නාන‍ තොටුපොළ | දිනමිණ

නාන‍ තොටුපොළ

මම සවන් දී හිඳිමි. ඔය ඇසෙන්නේ අපේ ගම මායිමෙන් කැලණි ගඟ ගලා බස්නා කර්ණ රසායන නාදයයි.

ගංදියේ පාළු කපන්නට අද එහි දිය කෙළින ගම්දරුවන් නැත. රෙදි සෝදන හෝ කුඩා දරුවන් නහවන අම්මාවරුන්වත් තේ වත්තේ, රබර් වත්තේ සිට පැමිණ ගත තැවරුණු කිලුටු සෝදන අප්පාවරුන්වත් නැත.

එකල දරුවන් වූ අපට ගඟ තරම් තෘප්තිය, සතුට ලබා දුන් වෙනත් ළෙන්ගතු මිතුරෙක් නොසිටියේමය. සති අන්තයේදී සහ පාසල් නිවඩු කාලයේදී ගමේ දරුවන් ගඟ බදු අරගත්තා සේය. පැය ගණන් එක දිගට ගං දියේ හිඳිමින් සීතලේ වෙව්ලා ගියද උනට ගඟ අතැර යා නොහැකිය.

අතරමඟදී බිඳගත් කෝපි කෝටුව ඔසවා පෙන්වමින් දරුවෙකුගේ මව් කෙනෙක් ගඟ වෙතට එන්නී කේන්තියෙන් පුපුරමිනි. එහෙත් ඒ කෝපි කෝටුව දරුවාට දඬුවම් දෙන්නටම නොවේ.

"අනේ හැබෑට දැන් පැය කීයක්ද? ජල සන්නිය නොහැදුණා පුදුමයි" ඈ කෑ ගසා දරුවන් අමතන්නීය.

දරු දැරියන් දිය කෙළින්නේ දිය කාවුන් සේය. ග‍ඟේ එගොඩ මෙගොඩ පිහිනා යාම ඔවුනට පාර මාරුවන්නා තරමේ සරල කර්තව්‍යයකි.

කෝපි කෝටුව දකින දරුවෙක් දෙන්නෙක් වහා කළුගල් තලාව මතට ගොඩ වේ. අනතුරුව ඔවුහු එහි රෙදි සෝදමින් හිඳින කාගේ හෝ සබන් පොත්තකට වග කියති.

රෙක්ෂෝනා කැටයක්, රාණි සබන් හෝ කොහොඹ සබන් කැටයක් ඇත්තේ එහෙමත් සබන් පෙට්ටියකය. සන්ලයිට් කැටයක් හෝ ඉන් අඩක් නම්, ඒ හැමෙකක් තුළම නොවැරදීම දැකිය හැක. රතු හා දම් පාට මිශ්‍රිත වූ ලයිෆ්බෝයි සබන් කාලක් හෝ බාගයක් ද බොහෝ විට ඒ අතර ඇත. ඒ ඇ‍ඟේ ගාන්නටත්, රෙදි සෝදන්නටත් යන කාරණා දෙකටම පොදුවේ ‍පාවිච්චි කළ හැකි බැවිනි. සන්ලයිට් කැටය වුව ඇ‍ඟේ උලා නෑම අති සරල සාමාන්‍යයකි.

"උදේ ගඟට ආ ගමන. බඩගිනි දැනෙන්නෙවත් නැද්ද ළමයිනේ?"

"අපට බඩගිනි නෑ. අපි කුරුම්බා කඩලා බිව්වා. ලොඳත් කෑවා" දරුවෝ එක පොකුරට කෑ ගසා කියති.

බොහෝ දරුවන්ට ගස් නගින්නට පුළුවන. ගඟ අවට කාගේ ‍හෝ වත්තකින් කුරුම්බා දෙක තුනක් කැඩීම එකල වස වැරැද්දක් ලෙස සැලකුණේ නැත.

"රංජියෝ, පුතේ, උඹත් වරෙන්. අම්ම කිව්වා මට එක්කන් එන්ඩ කියලා"

"අනේ නැන්දෙ මං කලිසම හෝදල වනලයි ඉන්නෙ. වේළුණාම ඇඳන් එන්නම්"

"නෑ... නෑ... තෙත කලිසම හරි ඇඳන් යං. ආං උඹලගෙ තාත්තත් කිරි කට්ටිය කපල ගෙදර ඇවිත් හිටියා"

දරුවන් දෙදෙනා ගැමිලිය පසුපස ඇදෙන්නේ තවමත් දිය කෙළින මිතුරු කැළ දෙස නැවත නැවතත් හැරී බලමිනි.

"ඔහොම හිටිල්ලා ටිකකට. අපූරු මියන දලු ටිකක් තියෙනවා"

අම්මා මියන ගාලට බසින අතරේ කොලු පැටවු දෙදෙනා ඉව අල්ලන්නේ පැසුණු ගෙඩි සහිත කොකෝවා ගසකටය.

ගඟ ඉස්මත්තෙන් ඇදී එන දැවැන්ත ලී පහුරක් ඔවුන් නෙත් ගැටේ. පහුරේ දැව කඳන් එකිනෙක දැඩිව යා කොට ඇත්තේ ඊටම සරිලන සවිමත් වෙනිවැල්ගැට යොදා ගනිමිනි.

දිගින් යාර විස්සක් විසිපහක් පමණ වූ තීරුවේ එක් කොනෙක පොල් අතු සෙවිලි කළ කුඩා මඩුවකි. ඒ පාරුකරුවන්ට උයා පිහා ගැනීම සඳහාය.

එදින රාත්‍රියේදී හෝ පසු දින ආරම්භයේදී කොළඹට ළඟාවන ඒ පාරුකරුවෝ පාරුව විකුණා මුදල් කොට ගනිති. පසුවදා ඔවුහු බසයක හෝ ලොරියක නැඟී ආපසු ගම බලා පැමිණෙති.

. . . . . . . . . . . . .

එදා එලෙසින් ගං දියේ කෙළිකවටකම් කළ කොලු නඩවල සිටියවුන් අතරින් සමහරෙකු අද දොස්තරවරුය. ඉංජිනේරුවරුන්ය. තවත් සමහරෙක් රටෙත් නැත. මුහුදෙන් එතෙරය.

අද ගඟ දෙපස ඉවුරු ‍සේදී ගොසිනි. ගඟ පුළුල් වී ඇති සැටියකි.

එගොඩ මෙගොඩය කියා වෙනසක් නොමැත. දෙපසෙහිම නාන තොටවල් පාළුය. දෙගොඩ යා කළ ඔරු ක‍ඳෙහි නටබුන් වූ ශේෂයක් හෝ දකින්නට නැත.

ඇඳ සිටි සරම, කමිසය ගලවා එක් අතකට ගෙන තනි අතින් එගොඩට පිහිටා යන්නන්ද එහි නැත. ගං ඉවුරුබද වල් සූරියකාන්ත පඳුරු මත නන් වණින් යුත් රෙදි පෙරෙදි වනා හැඩ කරන්නට අද එහි කිසිවෙක් නොයති. කවුරුන් හෝ සැලසුම් කොට පැළකොට වවා තැබුවා සේ ගං ඉවුරු දිග එක පෙළට වැඩී තිබූ දම්පාට, රෝස පාට මලින් ගැවසි ඒ මුරුත ගස් දෙපෙළට මොනවා වුණා දැයි සිතාගන්නටවත් බැරිය.

දැන් ගමේ බොහෝ දරුවෝ ඇලක, දොළක, ගඟක බැස පිහිනන්නට නොදනිති. නාන කාමර තුළ "වතුර මලින්" සැනහෙන දූ දරුවන්ට ගඟ යනු තහනම් ඉසව්වකි.

"මං මේ අපේ දූගෙ පුතා එක්කරගෙන එන්ඩ බස් එකක් එනකල්. අද එයාගෙ "ස්විමිං" දවස. ස්කූල් වෑන් එකේ එන්නත් බැහැ නෙ. සතියට දවස් දෙකක්, දෙකේ ඉඳන් තුන වෙනකල් "ස්විමිං" මාසෙකට දෙදහක් ගෙවන්ඩ ඕන."

අසල්වැසි කාන්තාවකගේ ඒ වදන් අබිමුව මම නිරුත්තර වෙමි.

එදවස කොළඹ උසස් බාලිකා විද්‍යාලයක උගත් ගමේ අත මිට ඉතා සරු පවුලක දැරියක් පිහිනුම් ශූරියක ලෙස සමස්ත ශ්‍රී ලංකාවම ජයග්‍රහණය කළ පවත මගේ සිහියට නැ‍ඟේ. ජාත්‍යන්තර පිහිනුම් තරග පවා ජය ගත් ඇය එකල මේ ගඟ හරහා පිහිනා යමින් පිහිනුම පුරුදු පුහුණු වූ අයුරු ‍මට මේ දැනුත් මැවී පෙනේ.

මම සවන් දී හිඳිමි. මඳ නිහැඬියාව අතරින් මට ඈතින් ඇසෙන්නේ සිහින් විලාපයක් නංවමින් ගඟ ගලා යන ශෝකී රාවයයි.

 

සුනිලා විජේසිංහ

නව අදහස දක්වන්න