ප්‍රතිචාර මාව දිරිමත් කරනවා | දිනමිණ

ප්‍රතිචාර මාව දිරිමත් කරනවා

- තරින්දි අනුරාධිකා

සිය මවගේ වියෝව හේතුවෙන් තැළුණු පොඩි වුණු සිතට සුවය සහනය ළඟා කර ගැනීමේ අරමුණින් ඇය කලාවට යොමු වූවාය. මේ දිනවල ස්වාධීන රූපවාහිනි සේවයෙන් සිකුරාදා හැර සතියේ දින හතරෙම රාත්‍රී 9.00ට විකාශනය වන ‘පුළිඟු’ (මායා හස්තයේ ආත්මීය සෙනෙහස) ටෙලි නාට්‍යයෙන් සසඳී එහෙමත් නැතිනම් පොඩි වෙද නෝනා ලෙස කවුරුත් හඳුනන ඇය වැඩිදෙනා කතාබහ කරන චරිතයක් බවට මේ වන විට පත්ව ඇත. ඒ චරිතයට ජීවය දෙන ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනිය තරින්දි අනුරාධිකා ප්‍රනාන්දු නම් වේ.

ඔබේ ගම?

මීගමුව කොච්චිකඩේ

උපන් දිනය?

එක්දහස් නවසිය අනූ තුනේ (1993) 

අධ්‍යාපනය ලැබුවේ?

පල්ලන්සේන විද්‍යාලයෙන් තමා ප්‍රාථමික අධ්‍යාපනය. 6-8 දක්වා ගාලහේන ශාන්ත ආනා විද්‍යාලය. උසස් පෙළ කළේ දංකො‍ටුව මහා විද්‍යාලයෙන්.

පවුලේ විස්තර මොනව ද?

පවුලේ මාත් එක්ක හතර දෙනයි. අම්මයි, තාත්තයි, අක්කයි, මමයි. අම්මා ජීවතුන් අතර නෑ. අක්කා බැංකුවක ‍රැකියාවක් කරනවා. ඇය විවාහකයි.

ඔබත් බැංකුවක ‍රැකියාවක් කළා නේ ද?

මම 2012 උසස් පෙළින් පස්සේ බැංකුකරුවන්ගේ ආයතනයෙන් ව්‍යාපාර පිළිබඳ ඩිප්ලෝමාවක් කළා. ඊට පස්සේ මම පෞද්ගලික බැංකුවක ‍රැකියාවක් කළා 2016 වෙනකල්. පසුව එයින් ඉවත් වුණා.

ඇයි බැංකු ‍රැකියාවෙන් ඉවත් වුණේ?

මගේ අම්මා පිළිකා රෝගයකින් පීඩා වින්දා. ඉතින් මට අයින් වෙන්න සිදු වුණා.

ඔබ මවගේ වියෝවෙන් පස්සේ නේද කලාවට එන්නේ?

මම පාසල් වේදිකාවේ විවිධ කලා කටයුතුවලට ඉදිරිපත් වුණා. අම්මා නැතිවුණාම මට හරිම දුකයි. ඒත් එක්කම මට ඒ දුක නැති කර ගන්න ගයාන් ශ්‍රීමාල් මහතාගේ නර්තන පාඨමාලාවකට සම්බන්ධ වුණා. එතැනින් තමා මට රංගනයට අවස්ථාව ලැබෙන්නේ.

ඔබේ ප්‍රථම රංගනය ගැන මතක් කළොත්?

ධනුෂ්ක ඒ. රේමන් මහතාගේ බර තලි කියන චිත්‍රපටයේ රංගනයෙන් තමා මුලින්ම දායක වෙන්නේ. ඒකෙදි මට ශිරෝමිකා ප්‍රනාන්දු, උදය කුමාරි යන අක්කලා ලොකු සහයෝගයක් දුන්නා. ඒ චිත්‍රපටයේ ප්‍රථමයෙන් රඟපෑවට තිරගත වුණේ නෑ.

එතකොට ඔබ ප්‍රේෂකයන් අතරට එන්නේ?

නිල්වලා ආයතනය මඟින් නිෂ්පාදනය කළ පැහැසරා කියන ටෙලි නාට්‍යයේ උපමාලි චරිතයෙන් තමා ප්‍රේක්ෂකයන් අතර මම ජනප්‍රියත්වයට පත් වුණේ.

මේ දවස්වල ඔබ දකින්නට ලැබෙන්නේ?

ස්වාධීන රූපවාහිනි සේවයෙන් සතියේ දින හතරෙම රාත්‍රී 9.00ට යන පුළිඟු ටෙලි නාට්‍යයේ 'සසදි' හෙවත් 'පොඩි වෙද නෝනා', ස්වර්ණවාහිනී රූපවාහිනි සේවයෙන් සතියේ දින පහේම රාත්‍රී 8.30ට යන 'හොඳ වැඩේ' ටෙලි නාට්‍යයේ 'නිරාශා' ලෙසත් රංගනයට දායක වෙනවා.

පුළිඟු ටෙලි නාට්‍යයේ සසදි එහෙම නැති නම් පොඩි වෙද නෝනා, ඒක අභියෝගාත්මක චරිතයක් නේද? ඒ ගැන විස්තර කිවුවොත්?

අධ්‍යක්ෂක බුද්ධික අයියා (බුද්ධික ලොකු කැටිය) මුලින්ම මට කතා කරලා මේ චරිතය කරන්න එන්න කිව්වා. බුද්ධික අයියාගෙන් මම ඇහුවා සසඳිට සාධාරණයක් මං කරයි කියලා විශ්වාස කරනවද කියලා. එයා කිව්වා ඔයාට තමයි නංගි ඒක කරන්න පුළුවන් කියලා. ඉතින් මට ඒ වචනෙම ඇති ඒ වෙනුවෙන් කැපවෙලා වැඩ කරන්න. අද වන විට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතන්නේ මගේ රංගන ජිවිතේ හැරවුම් ලක්ෂ්‍යය බවට මේ චරිතය පත්වුණා කියලා. මොකද මීට පෙර මේ වගේ ලොකු චරිතයක් මම කරලා තිබුණේ නෑ. මේක සංකීර්ණ චරිතයක් එක පැත්තකින්. යක්ෂයින් හා ප්‍රේතයින් මෙල්ල කරනවා. තව පැත්තකින් ඒවාට වින කරමින් මට රතු වෙද මහත්තයා හදි හූනියම් ගුරුකම් කරනවා මාව විනාශ කරන්න. අංගම්පොර, ලෙඩ්ඩුන් සුවපත් කිරිම. ඒ අතරෙ ලෙඩෙක් මට ආදරය කරනවා අමිල කියලා. එයාට මම ආදරෙයි වගේ ඉන්නවා ලෙඩෙක් නිසා. එයාගෙ ලෙඩේ හොඳ කරන්න ඕන නිසා. නමුත් මම ආදරෙ කරන්නේ වෙනත් කෙනකුට. මෙහි කැමරා අධ්‍යක්ෂක නිශාන්ත ප්‍රදීප්. තිර රචක සුනන්ද සිල්වා. අධ්‍යක්ෂණය බුද්ධික ලොකුකැටිය යන අය මතක් කරන්න ඕනෑ.

ඉසුරු ලොකු හෙට්ටිආරච්චි සමඟ ඔබ බොහෝ නිර්මාණවලට රංගනයෙන් දායක වෙලා තියෙනවා නේද?

මං හිතන්නේ ඒක ඒ ඒ අධ්‍යක්ෂකවරුන්ගේ ‍තෝරා ගැනීම්. ඔවුන්ට හිතෙනවා ඇති ඒ චරිතවලට අපි දෙන්නව හරියටම මැච් වෙනවා කියලා. ඇත්තටම මට ඉසුරු අයියා ගොඩක් දේවල් කියලා දෙනවා. එයා හරිම සරල චාම් කෙනෙක්. මට විතරක් නෙවෙයි හැමෝටම එයා ඒ වගේ. මොකද එයත් බොහෝම අසීරුවෙන් ලොකු කට්ටක් කාලා තමා රංගනයෙන් අද ඉන්න තැනට ඇවිත් තියෙන්නේ. එයා ඒ විඳපු දුක් ගැන හොඳින් තේරුම් අරන් ඉන්න නිසා වෙන්න ඇති අපි වගේ අයට වුණත් මේ විදිහට සලකන්නේ.

තරින්දිට පෙම්වතෙක් ඉන්නවද?

තවම එහෙම කෙනෙක් නෑ.

දැන් නම් කල වයසත් හරි නේද?

කසාදයක් බඳින්න එහෙම අදහසක් නැද්ද? ඒක නම් ගෙදරිනුත් කියනවා. ඉදිරි අවුරුදු දෙක ඇතුළත අනිවාර්යයෙන්ම කසාද බඳිනවා.

දැන් ඔබේ වෘත්තිය රංගනය ද?

අද මම රංගන ශිල්පිනියක ලෙස තෘප්තියක් ලැබුවත් වෘත්තීය වශයෙන් එය කරන්න අදහසක් නෑ. ඉදිරියේදි මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

හේමන්ත බණ්ඩාර 
ඡායාරූප - ශිරන්ත රාජපක්ෂ

නව අදහස දක්වන්න