රෝග සඟවනවා නම් ප්‍රතිකාර හොයන්න බැරි බව බුදු දහමේත් පැහැදිලි කරනවා | දිනමිණ

රෝග සඟවනවා නම් ප්‍රතිකාර හොයන්න බැරි බව බුදු දහමේත් පැහැදිලි කරනවා

ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද හිමි

"ආරෝග්‍යා පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං විස්වාසා පරමා ඥාතී - නිබ්බානං පරමං සුඛං" යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කළේ නිරෝගීකම උතුම්ම ලාභයයි. සතුට පරම ධනයයි. විශ්වාසය හොඳම නෑදෑයායි. නිවන උතුම්ම සැපයයි යනුවෙනුයි. මේ ආකාරයට ජීවිතය හැඩගසා ගන්නේ කෙසේදැයි අද සදහම් මඟ සමඟ සාකච්ඡා කළේ කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය, කොලොන්නාව පුරාණ විහාරවාසී ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද ස්වාමින් වහන්සේයි.

l ස්වාමින් වහන්ස, බුදුන් වහන්සේ දේශනා කළ පරිදි නිරෝගීකම උතුම්ම ලාභය වන්නේ කොහොම ද?

බුදු දහමේ ආරෝග්‍යා පරමා ලාභා කියන්නේ නිරෝගීකම පරම ලාභයයි කියන ස්වභාවය. බුදු දහමට අනුව මනුෂ්‍යයකු රෝගී වීම අංශ දෙකකින් පැහැදිලි කෙරෙනවා.ඒ කායික රෝගී බව සහ මානසික රෝගී බව. බුදුන් වහන්සේ අංගුත්තර නිකායේ රෝග සූත්‍රයේ පැහැදිලි කරනවා මනුෂ්‍යයකුට කායිකව ලෙඩ වෙන්නෙ නැතිව අවුරුදු 10ක් 12ක් 100ක් වුණත් ඉන්න පුළුවනි. නමුත් මානසිකව ලෙඩ වෙන්නෙ නැතිව එක මොහොතක්වත් ජීවත් වෙන්න බැහැ කියලා. බුදුහාමුදුරුවෝ මානසික වෛද්‍යවරයෙක්. උන් වහන්සේ හඳුන්වන්නේ 'ශල්‍ය කත්ථා අනුත්තරා' යනුවෙන්. ඒ අනුව බුදුන් වහන්සේ ශල්‍ය වෛද්‍යවරයෙක්. බුදුන් වහන්සේ ශල්‍යකර්ම කළේ පුද්ගල මනසේ තිබෙන රෝගී ස්වභාවයට. රෝග කාරක නිසා කය ලෙඩ වෙන්න පුළුවන්. චෛතසික ධර්ම සහ ක්ලේෂයන් නිසා මනස ලෙඩ වෙන්න පුළුවන්. මනස නිරෝගී කර ගන්නා ආකාරය දෙස බැලුවොත් මානසික අභ්‍යාසය හැටියට බුදුන් වහන්සේ භාවනාව පැහැදිලි කරනවා.ඒ වගේම මානසික සුවපත්භාවය ඇති වන්නේ රාග, ද්වේෂ, මෝහ යන මූලික ක්ලේෂයන් නිසා බැවින් මේවා තුනී වීම අරමුණු කරගනිමින් බුද්ධ දේශනාවේ පැහැදිලි කර තිබෙනවා. කායික රෝගී වීම පිළිබඳව ගිරිමානන්ද සූත්‍රයේ බුදුන් වහන්සේ පෙන්වා දෙනවා මේ ලෝකයේ මිනිසුන් රෝගී වෙන ආකාර අටක්. සෙම කෝප වීම, වාතය කෝප වීම, පිත කෝප වීම, වැරදි කායික ක්‍රියාකාරකම් නිසා, අන් අයගේ උපක්‍රම නිසා, සෘතු වෙනස් වීම නිසා, කර්මජ ස්වභාවය නිසා ආදී වශයෙන්. ඒ වගේම බුදුන් වහන්සේ දේශනා කළා කෙනෙක් රෝගය සඟවනවා නම් එම රෝගයට ප්‍රතිකාර සොයන්නට බැහැ කියලා.

බුදුන් වහන්සේ දේශනා කළේ නිරෝගීකම පරම ලාභයක් කියලා. එයට හේතුව කෙනෙක් රෝගී වුණාම කායික මානසික සමබරතාව නැති වී යනවා. ඒ වගේම රෝගී වුණ පුද්ගලයෙක් යම් නිවෙසක සිටින විට එම රෝගී ස්වභාවය සමඟ අනෙකාට වන අතුරු ආන්තරා, පීඩනය සහ බලපෑම වැඩියි. බුද්ධ ශාසනයේ නිරෝගි භික්ෂූන් අතර අගතැන්පත් වුණේ බක්කුල හාමුදුරුවෝ. උන්වහන්සේ රෝගී වීමෙන් වළකින්නේ රෝගී වුණ අයට උපස්ථාන කිරීම, අන්‍යයන්ට උදවු කිරීම සහ රෝගින් වෙනුවෙන් තමන්ගේ සේවාව සිද්ධ කිරීමෙනුයි. අද සමාජයේ මතයක් තිබෙනවා කඨින පින්කම් කාලෙදි කප් රුකේ ඖෂධ එල්ලුවාම ඖෂධ පූජාවන් කළාම නිරෝගිකම ලැබෙනවා කියලා. එසේ කළ විට ලැබෙන්නේ ආශිර්වාදයක් විතරයි.

ඒ වගේම කෙනෙක් පංච ශීල ප්‍රතිපත්තිය රකිනවා නම් නීරෝගිකම රැක ගන්න පුළුවන්. දවසට විනාඩි 20ක් හෝ 30ක් කිසියම් භාවනාවක් කරන්න පුළුවන් නම් මානසික අභ්‍යාසය හැදෙනවා. මානසික රෝගවලින් මිදෙනවා. සීනි, කොලෙස්ටරෝල් සහ අධික රුධිර පීඩනය වැනි බෝ නොවෙන රෝග පාලනය කරන්න භාවනාවට බැහැ. නමුත් මානසික ස්වභාවය යම් මට්ටමක පවත්වා ගන්නවා නම් හෘදයාබාධ වැනි භයානක රෝගවලින් ගැලවීමේ හැකියාවක් භාවනාවේ තිබෙනවා. ඒවා අපේ සිතුම් පැතුම් එක්ක සකසා ගත යුතු දෙයක්.

 

l ස්වාමින් වහන්ස, සන්තුට්ඨි පරමං ධනං යන්නෙන් විස්තර වන්නේ කුමක් ද?

බුදු දහම පැහැදිලි කරනවා සතුට තමයි පරම ධනය කියලා. මේ ලෝකයේ කුමන ධනයක් තිබුණත් සතුට නැති වූ විට අපේ ජීවිත අසම්පූර්ණයි. සුඛ වග්ගයේ සඳහන් වෙනවා "සුසුකං වත ජීවාම ආතුරේසු අනාතුරා - ආතුරේසු මනුස්සේසු විහරාම අනාතුරා" කියලා. සතුට තියෙන්නේ කෙලෙස් සහිත මිනිස්සු අතර නික්ලේෂීව ජීවත් වෙන්න පුළුවන් නම් විතරයි. මේ ලෝකයේ සම්පත් සීමිතයි. මිනිසුන්ගේ ආසාවන් අසීමිතයි. සීමිත සම්පත් අසීමිත ආසාවන් සහිත මිනිස්සු අතර බෙදෙන්න ගියාම එතැන ගැටුම් ඇති වෙනවා. එම ගැටීම් අතරේ සිද්ධ වෙන්නේ සතුට නැති වෙන එක. සතුට කියන්නේ අපේ මනස. අපි යමක් දිහා බලලා යමක් දැකලා අත්පත් කර ගත් දේවල් සිතින් කළමනාකරණය කරන්න පුළුවන් නම් ඒක තමයි සතුට කියන්නේ. 2014 වර්ෂයේදී ලෝකයේ සතුටින්ම සිටින මිනිසා සොයන වෙබ් අඩවි කළ පරීක්ෂණයකදී සතුටින් ඉන්නවා කියලා සම්මාන ලැබුවේ අපේ රටේ මනුස්සයෙක්. ඔහු ගාලු පාරේ ප්‍රසිද්ධ ආපන ශාලාවක ආරක්ෂක නියාමකයෙක්. සතුට කියන්නේ මුදල, ධනය හෝ බලය නම් මේ ලෝකේ වැඩියෙන්ම සතුටු වෙන්න ඕනෑ අය ගොඩක් ඉන්නවා. එහෙත් එම ආරක්ෂක නියාමක මහතා කඩේට එන වාහන දැකලා මට මේවා නෑ කියලා දුක‍ට පත් වුණේ නැහැ. කඩේට එන මිනිස්සු කන බොන ආහාර දිහා බලලා මට එහෙම ආහාර නෑ කියලා දුක් වෙන්නේ නෑ. හොඳ ඇඳුම් පැලඳුම් නෑ කියලා දුක් වෙන්නේ නෑ. ඔහුට බයිසිකලයක් තිබෙනවා ඔහුට ඒ ගැන සතුටුයි. ඔහුට වැටුපක් ලැබෙනවා, ඔහු ඒ වැටුප ගැන සතුටුයි. ඔහුට කෑම ටිකක් ලැබෙනවා. ඔහු ඒ ගැනත් සතුටුයි. කෑම කියන්නේ දිවට දැනෙන දෙයක්. අඟල් හතර පහක දිවට වඩා මහ බඩ වැල ගොඩක් දිගයි. ඒ නිසා ඔහු කල්පනා කළා සතුට කියන දේ ඒ දේවල් එක්ක තමන්ට අත්විඳින්න පුළුවන්කම තියෙනවා කියලා.

සතුට තියෙන්නේ අඳින පලඳින ඇඳුමෙ වත්, කන බොන ආහාරවල වත්, ගමන් බිමන් යන වාහනය මත වත් නොවෙයි මේ ලෝකෙ තියෙන දේවල් තමන්ට භුක්ති විඳින්න පුළුවන්කම සහ ඒවා කළමනාකරණය කර ගැනීමේ ස්වභාවය මත. සමහර ඇත්තන්ට තිබිලත් සතුට නැහැ, සමහර ඇත්තන්ට නැතුවත් සතුට නැහැ. සමහර ඇත්තන් පොඩියට දේවල් තිබුණත් ලද දෙයින් සතුටු වෙනවා. ඒක හොඳ ගුණයක්. සතුටින් ඉන්න මනුස්සයාගේ කය පැහැපත්, මනස පැහැපත්, ඔහුගේ ක්‍රියාකාරකම් පැහැපත් වගේම මේ ජීවිතය ඇතුළෙ සතුට මත ආයුෂ දික් වෙනවා. වර්ණවත් වෙනවා. ක්‍රියාශීලී මනුස්‍සයෙක් බවට පත් වෙනවා. සතුට නැති වුණාම බොහෝ රෝගාබාධ විඳින්න තිබෙන ජීවිතය ගොඩක් මිනිස්සු විඳවනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා 'සන්තුට්ඨි පරමං ධනං' කියලා.

 

l අපේ හාමුදුරුවනේ, 'විස්වාසා පරමා ඥාති' කියන්නේ මොකක් ද?

අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ ලේ ඥාතිකම් ගැන. බුදුහාමුදුරුවෝ ඥාති බලි කියලා වෙනම ඥාතීන් වෙනුවෙන් කළ යුතු යුතුකම් ගැන සඳහන් කර තිබෙනවා. ඊළඟට සදිසා වන්දනාවෙදි වෙනමම මව්පිය, දූ දරු ආදී ඥාති සම්බන්ධකම් ගැන තිබෙනවා. බුදුන් වහන්සේ දේශනා කළේ කිඹුල්වත් නුවරින් එන සුළඟත් සැපයි කියලා. ඒ ඥාතිත්වය. එහෙත් ධර්මය තුළ තිබෙනවා ලේ ඥාතිකමට වඩා විස්වාසා පරමා ඥාති කියලා. ඒ කියන්නේ විශ්වාසය පරම ඥාතියා බව. පවුල් ජීවිතයක් ගත්තත් පවුල් ජීවිතය පවතින්නේ විශ්වාසය සහ අවබෝධය මතයි. විශ්වාසය සහ අවබෝධය නැති වුණාම පවුල් ජීවිතය දෙදරනවා. ආයතනයකත් එහෙමයි. තීන්දු තීරණ ගන්න කොට කළමනාකරණය ඇතුළේ වාද විවාද තිබුණත් එළියට ගිහින් කවුරුන් හෝ එම තීන්දු වෙනුවෙන් පෙනී සිටින්න ඕනෑ.

විශ්වාසය රකින්නේ නෑ කියන්නේ ඔහු බොරු කියනවා කියන එකයි. 'නත්ථි පාපං අකාරියං' - එසේ බොරු කියන කෙනකුට, කේලාම් කියන කෙනකුට, විශ්වාසය කඩන කෙනකුට ‍නොකළ හැකි පවක් නැහැ කියලයි බුදු දහමේ විස්තර කරන්නේ. මේ ආකාරයෙන් බැලුවාම මේ ලෝකේ පරම වටිනාකම වන්නේ විශ්වාසයයි. දෙබර කඩන්න යන්නේ ඇවැස්ස මස්සිනා සමඟයි. තමන්ගේ නංගී කණවැන්දුම් වෙන නිසා දෙබර කඩන්න ගියාම අනෙකාට හානියක් සිදුවෙන ලෙස ඔහු මැරෙන විදියට ඔහු විනාශ වන විදියට එතැන හැසිරෙන්නේ නැහැ. හේතුව එතැන එතරම් අවදානම් තැනක්. එතැන තිබෙන්නේ විශ්වාසය. ඒ වගේම මේ ලෝකේ සමහර ඥාතින්ට වඩා ඥාති නොවෙන මිනිස්සු විශ්වාසනීයයි. රහස් රකිනවා, උදවු කරනවා, පවුල තුළ ප්‍රශ්නයකදී එය රස විඳින්නේ නැතිව ප්‍රශ්නයට උත්තර සොයා දෙනවා. එය තමයි විශ්වාසය. බුදුහාමුදුරුවෝ විශ්වසනීය බව විස්තර කළේ ඥාතිකම්වලට එහා ගිය ගුණයක් හැටියට. සංඝයා වහන්සේලා ගත්තත් මුඛ පරම්පරාවෙන් එන මේ ශාසනය රකින්නේ මේ විශ්වාසය මතයි. විශ්වාසය කියන බැම්ම සමාජයේ කොතැනක හෝ තැනකදි ලිහිල් වුණෝතින් එම ලිහිල් වීම ඇතුළේ සමාජ ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න සහ දේශපාලනය සහ හැම ක්ෂේත්‍රයකම ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. පවතින තලය හැටියටයි විශ්වාසය තියෙන්නේ. විශ්වාසය කඩ කරන පුද්ගලයාට සසර පුරුදු එන්නේ ඉතාම නරක විදියට. ඔහුගේ මෙලොවත් පරලොවත් අසාර්ථකයි.

 

l ස්වාමින් වහන්ස, 'නිබ්බානං පරමං සුඛං' යන්න පැහැදිලි කරන්න.

බුදු දහමේ කියන්නේ නිර්වාණය පරම සුවයයි කියලා. නිවන් සැප ලැබේවා කියන එකෙන්ම පැහැදිලි වෙනවා නිවන කියන්නේ සැපක් බව. ඒකෙන් පැහැදිලි වෙනවා අපි විඳින හැම සැපතක්ම වේදයිකයි කියලා. ඒ කියන්නේ විඳීමක් එක්ක තමයි හැම සැපතක්ම ලැබෙන්නේ. විඳින හැම දෙයක්ම වෙනස් වෙනවා. එහෙත් නිවන අවේදයිකයි. නිවන ඇතුළෙ විඳීමක් නැහැ. නිවන ඇතුළේ මඟුල් ගෙවල්, මළ ගෙවල්, දානෙ ගෙවල්, කොවිඩ් 19, චිකන්ගුන්‍යා, සේන දළඹුවා නැහැ. නිවන කියල කියන්නේ රහතුන් වහන්සේගේ, පසේ බුදුවරුන්ගේ, බුදුවරුන්ගේ අත්දැකීමක්. මේ නිසා පෘථග්ජන ලෝකෙට නිවන් සැප කියන දේ ඒත්තු ගන්වන්න ගියාම එය තේරුම් ගන්න විදිය ගොඩක් වැරදියි. මිනිස්සු නිවන් සැප දැකලා තියෙන්නෙ අමුතු තැන්වල. සොහොන් කොත්වල, මරණ දැන්වීම්වල සහ සොහොනට යන තැන තොරණේ. මේ තැන්වල තමයි නිවන් සැප ලැබේවා කියල ගහල තියෙන්නේ. අපි ජීවත් වෙලා ඉන්නකම් අනෙක් හැම සැපතක්ම හොයනවා. මැරුණාම නිවන් සැප හොයනවා. මිනිසුන්ගේ අවබෝධය තිබෙන්නේ නිවනයි මරණයයි කියන්නේ එකක් කියලා. එහෙත් නිවනයි මරණයයි කියන්නේ දෙකක්. මැරිලා කවුරුත් නිවන් යන්නේ නැහැ. මේ ලෝකෙ මිනිස්සු මැරෙනවා නම් මැරෙන්නේ නිවන් ගියාට පසුවයි. ඒ නිසා ජීවත් වෙලා සිටිද්දි නිවන හොයන්න ඕනෑ. නිවන කියන්නේ තෘෂ්ණාව නෑ කියන එක. එය ඇත්තම නිවීමක්. හේතුව අපි ජීවිතයේ ටික කාලෙක සතු‍ටක් වෙනුවෙන් පුංචි දේවල්වල සුඛ විහරණය වෙනුවෙන් සදාකාලිකව විඳවීමක ජීවත් වෙනවා. ඒ විඳවීම ඇතුළෙ තියෙන්නේ වෙනස්වීමක්. බුදුන් වහන්සේ රාජ්‍යත්වය පවා ප්‍රතික්ෂේප කරලා නිවනට ගියේ නිවන සුවයක් නිසයි. ඒ සුවය ජීවිතයේ වින්ඳ ඇත්තෝ තමයි වීතරාගී උත්තමයන් වහන්සේලා.

චතුමී පිටිපන

නව අදහස දක්වන්න