මිග් ගනුදෙනුවේ ඇත්ත කතාව-2 | දිනමිණ

මිග් ගනුදෙනුවේ ඇත්ත කතාව-2

මිග් යානාවේ නැඟී කළ දේශපාලන දඩයම උදයංග හෙළි කරයි

පසුගිය 2018 පෙබරවාරි 04 දින ශ්‍රී ලංකා පොලිසියේ ඉන්ටර්පෝල් පොලිස් කණ්ඩායම සහ ඩුබායි නගරයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ ඉල්ලීම් මත ඩුබායි සිට ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නගරය බලා පියාසර කිරීමට මා පැමිණි අවස්ථාවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී නිල් වරෙන්තුවක් මත මා අත්අඩංගුවට ගත නොහැකි බව පවසා සිටින ලද අතර ඔවුන් එම කරුණු පිළිගෙන, මා මුදා හරින ලදී.

ආන්දෝලනාත්මක මිග් ගනුදෙනුවේ සත්‍ය තොරතුරු මොනවාද යන්න පිළිබඳ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ හෙළිදරවු කරමින් පවතී. එම තොරතුරු ඇතුළත් ලිපියෙහි පළමු කොටස ඊයේ පළ විය.

යහපාලන ආණ්ඩුව මෙම ගනුදෙනුවේ එල්ලී සිටියේ කුමන කාරණාවක් හේතුවෙන් ද යන කරුණු ද පාඨකයන්ට දැන් අනාවරණය වී අවසන්ය. 2000 වසරේ දී මිල දී ගත් ගුවන්යානා හතර සහ 2006 වසරේදී මිල දී ගන්නා ගුවන් යානා අතර තිබූ වෙනස ද වීරතුංග මහතා හෙළි කළේය.

2000 වසරේ මිල දී ගත් ගුවන් යානා වසරකින් පසුව ගුවන් තොටුපළේ නවතා තැබීමට සිදු වන යානා බවත්, 2006 වර්ෂයේ මිල දී ගන්නා යානා වසර අටක් ප්‍රහාරක ගුවන් යානා ලෙස ක්‍රියාකාරී තත්ත්වයේ තිබෙන යානා බවත් හෙතෙම සාක්ෂි සාධක සහිතව අනාවරණය කළේය.

වසර එකහමාරක් තිස්සේ කොටසින් කොටස අලුත්වැඩියා කරමින් ශ්‍රී ලංකා ගුවන් ඉංජිනේරුවන් ඉදිරියේ එකලස් කරන මිග් යානා 2006 වසරේ දී මිල දී ගන්නේ වගකීම් සහතිකයක් ද සහිතවය.

ශ්‍රි ලංකා ගුවන් හමුදාව, යුක්රේන් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය හා බෙලිමීසා සමාගම අතර සිදු වන පාරදෘශ්‍ය ගුවන් ගනුදෙනුව පිළිබඳ වීරතුංග මහතා දේශපාලන පළිගැනීම් විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ තවදුරටත් විස්තර කර සිටියේ මෙලෙසිනි.

‘‘ඉන් පසුව ශ්‍රි ලංකා ගුවන් හමුදාපතිවරයා ඇතුළු පිරිසක් සමඟ යුක්රේනියාවේ ලුවෝෆ් නගරයේ මිග් ප්‍රහාරක යානා අලුත්වැඩියා කරන කර්මාන්ත ශාලාවට ගොස් අලුතින් මිලදීගත් මිග්-27 යානා පරීක්ෂා කර SLAF/2006/07/AIR ගිවිසුමේ කොන්දේසි හා පිරිවිතරයන්ට අනුව එකී යානා නිසියාකාරව අලුත්වැඩියා කර ඇති බවට පරීක්ෂා කිරීමෙන් පසු දෙපාර්ශ්වය විසින් කර්මාන්ත ශාලා කාර්මික තත්ව එකඟ වීමේ සහතිකය (FACTORY ACCEPTANCE CERTIFICTE) 2006/12/09 දින නිකුත් කර ඇත. වඩාත් වැදගත් කාරණය වන්නේ එම සහතිකය ඉහත කී UKRINMASH සමාගමෙහි නියෝජිතයෙක් අස්සන් කර ඇති අතර ගුවන් හමුදාව වෙනුවෙන් ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක අස්සන් කර තම නිල මුද්‍රාව තබා ඇති බව පැහැදිලිව සටහන් වෙනවා. ඊට අදාළ සියලු ලේඛන මා මේ කොමිසමට ඉදිරිපත් කරනවා. එම සංචාරයේදී එවකට යුක්රේනියාවේ වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා හා යුක්රේනියාවේ ගුවන් හමුදාපති, අධක්ෂක D.A PEREGUDOV ඇතුළුව නිලධාරීන් පිරිසක් සමඟ ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක අතර රාජකාරි හමුවක් යුක්රේනියාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදු වුණා. එම හමුවට මා ද සහභාගි වුණා.

ඊට අමතරව මිග් ගුවන් යානාවල අවසන් කාර්මික තත්ත්ව පිළිබඳ දෙපාර්ශ්වය එකඟ වීමේ සහතික (FINAL ACCEPTANCE CERTIFICTE) ගුවන් හමුදාවේ ඉංජිනේරු අංශයේ අධ්‍යක්ෂවරයා සහ එම ගිවිසුම අස්සන් කරන ලද යුක්රේන්මාෂ් සමාගමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ G.A. STUDENIKI අතර ශ්‍රී ලංකාවේදී එම සහතික අස්සන් කර ඇත. එම සහතිකය UKRINMASH සමාගමෙහි නියෝජිතයන් අස්සන් කර තිබෙනවා. මේ ලේඛන අනුව ශ්‍රී ලංකාව සමඟ පැවති අදාළ ගිවිසුම යුක්රේනියාවේ ලියාපදිංචි කර නැති බවට යුක්රේනියාවේ නීතිපතිවරයා කර ඇති සඳහන සත්‍යයෙන් තොර හා පිළිගත නොහැකි කරුණක් බව මින් පැහැදිලි වෙනවා.

ගිවිසුමේ එකඟ වී ඇති පරිදි UKRINMASH සමාගමේ වගකීම් සහතිකයට අනුව ගුවන් යානා නඩත්තු කරන කණ්ඩායමට ලංකාවේදී නවාතැන්, ප්‍රවාහන, වෛද්‍ය ආදි පහසුකම් ගුවන් හමුදාව ලබා දී ඇත. මෙම සියලු කාරණා එසේ වූ නමුත් මෙම ගිවිසුම මා විසින් සුදානම් කර ඇති කූට ගිවිසුමක් බවත්, ගුවන් හමුදාපති අස්සන් කළ ගිවිසුම මා විසින් රැගෙන ගිය බවත්, පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පො.ප. නිහාල් ප්‍රැන්සිස්‌ විසින් මට එරෙහිව සැලසුම් සහගතව ඉදිරිපත් කළ සාවද්‍ය තොරතුරු හා චෝදනා පදනම් කර, මා සැකකරුවකු ලෙස නම් කර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නොමඟ යවා ඇති බව කිව යුතුයි.

තවදුරටත් ඉහත ගනුදෙනුව කෙරෙහි විශේෂ උද්යෝගයකින් කටයුතු කළ බව පෙන්වා දීම සඳහා පොලීසිය අවධාරණය කර ඇති තවත් කරුණක් වනුයේ යථෝක්ත ගිවිසුම ශ්‍රී ලංකාවට ගෙන එන ලද්දේ සහ ගුවන් හමුදාපතිවරයා අස්සන් කිරීමෙන් පසුව අනෙක් පාර්ශ්වය වෙත ගිවිසුම රැගෙන යන ලද්දේ මා විසින් බවට දැක්වෙන කරුණයි. එහෙත් මා ගෞරවයෙන් සැල කරස සිටින්නේ උක්ත ප්‍රකාශය සහමුලින්ම අසත්‍ය පදනම් රහිත ප්‍රකාශයක් බවයි. ඇත්ත වශයෙන්ම ගුවන් හමුදාපතිවරයා මෙම ගිවිසුමට අස්සන් කරනු ලැබූ 2006/07/26 දින, මා ලංකාවේ නොසිටි බව ආගමන විගමන පාලකයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත සිය දත්ත මඟින් ද සනාථ කර ඇති බව සඳහන් තොරතුරු මා මේ කොමිසමට ඉදිරිපත් කරනවා.

SLAF/2006/07/Air දරණ ගිවිසුමේ Part-1 හි 3 වෙනි පරිච්ඡේදයේ සහ Part-2හි 4 වෙනි පරිච්ඡේදයේ කරුණුවලට අනුව BELLIMISSA සමාගම විසින් මෙම ගනුදෙනුව සඳහා මූල්‍ය පහසුකම් සපයන බව ගැණුම්කාර පාර්ශ්වයත් හා විකුණුම්කාර පාර්ශ්වයත් පිළිගන්නා අතර මේ ගනුදෙනුවට අදාළ සියලු ගෙවීම් BELLIMISSA සමාගමට ගෙවිය යුතු බව පැහැදිලිව සඳහන් විය. පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් BELLIMISSA සමාගම නමට ඇමරිකානු ඩොලර් 13,976,000 වටිනාකමකට ණයවර ලිපියක් නිකුත් කර ඇත. එසේම UKRINMASH සමාගමට මුදල් ගෙවීමට දෙපාර්ශවය විසින් එකඟ වී නැත.ඒ අනුව ගනුදෙනුවට අදාළ මුදල් UKRINMASH සමාගමට ඍජුව සම්ප්‍රේෂණය නොවීම මත ශ්‍රී ලංකා ගුවන් හමුදාව රැවටිමට ලක් කර බව හුවා දැක්විමට පොලිසියේ විමර්ශකයන් දරන උත්සාහය කිසිසේත්ම පිළිගත නොහැකි බව මාගේ මේ ලිපි ලේඛනවලින් සනාථ වෙනවා.

විශේෂයෙන් කිව යුත්තේFACTORY සහ FINAL ACCEPTANCE CERTIFICTE ලේඛන අදාළ බැංකුවට ඉදිරිපත් කර එම මිග් යානා ගනුදෙනුවේ මුළු වටිනාකමෙන් 50% මුදල් ගුවන් හමුදාපතිගේ අනුමැතිය මත BELLIMISSA සමාගමට මහජන බැංකුව හරහා ගෙවා ඇති බව මෙහිදී සනාථ වන්නේය. ඒ අතර යුක්රේනියානු නිලධාරීන් පවසන පරිදි යුක්රේනියානු සමාගම්හි, යම් ගිවිසුමට අදාළ වගකීම් අවසන් කර, වසර 5 කට පසු ඊට අදාළ ලේඛන විනාශ කිරීමට ආයතනයට බලයක් තිබෙන අතර SLAF/2006/07/Air දරන ගිවිසුම් අවසන් කර දැනටමත් වසර 10ක් වැඩි කාලයක් ‌ගෙවී ඇත. එම කාලය තුළ ගිවිසුමට අදාළ කිසිදු පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයට ලිඛිත චෝදනා මෙතෙක් එල්ල කර නොමැති කිව යුතුයි.’’

කොමිසමේ සභාපති විනිසුරුවරයා.

“ ගිවිසුමට අදාළ පාර්ශ්වයක් විසින් තමා දැනුවත්ව කිසියම් පැමිණිල්ලක් සිදුකර තිබේ ද?

වීරතුංග මහතා : ‘‘ගිවිසුම අවසානයේ දී දෙපාර්ශ්වය විසින් ගිවිසුම සාර්ථකව අවසන් කර බවට ලේඛන අත්සන් කර තිබෙන අවස්ථාවක වුවද යහපාලනය රජයේ අවශ්‍යතා මත හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ දේශපාලන ගමන නතර කිරීමට, මිග් ගුවන් යානා මිල දී ගැනීමේදී මුල්‍ය අක්‍රමිකතාවක් සිදු වී ඇති බවට මාධ්‍යවේදී ඉක්බාල් අතාස් යන අය ලවා දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිලි කර පසුව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල විසින් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ලිඛිතව පැමිණිලි කර FCDI විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකර, දේශපාලන වශයෙන් මගෙන් පළිගැනීමට අධිකරණය නොමඟ යවා කටයුතු කළා.

අන්තර්ජාතික නීති උල්ලංඝනය කිරීමක්

යහපාලන රජය මගේ පාස්පෝට් එක තහනම් කරන්න හා අන්තර්ජාතික රතු නිවේදන ලබාගන්න අසත්‍ය තොරතුරු අධිකරණයට ඉදිරිපත් කළා. එළෙස සිදු කිරීමත් දේශපාලන පළි ගැනීමට ලක් කිරිමක් වෙනවා. අන්තර්ජාතික රතු නිවේදනයක් නිකුත් කරන්න පුද්ගල‍යකු යම් අධිකරණයෙන් වරදකරු වී තිබිය යුතුයි. එහෙත් මට ඒ වන විට කිසිදු අධිකරණයක අධි චෝදනා ගොනු කර වත් තිබුණේ නැහැ. එසේ නැතිනම් නඩුවක් විභාග වන අවස්ථාවේ දී ඊට අදාළ අධි චෝදනා පත නිකුත් කළ පුද්ගලයකු විය යුතුයි. අන්තර්ජාතික නීතිය ඒකයි. (Article 83 Interpol Rules on the proceing of date). එහෙත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ගොනු කරන ලද බී/639/15 දරන නඩුව පාදක කර ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මට එරෙහිව නිකුත් කරන ලද වරෙන්තුව උපයෝගී කර ඉන්ටර්පෝල් රතු නිවේදනයක් කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර ඇත. එසේ නමුදු මෙම මොහොත දක්වා ශ්‍රී ලංකාව තුළ කිසිදු නඩුවකින් මා වරදකරුවකු ලෙස නම් කර නැත. එසේම මෙතෙක් කිසිදු නඩු නිමිත්තක් මූලිකව මා හට අධිචෝදනා පත්‍රයක් භාර දී නැති අතර, එවැනි නඩුවක් මහාධිකරණයේ ගොනු කර නැති බව ද දන්වා සිටිමි. එසේ බොරු තොරතුරු මත අන්තර්ජාතික ඉන්ටර්පෝල් පොලිසිය මගින් 2018 වර්ෂයේදී රතු නිවේදනය නිකුත් කර ඇත්තේ Article 83 (1) iii බාහිරව පසුගිය රජය අසත්‍ය කරුණු ඉදිරිපත් කර බව ගරු කොමිෂන් සභාවට ප්‍රකාශ කර සිටිමි.

ශ්‍රි ලංකා රජයේ රතු නිවේදනය අන්තර්ජාතික නීතින්ට පටහැනි බවට මා විසින් ප්‍රංශ රජයේ පිහිටි ඉන්ටර්පෝල් පොලිසියේ මූලස්ථානයට කරන ලද අභියාචනාවට අනුව Commission for the Control of INTERPOL’s Files කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් ඉන්ටර්පෝල් පොලිසිය විසින් 2018 දී ලංකා රජයට යොමු කරන ලද සියලු ලිපිවල තොරතුරු අඩංගු සම්පූර්ණ ලිපි ගොනුවක් ලංකා රජය සතුව තිබෙනවා ස්වාමීනි.’’

අදාළ ලිපි ගොනුව කොමිසමට ඉදිරිපත් කරන ලෙසට කොමිසමේ සභාපති විනිසුරුවරයා මෙහිදි පොලිසියට නියෝග කළේය.

 

උදර්පන නීතියත් අවභාවිතයට ගෙන පළිගැනීම් කිරීම

පසුගිය 2018 පෙබරවාරි 04 දින ශ්‍රී ලංකා පොලිසියේ ඉන්ටර්පෝල් පොලිස් කණ්ඩායම සහ ඩුබායි නගරයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ ඉල්ලීම් මත ඩුබායි සිට ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නගරය බලා පියාසර කිරීමට මා පැමිණි අවස්ථාවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී නිල් වරෙන්තුවක් මත මා අත්අඩංගුවට ගත නොහැකි බව පවසා සිටින ලද අතර ඔවුන් එම කරුණු පිළිගෙන, මා මුදා හරින ලදී. එදා ශ්‍රී ලංකා පොලිසියේ ඉන්ටර්පෝල් පොලිස් කොට්ඨාසයේ සහ ඩුබායි නගරයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරීන්ගේ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම මඟින් මගේ මූලික මානව අයිතිවාසිකම් පවා උල්ලංඝනය කිරීමට පොලිසිය කටයුතු කළා ස්වාමිනි. ඒවගේම නීතියේ ආධිපත්‍යය මූලික පදනම වූ සහ මූලික නිදහස පවතින, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හඳුන්වනු ලබන මාගේ රටෙහි පොලිසිය විසින් මෙසේ නීතිය නැමීම ගැන මා කනගාටු වෙමි.

එසේ නමුත් ශ්‍රී ලංකා පොලිසිය මඟින් පසුගිය කාලයේ රතු නිවේදනය නිකුත් කර තිබූ ප්‍රබල බිහිසුණු අපරාධ කළ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් ඇතුළුව මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූවන්ගේ ලැයිස්‌තුවෙන් ත්‍රස්තවාදීන් ඇතුළුව 150ට ආසන්න පිරිසකගේ නම් පසුගිය වසරේදී ශ්‍රී ලංකා පොලිසියේ ඉල්ලීම මත ඉවත් කර ඇති බව මාධ්‍ය තුළින් දැනගැනීම ලැබුණි. එදා දෙමළ දේශපාලකයින්ගේ ඉල්ලීම මත එල්ටීටීඊ ත්‍රස්ත්‍රවාදීන් ඇතුළුව 150ගේ නම් රතු වරෙන්තු ලැයිස්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කළ යහපාලන රජය, රාජපක්ෂ රජයේ සේවය කළ නඩුවක්වත් නැති රුසියාවේ හිටපු තානාපති වන මට එරෙහිව රතු නිවේදනයක්‌ නිකුත් කරන ලෙස ඉන්ටර්පෝල් පොලිසියෙන් අයැදුමක්‌ කරන ලද්දේ, අධිකරණයට ප්‍රකාශයක් ලබා දීමට ඉදිරිපත් නොවූ වරදට නිකුත් කළ වරෙන්තුවටයි.

 

අබුඩාබි ‍ෆෙඩරල් අධිකරණයේ නඩුවක්

විමර්ශන කටයුතු සඳහා අදාළ කටඋත්තරය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ලබා ගන්නා ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ලිඛිතව දැනුම් දීමක් කළා. එසේ නමුත් යහපාලන දේශපාලන අවශ්‍යතාවයන් මත ඊට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, නීතිපති දෙපාර්තමේන්තුව, අබුඩාබි ශ්‍රී ලංකා තානාපති නිලධාරීන් ඇතුළු පසුගිය රජයේ බලධාරීන් විසින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් මා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නොයෙකුත් උත්සහයන්හි නිරත වූවා. මෙම විමර්ශන කටයුතු හේතුවෙන් පසුගිය රජයෙන් මාගේ ජීවිතයට අනතුරක් සිදු විය හැකි බවට මා මනා අවබෝධයෙන් සිටියා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් මත හිටපු ආරක්ෂක ලේකම් විසින් 2018/05/04 දින, මාව ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලා සිටීම එක් උදාහණයක්. මට ජිවිත අනතුරක් ඇති බැවින් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා අබුඩාබී ෆෙඩරල් අධිකරණයේ ගොනු කරන ලද නඩු කටයුත්තක් හේතු කොට ගෙන එම කාලයේ දී ලංකාවට පැමිණියේ නැහැ. අදාළ නඩු කටයුත්ත හේතුවෙන් ලංකාවට පැමිණීමට නොහැකි වුණා. ඒහෙත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සැඟවී සිටියේ නැහැ. අබුඩාබි ඉන්ටර්පොල් පොලීසියට මෙන්ම ෆෙඩරල් අධිකරණය ඉදිරියේ එම කාලය පුරා පෙනී සිටියා. මේ බව ශ්‍රී ලංකා පොලීසියේ අදාළ නිලධාරීන් පවා දැනුවත් කර තිබුණා. තමන්ගෙන් කටඋත්තරය එමීර් රාජ්‍යයේ දී ලබා ගන්නා ලෙස මා විසින් ශ්‍රී ලංකා පොලීසියට නැවතත් දැනුම් දි තිබුණා.

 

වෛරී යුගය අවසන්

ඒ අතර, ජනාධිපතිවරණයට පෙර මා ශ්‍රී ලංකාවට රැගෙන එන ලෙස හිටපු රජය විසින් අබුඩාබි ශ්‍රී ලංකා තානාපති නිලධාරීන්ට උපදෙස් ලැබුණු බවට සැක කරමි. එය සනාථ කරමින් වැඩබලන තානාපති අබුඩාබි ෆෙඩරල් අධිකරණයට පැමිණ තිබුණු අතර, එදින අධිකරණය විසින් එම නඩුව අවසන් කරමින් තමන්ට ශ්‍රී ලංකාවට පිටත් වන ලෙස 2019 අගෝස්තු මාසයේදී අධිකරණ නියෝගයක් නිකුත් කරන ලදී. ජනාධිපතිවරණය සමයේ මා ශ්‍රි ලංකාවට පිටුවහල් කිරීමට එරෙහිව අබුඩාබි ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගොනු කිරීම හේතුවෙන් ජනාධිපතිවරණය පවත්වන කාලය තුළ, මා ශ්‍රි ලංකාවට පිටුවහල් කිරීමට තානාපති නිලධාරින්ට කෙසේ වත් සිදු කළ නොහැකි විය. වෛරයෙන් රට පාලනය කළ අඳුරු යුගය ජනතා ඡන්දයෙන් අවසන් වී ඇති බවත්, ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා යටතේ දේශපාලන පළි ගැනීම් නතර වන බවට විශ්වාස කර සිය කැමැත්තෙන් ශ්‍රී ලංකාවට පිටත් වන බව අබුඩාබි ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කිරීම මත මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනකු අබුඩාබි ගුවන් තොටුපළ වෙත පැමිණ 2020 පෙබරවාරී 14 දින මා ශ්‍රී ලංකාවට රැගෙන ආවා. පසුගිය වසර 5කට ආසන්න කාලයක් යහපාලන රජය විසින් හුදෙක් දේශපාලන පළි ගැනීම් අරමුණින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව, දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන මඟින් මට එරෙහිව සිදු කළ අසාධාරණයන් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස මා මේ කොමිසමෙන් ඉල්ලා සිටිනවා.

 

නව අදහස දක්වන්න