ශ්‍රී වික්‍රම රාජ­සිංහ සැහැසි පාල­ක­යෙක්? | දිනමිණ

ශ්‍රී වික්‍රම රාජ­සිංහ සැහැසි පාල­ක­යෙක්?

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටා ඇති මහනුවර රාජධානිය, ලංකා ඉතිහාසයෙහි කඩඉමක් ලෙස සඳහන් කළ හැකිය. එහි පදනම වැටුණේ පහළොස් වැනි ශත වර්ෂය තරම් මෑත කාලයකදීය. එහි අගනුවර වූයේ සෙන්කඩගල නුවරයි. මෙහි රාජත්වයට පත් වූ රජවරු, ලංකා ඉතිහාසය අධ්‍යනයෙහි දී ඉතා වැදගත්කමක් දරති. ‘කුණ්ඩසාලේ දෙයියෝ‘ යැයි තම රට වැසියන් අතර ප්‍රකට වූ ද, සේනා සම්මත වික්‍රමබාහුගෙන් පැවතෙන සිංහල රාජ පෙළපතේ අවසාන රජු වූ ද, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ 1739 දී දිවංගත විය. ඔහුගේ සුහුරුබඩු වූ ශ්‍රී විජය රාජසිංහ පසුව රාජ්‍යත්වයට පත් විය. ඔහුගෙන් පසු රජ පැමිණ, 1815 වසර තෙක් උඩරට පාලනය කළ රජුන් තිදෙනාගෙන් නායක්කර් පෙළපත සමන්විත විය. නායක්කර් වංශය, දකුණු ඉන්දීය පෙළපතකින් ප්‍රභවය විය. ඉන් පසුව, කීර්ති ශ්‍රී රාජසිංහ ද, ශ්‍රී රාජාධිරාජසිංහ ද රාජත්වය දැරූහ.

ශ්‍රී රාජාධිරාජසිංහ රජුගේ අභාවයෙන් පුරප්පාඩු වූ ලංකා රාජ්‍යය සඳහා රජකු පත් කර ගැනීමේ අවශ්‍යතාව පැනනැඟුණු අවස්ථාවේ, එම තනතුර සඳහා නම නියම කිරීමේ අයිතිය එවකට යථෝක්ත රජුගේ අග්‍රාමාත්‍ය තනතුර දැරූ පිළිමතලව්වේ මහ අධිකාරම්තුමාට සම්පූර්ණ බලය ලැබිණි. එහෙයින්, පිළිමතලව්වේ මහ අධිකාරමට රජ වීම සඳහා දැඩි ආසාවක් තිබුණ ද, ඒ සඳහා මහජන මතයක් ගොඩනැඟීමට තරම් ඔහු ගැන කිසිවකුගේ දැඩි කැමැත්තක් නොතිබුණි. මේ හේතුව නිසා, තමා පසුව හෝ රජ වීමේ බලාපොරොත්තුවෙන්, තාවකාලික රජකම සඳහා පුද්ගලයකු ලෙස, රාජාධිරාජසිංහ රජුගේ දෙවැනි බිසවගේ සහෝදරියකගේ පුත්‍රයාවූ කන්නසාමි නම් දහඅට හැවිරිදි කුමරුවා, ක්‍රි. ව. 1798 දී ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජ තනතුර සඳහා පත් කර ගත්තේය.

ඉහත සඳහන් අධිකාරමට අවශ්‍යව තිබුණේ, ළාබාල කෙනකු රජ කරවා, පසුව තමා රජ වීමේ බලාපොරොත්තුවයි. මේ නිසා, රජතුමා රූකඩයක් ලෙස තබාගෙන, තමාට අවශ්‍ය විධියට රාජකාරී කටයුතු කර ගැනීමට ඔහු තැත් කළේය. මේ කාලය තුළ දී එවකට දෙවැනි අධිකාරම තනතුර දරූ ඇරැව්වාල නිලමේ හොර රහසේ මරා දැමුවේය. පිළිමතලව්වේගේ කූට උපක්‍රම හොඳින් තේරුම් ගත් ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමා, මොහු ගැන මුල දී තිබූ කැමැත්ත හා විශ්වාසය අත්හළේය. මේ නිසා, රාජසිංහ රජතුමා රාජ්‍යයෙන් නෙරපා, ඉංග්‍රීසීන්ගේ උදව්ව මත, පිළිමතලව්වේ රජ වීමට අදහස් කළේය.

මෙයට ඉංග්‍රීසීහු කැමැත්තක් නොදැක්වූ අතර, පසුව රජතුමා සමඟ සාමකාමී ගිවිසුමක් අස්සන් කිරීමට ජෙනරාල් මැක්ඩොවල් මහනුවරට යැවීය. ඒත් එම උත්සාහය ද නිෂ්ඵල විය. මේ කාලයේ දී සිංහල පිරිසක්, පුත්තලම ප්‍රදේශයෙහි දී මුස්ලිම් වෙළෙඳුන්ගේ බඩු කොල්ල කෑ නිසා, ඔවුන්ගේ පාඩුව පිරිමසා ගැනීමට වන්දි මුදලක් ලබා දෙන ලෙස ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් ඉංග්‍රීසීහු ඉල්ලා සිටියහ. මෙය පිළිගත් රජතුමා, පසුව එය එතරම් සැලකිල්ලකට නොගෙන අමතක කර දැමීය. පොරොන්දුව ඉටු නොකළ නිසා, ඉංග්‍රීසීහු කීප වරක්ම වන්දි මුදල් ගෙවන ලෙසට රජතුමාට බල කළහ. ඉංග්‍රීසීන්ගේ මේ ඉල්ලීමට කන් නොදුන් නිසා, රජු හා යුද වැදීමට මැක්ඩොවල් ජෙනරාල්වරයා කොළඹ සහ ත්‍රිකුණාමලයේ සිට හය දහසකින් යුත් යුද සේනා දෙකක් සමඟ මහනුවරට යෑමට පිටත් විය. මොවුන්ගේ ළඟා වීමත් සමඟම රජතුමා මාලිගයෙන් පැන, ඈත පිටිසර ප්‍රදේශයකට ගිය බවත්, යුද්ධ සේනාව මහනුවර රජ මාලිගයට කඩා වැදී, වටිනා බඩුබාහිරාදිය කොල්ල කා, මුළු මාලිගයටම ගිනි තැබූ බවත් සඳහන් වේ. රජතුමා හඟුරන්කෙත ප්‍රදේශයේ සැඟවී සිටින බව පිළිමතලව්වේ අධිකාරම්ගෙන් දැන ගන්නට ලැබුණ නිසා, යුද සේනාව හඟුරන්කෙතට පිටත් කර හැරිය නමුත්, රජතුමා එහි නොසිටියේය.

 

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජ සභාව 
සිතුවම - ප්‍රසන්න වීරක්කොඩි

 

ආකාස කඩේ ළඟ පිහිටි කුටියේ ඇති රාජසිංහ රජුගේ සිතුවමක්

ඉංග්‍රීසීන් කෙරෙහි දැඩිසේ වෛර බැඳගත් රජතුමා, ඔවුන් සහමුලින්ම ලංකාද්වීපයෙන් නෙරපා දැමිය යුතු යැයි තීරණය කර, සිංහල යුද්ධ සේනාවක් සමඟ කොළඹට නුදුරු හංවැල්ලේ දී ඉංග්‍රීසීන් සමඟ මුහුණට මුහුණලා සටන් කළ අතර, දෙපිරිස අතින් බොහෝ පිරිසක් මරුමුවට පත් විය. තවත් පිරිසක් රජතුමාගේ අණ පරිදි අත්අඩංගුවට ගෙන, උල තියා මැරීමට තීරණය කළේය. මේ යුද්ධය නිෂ්ඵල වූ බැවින්, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ආපසු මහනුවරට පැමිණියේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වර්ෂ 1803 දී පමණ ඉංග්‍රීසීන් විසින් විශාල යුද්ධ සේනාවක් සමඟ මධ්‍යම පළාතට පැමිණ, එම ප්‍රදේශය යටත් කර ගැනීමට උත්සාහ කළේය. එම පිරිසගේ ගමන නැවැත්වීම සඳහා, සිංහල සේනාව නොයෙක් උපක්‍රම යොදා, ඔවුන්ගේ පැමිණීම ටික කලකට මැඬපැවැත්වීය. මේ නිසා, නොර්ත් ආණ්ඩුකාරවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමඟම, ජෙනරාල් මේට්ලන්ඩ්, ලංකාවේ ආණ්ඩුකාරවරයා වශයෙන් පත් වී, රජතුමා සමඟ සාමයෙන් සිටීමට තීරණය කර ගත් නමුත්, මධ්‍යම පළාතේ කෝලාහල කීපයක් ඇති විය. මේ කෝලාහල, පිළිමතලව්වේ විසින් ඇති කරන ලද්දක් යැයි සමහරුන්ගේ මතයයි.

මේ කාලය තුළ රාජසිංහ රජතුමා, මහනුවර වැව සහ දළදා මාලිගාවේ පත්තිරිප්පුව තැනීමට පටන් ගත් බැවින්, පිළිමතලව්වේ මෙයට ද විරුද්ධ විය. මේ නිසා, පිළිමතලව්වේ අධිකාරම්ගේ සියලු නිල තනතුරු තහනම් කළේය. දැඩි ලෙස කෝපයට පත් පිළිමතලව්වේ අධිකාරම, රජතුමා මැරීමට නොයෙක් උපක්‍රම යෙදුවත්, එය නිෂ්ඵල විය. මින් පසු අධිකාරමගේ බෑනා කෙනෙක් ඇතුළුව තවත් සත් දෙනෙක් එල්ලා මැරීමට රජතුමා නියෝග කළේය. මෙයට ටික කාලයකට පසුව, පිළිමතලව්වේ අධිකාරම මිය පරලොව ගියේය.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ දෙවැනි අධිකාරම්ව සිටි ඇහැළේපොළ, ප්‍රධාන අධිකාරම් තනතුරට පත් කළේය. මේ කාලය තුළ රජතුමාගේ දේවිය හදිසියේ මිය ගිය බැවින්, නැවතත් බිසෝවරු දෙදෙනෙක් සරණ පාවා ගත්තේය. විවාහ මංගල්‍යයෙන් පසුව රජතුමා බැහැදැකීම සඳහා, අධිකාරම්වරු තුටු පඬුරුත් රැගෙන රජ මාලිගයට ගියහ. එහි දී ඇහැළේපොළ කෙරෙහි රජතුමා දැඩි කැමැත්තක් නොදැක්වූ බව පෙනේ. ඇහැළේපොළ කලකිරීමෙන් යුතුව, තම රාජකාරී කටයුතු සඳහා සබරගමු දිසාවට ගියේය. එහි දී රජුට විරුද්ධව කැරැලි ගැසීය. මේ බව දැනගත් රජතුමා, ඔහුගේ සියලූ තනතුරු මාරු කර, මොල්ලිගොඩ අධිකාරමට පළමු අධිකාරම් තනතුර භාර දී, සබරගමු ප්‍රදේශයට ගොස්, ඇහැළේපොළගේ කැරැල්ල මැඬපැවැත්වීමට නියෝග කළේය. මහ රජුගේ නියෝගය පිළිගත් මොල්ලිගොඩ අධිකාරම සබරගමුවට ළඟා වෙත්ම, ඇහැළේපොළ කොළඹ ප්‍රදේශයට පලා ගියෙන්, ඔහුගේ සගයන් අත්අඩංගුවට ගෙන, මහනුවරට ගෙන ආවේය.

මේ සියලු දෙනාටම භයානක වධ දී, උල තියා මැරවීය. පසුව රජු හට විරුද්ධවූ සියලු දෙනා මැරීමට නියෝග කර, දිනපතා සිය ගණන් මිනිසුන් අමු අමුවේ මරවන ලද බව ඉතිහාසයේ සඳහන් වේ. මේ නිසා රජතුමා කෙරෙහි ජනතාවගේ දැඩි අප්‍රසාදය හා වෛරය උග්‍ර වූ බැවින්, ඇහැළේපොළ පවුලේ සියලු දෙනාම මැරීමට නියෝග කළේය. නියෝගය අකුරට පිළිපැද්ද වධකයෝ, ඇහැළේපොළ පවුල සමූල ඝාතනය කළහ. මෙය සිදු වූයේ රජ මාලිගය ඉදිරිපිටවූ විෂ්ණු දේවාලය හා නාථ දේවාලය අතර, වර්තමාන රජ වීදියත්, දේව වීදියත් අතර භූමි භාගයේ දී බව සඳහන් වේ.

මේ මහා ඛේදවාචකය සියැසින් දුටු මහනුවර වැසියෝ, දින ගණනක් නිරාහාරව, ශෝකයෙන් හා බියෙන් යුතුව කල් ගත කළ බව සඳහන්වේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මෙතරම් දරුණු තීරණ ගැනීමට හේතුව, අධික ලෙස මත්පැන් පානය කර සිටීම බව ඉංග්‍රීසීන්ගේ වාර්තාවල සඳහන් වේ. මේ මහා ශෝකය දැනගත් ඇහැළේපොළ කොළඹට ගොස්, රොබර්ට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා හමු වී, තමාට සිදු වූ විපත සැළ කර, කෙසේ හෝ රජුගෙන් පළි ගැනීමට ආධාර උපකාර ඉල්ලීය. ඔහු සියල්ල දෙන බවට පොරොන්දු විය. මේ කාලය තුළ වෙළෙඳාම පිණිස මහනුවරට පැමිණි වෙළෙඳ පිරිසක් අත්අඩංගුවට ගත් රජතුමා, ඔවුන් ඉංග්‍රීසීන්ගේ ඔත්තුකරුවන් යැයි සැකකර, ඔවුන්ගේ අත්, කන්, නාසා කපා, බෙල්ලේ එල්ලා, භයානක වධහිංසා පමුණුවා, කොළඹට ආපසු යැවීය. මොවුන්ගෙන් අට දෙනකු මඟ දී මළ බවත්, දෙදෙනකු කොළඹට ගොස් ආණ්ඩුකාරවරයා වෙත සිදු වූ සියලු සිද්ධි විස්තර කළ බවත් සඳහන් වේ. එයින් කෝපයට පත් ආණ්ඩුකාරවරයා, තමන් රජතුමා සමඟ යුද්ධ කරන බවට 1815 ජනවාරි 10 වැනි දින ප්‍රසිද්ධියට පත් කළේය. පසුව ඉංග්‍රීසී යුද්ධ හමුදාව කණ්ඩායම් අටකට බෙදී, ලංකාවේ අට කොනින් පිටත් වූහ. ඔවුහු ක්‍රම ක්‍රමයෙන් මහනුවරට ළඟා වූහ.

මොල්ලිගොඩ ඇතුළු පිරිස යුද්ධයට සූදානම්ව සිටි නමුත්, ඉංග්‍රීසි සේනාවේ ප්‍රබලතාව දැක පසුබැස පලා ගියෝය. ඉංග්‍රීසිහු ටිකෙන් ටික මහනුවර වටකොට රජතුමා ඇල්ලීමට මාලිගයට කඩා පැන්නෝය. මේ වන විට රජතුමා හොර රහසේම මාලිගයෙන් පිට වී, දුම්බර මිටියාවතට ගොස් සිටියේය. ඉංග්‍රීසි හමුදාව සමඟ ඇහැළේපොළගේ සිංහල හමුදාව රජතුමා සෙවීමට දැඩි උත්සාහයක් දැරීය. එහෙත් එම උත්සාහය සඵල නොවූයෙන්, ආපසු මහනුවර බලා ඒමට ඔවුන් සූදානම් විය.

අතරමඟ නිවෙසක සිටි කුඩා දරුවකුගේ කලබල‍ ස්වභාවය දුටු හමුදා නිලධාරීන්, ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළේය. එම අවස්ථාවේ මේ කුඩා දරුවා කියා සිටියේ, මැද මහනුවරට ආසන්න මීමුරේ ප්‍රදේශයේ තම නිවෙසේ අටුවක රජතුමා සැඟව සිටින බවයි. වහා එම නිවෙස වට කළ හමුදාව, දොරගුළු කඩා, රජතුමා ජීවග්‍රහණයෙන් අල්ලා ගත්තේය. මේ අවස්ථාවේ රජතුමා, ඇහැළේපොළගේ සිංහල හමුදාවෙන් නොයෙක් අතවරවලට ලක් විය. ඒනිස, ඉංග්‍රීසි හමුදාවේ සහයෝගය ඇතිව, සිංහල සේනාව මැඬපැවැත්වීය.

ක්‍රි. ව. 1815 පෙබරවාරි 18 වැනි දින ඉංග්‍රීසීන් විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අල්ලා ගැනීමෙන් පසු, වසර 2358ක් පුරා ලංකාවේ පැවැති සිංහල රාජ්‍ය පරම්පරාව සදහටම අවසන් විය.

පසුව, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බලසම්පන්න හේවා කණ්ඩායමක් භාරයෙහි කොළඹට ගෙන එන ලද්දේය. රජුගේ වාසය පිණිස කොළඹ කොටුවේ ගාලු දොරකඩ අසල මනාසේ සැරසිලි කරන ලද ගෙයක් පිළියෙල කර තිබුණි. රජතෙම මේ ගෙට ඇතුළුව, විල්ලූද රෙද්දකින් වසා තිබූ ඔටෝමැන් නම් ආසනයක එරමිණිය ගොතා හිඳගෙන, ගෙය වටපිට බලා, “රජ කරන්නට මට අවසර නැති බැවින්, මේ ලැබෙන සුවපහසු ගැන ඉංග්‍රීසීන්ට ස්තුති කරන්නට වටනේ” යැයි කීවේය. රජු, ඉංග්‍රීසින්ට අසු වී සති දෙකකට පසු, මහනුවර මඟුල්මඩුවේ සභාවක් රැස් විය. මේ සභාවෙහි, ඉංග්‍රීසි ආණ්ඩුකාරයා ඉංග්‍රීසි රජු වෙනුවට ද, සිංහල රදළවරු වැසියන් වෙනුවට ද පෙනී සිටියෝය. ඉංග්‍රීසි ආණ්ඩුකාරයා මඟුල් මඩුවේ ඉහළ කොනේ හිඳගත් පසු, ඇහැළේපොළ නිලමේ පළමුවෙන්ම එහි තනිව පැමිණියේය. ආණ්ඩුකාරවරයා ඔහු ගෞරවයෙන් පිළිගෙන, තමාගේ දකුණු පැත්තේ පුටුවක ඔහු වාඩි කරවා ගත්තේය. ඉන් පසු මොල්ලිගොඩ අධිකාරම් තැන දිසාපතිවරුන් සහ අවශේෂ රදළවරුන් පිරිවරාගෙන පැමිණියේය. ඉක්බිති කලින් පිළියෙල කර තිබුණු ගිවිසුම් පත්‍රයක් ඉංග්‍රීසියෙන් ද, සිංහලෙන් ද කියවා භාර ගන්නා ලද්දේය.

මේ ගිවිසුමේ දෙවැනි වගන්තියෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු රාජාසනයෙන් පහ කරන ලද බව ද, ඔහුගෙන් පැවතෙන්නන්ට කිසි කලෙකවත් රාජ්‍යය උරුමය නැති බවට ද ප්‍රකාශ කරන ලද්දේය. තුන්වැනි වගන්තියෙන් ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගෙන් පැවැත එන්නන්ට හෝ ඒ රජුගේ බන්ධුවරයන්ට හෝ ඉංග්‍රීසී ආණ්ඩුවෙන් අවසර නැතිව කිසි කලෙක සිංහල රටට එන්නට බැරි ලෙස තහනම් කරන ලද්දේය. පස්වැනි වගන්තියෙන් බුද්ධ ශාසනය ආරක්ෂා කරන හැටියට ද, අටවැනි වගන්තියෙන් රටේ පැවැති රාජ නීතියේ ප්‍රකාර රාජ්‍ය කරන හැටියට ද ගිවිස ගන්නා ලද්දේය. වගන්ති 11කින් යුත් මේ ගිවිසුම් පත්‍රය කියවූ පසු, ඉංග්‍රීසි කොඩිය ඔසොවන ලද්දේය. තුන්වැනි ජෝර්ජ් රජු වර්ෂ 1815 මාර්තු මස දෙවැනි දින පටන් ලංකාවෙහි රජු වු බව ප්‍රකාශ කිරීම් වශයෙන්, කාලතුවක්කු වෙඩි ශබ්ද පවත්වන ලද්දේය.

රාජ්‍යයෙන් පහ කර දැමූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු, වර්ෂ 1816 ජනවාරි මස 24 වැනි දින කෝර්න්වලිස් නම් නැවෙන් මදුරාසියට යැවීය. ඔහු නැව් නගින්නට ප්‍රථමයෙන්, මොල්ලිගොඩ නිලමේ දකින්නට සතුටු බව කීවේය. ඒ අධිකාරම කොළඹ නැති බව දැන්වූ කල, “මොල්ලිගොඩ මා දකින්නට නාවේ මගේ හිතට වේදනා දෙන්නට කනගාටුවෙන්“ යැයි කීවේය. ඉන් පසු ඇහැළේපොළ නිලමේ කොළඹ සිටින බව දන්වන ලදුව, “ඇහැළේපොළ නිලමේ කොළඹට ආවේ මා බලා සිනාසෙන්නටය. එනමුත් ඉංග්‍රීසීන් එයට අවකාශ දී නැත. ඉංග්‍රීසීහු රළු මනුෂ්‍ය වර්ගයක් නමුත්, එවැනි සමහර හොඳ ගතිත් ඇත්තෝය“ යි කීයේය.

මදුරාසියට ගෙන යද් දී ග්රැන්විල් නම් මහතෙක් රජු භාරව සිට ඇත. රජු මොහු සමඟ මහනුවර කරුණු ගැන නොයෙක්විට කථා කර ඇත. ඒ එක් අවස්ථාවක දී ඇහැළේපොළ අදිකාරම ගැන කතා කරන්නට යෙදී ඇත. “ඉංග්‍රීසීන් පරිස්සම් නූණහොත් ඇහැළේපොළගෙන් අන්තරාය පැමිණිය හැකිය. ඒ නිලමේ වනාහී කෙළෙහිගුණ නොදත් දුෂ්ටයෙක්ය. නීති ප්‍රකාරව ඔහු දෙවරක් දඬුවම් ලැබිය යුතුව සිටියේය. දෙවරක් ඔහුට මම කමා වුණෙමිය. ඉන් පසු ඒ ගුණමකු පුරුෂයා පියකු මෙන් සිටි මට විරුද්ධව කැරලි ගැසුවේය.“ යැයි කීයේය. ඉන්පසු ග්රැන්විල් නමැත්තා, මොල්ලිගොඩ ගැන විදාරන ලදුව, “මොල්ලිගොඩ දැන් ඉංග්‍රීසි රජුහට පක්ෂව සිටින්නට කර තිබෙන දිවුරුම කඩ කරන්නේ නැත. ඒ නිලමේ වචන දෙකක් ඇති මිනිහෙක් නොවේ.“ යැයි කීයේය. මොල්ලිගොඩ, යුද්ධයේ දී රජු අත්හැර ඉංග්‍රීසීන්ට එකතු වුණ බව ග්රැන්විල් මහතා කී කල, රජු උත්තර දෙමින් පවසා ඇත්තේ, “මොල්ලිගොඩට පුළුවන්කමක් තිබුණා නම්, මා අත්හැර දමන්නේ නැත. ඔහු ඉංග්‍රීසීන්ට පක්ෂ වීම, බැරි තැන දී කළ ක්‍රියාවක්ය. මොල්ලිගොඩ හොඳ මිනිහෙක්ය. එනමුත් දක්ෂයෙක් නොවේ.“ යන ලෙසටය.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මේ ස්වභාවය පිළිබඳ විවිධ විචාරකයෝ විවිධ අදහස් පළ කරති. ඔහු, මනුෂ්‍යයන් කෙරෙහි දයාබරකමක් නැති, කෲර රජෙක් යැයි ඇතැම් කෙනෙක් පවසති. ඊට සාක්ෂ්‍ය වශයෙන් ගෙනහැර දක්වන්නේ, ඔහු රාජද්‍රෝහීන් බොහෝ දෙනෙකු මැරූ නිසාය. රාජ ද්‍රෝහීන්ට විශේෂයෙන් දරුණු දඬුවම් දීම පුරාතනයේ දී සෑම රටකම පැවතුණු සිරිතකි. ශ්‍රී වික්‍රම රාජසිංහ, රටේ නඩු මාර්ගයේ ප්‍රකාර මුලාදෑනීන් හිස් කප්පා ද, අවශේෂ වැසියන් උල හිඳුවා ද, ස්ත්‍රීන් දියේ ගිල්වා ද මැරෙව්වේය. ගණනාථ ඔබේසේකරගේ අදහසට අනුව, නූතන දේශපාලන සැහැසිකම් හා සසඳන කල, මේ ඓතිහාසික සැහැසිකම් එතරම් දරුණු ඒවා නොවේ.

ආචාරධාර්මිකව කුමන අයුරකින් හෝ සාධාරණීකරණය කළ නොහැකි වුව ද, රාජ්‍ය පාලනයේ නාමයෙන්, සෑම පාලකයකුම දරුවන්, කාන්තාවන් ඇතුළු මිනිසුන් මරා දමති. ආගමික සදාචාරය පමණක් තිබූ අතීතයේ මෙන් නොව, අන්තර්ජාතික වශයෙන් අපමණ මානව හිමිකම් පිළිගත් සමාජයක දහස් ගණනින් ඝාතන සිදු වෙයි. සිහි විකල්ව නැති ඕනෑම කෙනෙක් මෙබදු ඝාතන නිසා කම්පා වෙති. තනි තනිව කම්පාවීම් ගුණනය වීමෙන්, මානව සමාජයේ බරපතළ පීඩනයක් ජනනය වෙයි. පරමාදර්ශය හා ප්‍රයෝගිකත්වය මත ඇත්තේ ගැටුමකි. දයා සිතින්, අනුකම්පාවෙන් සහානුභූතිකව සිද්ධි දෙස බැලීමේ දී පෙනෙන්නේ, එක් පැත්තක් පමණි. කුමාරිහාමි යන උඩරට පොදු නමකින් කියැවෙන කාන්තාවක හා ඇයගේ දරුවන් මරා දැමීමෙන්, ශ්‍රී වික්‍රම සමාව දිය නොහැකි වරදක් කර ඇතත්, නීතියට එරෙහිව අපරාධයක් කර නැත.

මේ රජු මිත්‍රද්‍රෝහියකු විසින් තමාගේ දුෂ්ට අදහස් ඉෂ්ට කර ගන්නා පිණිස රාජාසනාරූඪ කරන ලද්දේය. බොහෝ කලක්ම රජු ක්‍රියා කළේ ඒ ද්‍රෝහියාගේ අවවාද, අනුශාසනා අනුවය. සතුරා බව නොදැන, සතුරකුගේ දැනුමැතිකම පිට ක්‍රියා කරන රජකුට, තමාගේ ප්‍රාණයත්, රාජ්‍යයත්, හොඳ නාමයත් පරිස්සම් කර ගැනීම දුෂ්කරය. පිළිමතලව්වේ රාජ්‍යය ලබා ගන්නට කුමන්ත්‍රණය කරන්නට පටන් ගත්තේ, ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ්‍යයට පැමිණ නොබෝ කලෙකිනි. රජු ඒ බව දැනගත් තැන් පටන් මරණ බියෙන් කාලය ගත කළේය. භය නිසා දඬුවම් කිරීම ද ක්‍රමයෙන් වැඩි වී, මරණ භය නැතිව නිදන්නට ලැබුණේ හිර භාරයට පත් වුණාට පසුව පමණක් යැයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු එක් අවස්ථාවක දී පවසා ඇත.

ශ්‍රී වික්‍රම රාජසිංහ නැණ හීන වූවෙක්ය යනු, ඒ රජු හට විරුද්ධව ගෙනහැර දක්වන තවත් දෝෂයකි. එනමුත් එයට කිසි සාක්ෂ්‍යයක් දිය නොහැකිය. මේ රජු බොහෝකොට ආශ්‍රය කළ ග්රැන්විල් හා මාර්ෂල් යන ඉංග්‍රීසි මහතුන් දෙදෙනාගේ කල්පනාව, ඔහු තීක්ෂණ ඥානයක් ඇති කෙනකු වූ බවය. ඔහු නැණ හීනයෙක්ය යනු පළමුකොට ප්‍රකාශ කරන ලද්දේ පිළිමතලව්වේ අදිකාරම් තැන විසින් බව පෙනේ. එහෙත් ඒ බලසම්පන්න අමාත්‍යයා බොහෝ කලක් මැඬපවත්වාගෙන සිටින්නට ද, අන්තිමේදී නඩු මාර්ගයෙන් ඒ ද්‍රෝහියාගේ හිස කප්පා දමන්නට ද හැකි ඥාන ශක්තියක් රජුට තිබූ බව පෙනීයයි.

රටවැසියෝ සාමාන්‍යයෙන් රජු කෙරෙහි අප්‍රිය වූවෝ යැයි සමහරෙක් කල්පනා කරති. එයද විශ්වාස කරන්නට කිසිදු සාක්ෂ්‍යයක් නැත. රජු හට විරුද්ධ වූවෝ නම් නිලමේවරුයි. නිලමේවරුන්ගේ හිංසා පීඩාවලින් රජු දුප්පත් වැසියන් ආරක්ෂා කරන ලද්දේය. ඒ කරණ කොට නිලමේවරු රජු හට සතුරු වූහ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජ්‍යය නැති වුණේ ඔහුගේ ක්‍රෑරකම් නිසා නොව, කරුණාව නිසා යැයි සයිමන් සොයර්ස් නම් ඉංග්‍රීසි ජාතිකයා වරෙක පවසා ඇත.

ශ්‍රී වික්‍රම රාජසිංහ, තමාගේ කාලය ප්‍රයෝජනවත් ලෙස ගත කළේය. නිලමේවරුන්ගේ අගතිකම් නිසා, තමා විසින්ම බරපතළ නඩු විභාග කර තිබේ. ඉතිරි කාලය ආණ්ඩුව සම්බන්ධ ආඥා නිකුත් කිරීමෙන් ද, මහනුවර අලංකාර කිරීම ගැන කළ කර්මාන්ත විධාන කිරීමෙන් ද ගත කළේය. මහනුවර තිබෙන රම්‍ය වූ වැව, මේ රජුගේ විධානය පිට කරන ලද්දකි. රජු සිරෙහි සිටිය දී ඔහු ආශ්‍රය කළ සියලුම ඉංග්‍රීසීහු ඔහු ගැන පැහැදුණෝය. ඔහු ඉංග්‍රීන් සමඟ නොයෙක්විට මහනුවර කරුණු පිළිබඳ කථා කළේය. “මගේ වැසියෝ ක්‍රියා කළ යුතුව තිබුණු අන්දමට ක්‍රියා කළාහු නම්, මා පිරිමියකු යැයි නුඹලාට දැනගන්නට තිබිණි. නුඹලා දෙවරක්ම මහනුවර අත්කර ගත්තාහුය. ඒ දෙවරෙහිම නුඹලා මහනුවරින් වහාම පිටවෙන්නට කැමැති වූහ” යි එක් අවස්ථාවක දී මාර්ෂල් නම් ඉංග්‍රීසී වෛද්‍යවරයා සමඟ රජු කීවේය.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා මීමුරේ සිට මහනුවර දක්වා රැගෙනවිත්, පසුව කොළඹට ගෙනගොස් ටික දිනක් එහි නතර කර, දැඩි ආරක්ෂාව මත නැවක නංවාගෙන, මුරුසි දිවයිනට ගෙන ගොස්, එහි සිරකොට තැබීය. රජු පිටුවහල් කරන අවස්ථාවේ, රජුගේ උදාරම් බව හා සන්සුන් විලාශය ගැන මාර්ෂල්ගේ සටහන ඉතා වැදගත් වෙයි. රජකම අහිමිව සිරකාරයකු ලෙස තම මව්බිමෙන් බැහැරව යන්නට සිදු වූ අවස්ථාවක, කිසිදු කම්පනයකින් තොරව සිටියා නම්, ඔහු මනුෂ්‍යයකු විය නොහැකිය. වෙල්ලෝරයට පිටුවහල් කිරීම සඳහා, කොළඹ සිට මදුරාසිය දක්වා කොන්වැලිස් නම් නෞකාවේ කැබින් එකක හිරව යද්දී, රජු වඩාත් අසීරුවට පත් වූවා සැක නැත. ඔහු සමඟ ගිය ග්‍රැන්විල් සඳහන් කරන ආකාරයට, ඔහු තීක්ෂණ බුද්ධියක් තිබුණ අයෙකි. අනෙක් අයගේ හැසිරීම් අවබෝධ කර ගැනීමට විනිවිද යෑමට ශූරයෙකි.

ඔහු මෘදු සිත් ඇත්තෙකි. හැඟීම් පාලනය කරගෙන කටයුතු කිරීමට අසාමාන්‍ය හැකියාවක් තිබී ඇත. ළමා කාලයේ සිට වගා කරගෙන තිබූ උසස් ගුණ ධර්ම නිසා, උපදෙස් මඟින් ඔහු නොමඟ යැවිය නොහැකිය. ඔහු, තමාගේ උත්පත්තිය, තරාතිරම, උදාරම් බව කිසි විටෙකත් අමතක කළේ නැත. කිසි කලෙක නොවූ විරූ මුග්ධ පාවාදීම ගැන, ඔහු කිසිවක් කථා කළේ නැත. එම අවස්ථාවේ වුව ද ඔහු තීක්ෂ්ණ බුද්ධියකින් හා විචක්ෂණ බවකින් යුතුව කටයුතු කරමින්, සුළු අතපසු වීමක් ගැන වුව ද සැලකිලිමත් විය. මෙසේ වසර 16ක් සිරබත් කෑ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා, අවුරුදු 52ක් ආයු විඳ, ක්‍රි.ව.1832 දී, දරුණු උදරාබාධයකින් මිය පරලොව ගියේය.

 

 

 

මහාචාර්ය එන්. ඒ. විමලසේන,

ඉතිහාස අධ්‍යයනාංශය,

පේරාදෙණිය විශ්වවිද්‍යාලය

 

 

නව අදහස දක්වන්න