නොබැඳි පිළිවෙත අපට වැදගත් | දිනමිණ


 

නොබැඳි පිළිවෙත අපට වැදගත්

අපේ විදේශ ප්‍රතිපත්තිය, ආර්ථික සහයෝගිතාව හා ඉන්දීය සාගර කලාපයේ තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දක්වන අදහස් කෙරෙහි කාගේත් අවධානය යොමු වීම වැදගත්ය. අපේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි එකකි. ශ්‍රී ලංකාව කිසිදු බල කඳවුරකට අයත් නැත. අමෙරිකාවේ, චීනයේ පමණක් නොව, අසල්වැසි ඉන්දියාවේ වුව මතවාදයට ගැති වී කටයුතු කිරීමේ වුවමනාවක් ශ්‍රී ලංකාවට නැත. අන්‍යොන්‍ය ප්‍රතිලාභ සහිත ආර්ථික සහ‍යෝගිතාවක් පවත්වා ගැනීම අපේ ක්‍රමය වී ඇත. ඒ අනුව ඕනෑම රාජ්‍යයක් සමඟ ආර්ථික කටයුතු පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව සූදානම්ය. ඉන්දීය සාගරය විවෘත හා නිදහස් කලාපයක් සේ පවත්වා ගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වෙයි.

ජනාධිපතිවරයා ඉහත සඳහන් ලෙස අපේ අන්තර්ජාතික කටයුතු විග්‍රහ කරන්නේ නව තානාපතිවරුන් සිව්දෙනකු අක්ත පත්‍ර භාර දෙන උත්සවයකදීය. ජර්මනිය, කොරියානු ජනරජය, ස්විට්සර්ලන්තය හා වතිකානය නියෝජනය කරමින් නව තානාපතිවරු එලෙස අක්ත පත්‍ර භාර දුන්හ. ජනාධිපතිවරයා, සිය අදහස් දක්වමින් තවත් වැදගත් සාධක කිහිපයක් ගැන සඳහන් කළේය. හම්බන්තොට නව වරාය ඉදි කළේ චීනයේ ණය ගනිමින්ය. එය ආර්ථික සහයෝගිතා වැඩසටහනකි. මෙය හඳුනා නොගත් අය විවේචන දෙකක් ඉදිරිපත් කළහ. පළමු විවේචනය වන්නේ ශ්‍රී ලංකාව ණය උගුලක සිර කර තිබේ යන්නය. දෙවන විවේචනය වන්නේ චීනයේ බල කඳවුර නියෝජනය කිරීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් වී ඇත යන්නය. මේ දෙක ම පදනම් විරහිත චෝදනා ලෙස ජනාධිපතිවරයා හඳුන්වයි.

දියුණු රටවල් විදේශීය ණය ගැනීමට බිය වන්නේ නැත. ණය මුදල් කළමනාකරණය කර ගැනීමේ හැකියාව ඒ රටවලට තිබේ. ණය ආර්ථික ව්‍යාපෘති සඳහා යොදාගෙන ඒවා සාර්ථක ආදායම් මාර්ග බවට පත් වූ විට ණය උගුලක් ඇති වන්නේ නැත. ලෝක බැංකුවේ හිටපු සභාපතිවරයකු වූ රොබට් මැක්නමාරාට අනුව ණය යනු සංවර්ධනයේ ලක්ෂණයකි. මැක්නමාරාගේ කාලය තුළ දුප්පත් රටවලට විශාල වශයෙන් ණය දී ඇත. ඇතැම් රටවල් ඉලක්ක ජය ගත්තේය. ඇතැම් රටවල් අමාරුවේ වැටුණේය. ණය ගැනීම නොව, ණය මුදල් ආයෝජනය කිරීම තුළ ගැටලුවක් ඇත්තේය. හම්බන්තොට වරාය යනු ඉතා බුද්ධිමත් ආයෝජනයකි. එහෙත් ඇතැම් දේශපාලන නායකයන් ඒ බව වටහාගෙන නැත.

චීනය සමඟ ආර්ථික ගනුදෙනු කිරීම වැරදියට වටහාගත් පිරිසක් අපේ රටේ සිටිති. චීන - ශ්‍රී ලංකා ආර්ථික සහ‍යෝගිතාව ඔවුන්ගේ විග්‍රහයට අනුව චීන කඳවුර නියෝජනය කිරී‍මකි. මේ අනුව ශ්‍රී ලංකාව චීනයට සමීප වී ඉන්දියාව තරහ කරගෙන ඇතැ’යි තර්කයක් ඉදිරිපත් වී ඇත. මෙය අසත්‍ය දේශපාලන ප්‍රචාරයකි. ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ මෙන්ම චීනය සමඟ ද මිත්‍රත්වයෙන් කටයුතු කරයි. එහෙත් චීනය නියෝජනය කිරීමට හෝ ඉන්දියාව නියෝජනය කිරීමට හෝ ශ්‍රී ලංකාව ඉදිරිපත් වන්නේ නැත. බල කඳවුරුවලට යටත් නැති නොබැඳි විදේශ ප්‍රතිපත්තියේ අර්ථය එයයි.

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමේ වැදගත්කම හා එහි ආර්ථික වාසිය අපේ නායකයන් හඳුනා ගෙන තිබුණේ නැත. කෙ‍නකු එය හඳුනා ගෙන තිබුණ ද ඊට අදාළ ආයෝජන සිදු කිරීමට ඉදිරිපත් වූයේ නැත. හම්බන්තොට වරාය ඉදි කිරීම අපේ භූගෝලීය පිහිටීමේ වැදගත්කම හඳුනා ගැනීමකි. එය අභියෝගයක් වූ අතර, මහින්ද රාජපක්ෂ පාලනය අභියෝගය ජය ගැනීමට සමත් විය. හම්බන්තොට වරාය ආශ්‍රිත අනෙකුත් ව්‍යාපෘති සාර්ථක කර ගැනීම සඳහා අන්තර්ජාතික සබඳතා ඉතා වැදගත් වෙයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ එම තත්ත්වය යැයි කිව හැකිය. තානාපතිවරුන් සමඟ ඒවා සාකච්ඡා කිරීම සාධනීය ලක්ෂණයකි. ලෝකයේ දියුණු රටවල් ශ්‍රී ලංකාවේ වැදගත්කම වටහා ගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍ය සාධකයක් ලෙස පවතී.

නව තානාපතිවරුන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැදගත් අදහස් කිහිපයක් පළ කර තිබේ. ඉන් එක අදහසක් වන්නේ කොවිඩ් 19 වසංගතය මර්දනය කිරීමේදී ශ්‍රී ලංකාව සාර්ථක වී ඇති බව හා ලෝකයට ආදර්ශයක් සපයා ඇති බවය. ශ්‍රී ලංකාවට දියුණු වීම සඳහා විභවතා ඇති බව හා තම රටවල සහයෝගය ඒ සඳහා නිරන්තරයෙන්ම දීමට සූදානම් බව දෙවන අදහසය. ජර්මනිය, ස්විට්සර්ලන්තය මෙන්ම කොරියානු ජනරජය ද කාර්මික වශයෙන් දියුණු තත්ත්වයක පවතින, ආර්ථික වශයෙන් බලවත් රාජ්‍යය. වතිකානය ලෝකයේ ගෞරවයට පාත්‍ර වූ කුඩා රාජ්‍යයකි. මේ සෑම රාජ්‍යයකම සහයෝගය හා මිත්‍රත්වය අපේ රටේ ඉදිරි ගමනට තීරණාත්මකය.

ලෝකය බල කඳවුරු දෙකකට බෙදී ආර්ථික හා දේශපාලනික වශයෙන් සිදු කළ සටන අවසන් වී ඇත. බලවත් රාජ්‍ය වෙන වෙනම ආර්ථික සටනක නිරත වී සිටින්නේ වුව ශ්‍රී ලංකාව ඊට මැදිහත් විය යුතු නැත. අමෙරිකාව, චීනය, ඉන්දියාව යන කුමන රාජ්‍යයක් සමඟ වුව ආර්ථික ගනුදෙනුවලට ප්‍රවේශ වීම වැදගත්ය. එහිදී එක් රාජ්‍යයකට වඩාත් සමීප වීම කාලෝචිත නැත. ආර්ථික හා දේශපාලනික වශයෙන් ස්වාධීන ලෙස කටයුතු කිරීම රජයේ ප්‍රතිපත්තිය වී ඇත. එය වැදගත් තීරණයකි. ඉන්දීය සාගර කලාපයේ වැදගත්ම ආර්ථික කේන්ද්‍රයක පිහිටි ශ්‍රී ලංකාව එබඳු විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් සියලු බලවත් රටවල සහයෝගය ලද හැකිය.

නව අදහස දක්වන්න