වෙයි. රටේ යහපත පසෙක ලා දේශපාලන පක්ෂයක නායකයන්ගේ අභිමතයට ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කර ගැනීම ජාතික අපරාධයකි. දහනවය පිළිබඳ අවබෝධයක් එදා ජනතාවට තිබුණේ නැත. එය සම්මත කරගන්නා විට ද පුළුල් සංවාදයක් පැවතියේ නැත. විස්ස සංශෝධනය ඊට වෙනස්ය. එය සංවාදයට ලක් කිරීමට, නිරීක්ෂණය කිරීමට පමණක් නොව, ඊට එරෙහි වීමට ද අවකාශ සලසා ඇත. ආණ්ඩුවේ දේශපාලන පාර්ශ්ව අතර පවා විවිධ මත දකින්නට ලැබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය නිසාය.

ආණ්ඩුවේ මතය වන්නේ නව ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීමය. එය රටට හා රටේ ඉදිරි ගමනට ගැළපෙන එකක් විය යුතුය. මේ සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් පත් කර ඇති අතර, එහි කටයුතු කෙරීගෙන යයි. නව ව්‍යවස්ථාවක් ගෙනෙන තුරු රට අකර්මණ්‍ය වීමට ඉඩ හැරිය නොහැකිය. විස්ස අන්තර්කාලීන වැඩසටහනකි. එය නැතිව රටේ වැඩ කොටස් ඉදිරිගාමී කළ නොහැකිය.

නව අදහස දක්වන්න