පොම්පියෝ මහත්තයා! | දිනමිණ

පොම්පියෝ මහත්තයා!

ට්‍රම්ප් ආණ්ඩුවේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණ පැය කිහිපයක් ගත කිරීමත්, ඔහු රාජ්‍ය නායකයන් සමඟ කෙටි සංවාද පැවැත්වීමත් විවිධාකාරයෙන් විචාරයට ලක් වන්නට පටන් ගෙන තිබේ. එක මතයකට අනුව පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට එන්නේ එම්.සී.සී. ගිවිසුම ක්‍රියාත්මක කිරීමටය. තව මතයකට අනුව ඒ මහතා එන්නේ චීනය සමඟ යුද්ධ කිරීමටය. තවත් මතයකට අනුව ඔහු එන්නේ ඉන්දියාව ආරක්ෂා කිරීමටය. ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ මයිකල් පොම්පියෝ හෝ ඉහත කියන කතාන්දර නොදන්නවා වන්නට පුළුවන. එවැන්නක් දැන ගත හොත් ඔවුන් ශ්‍රී ලංකාවේ සමාජය ගැන විමතිය පළ කොට මහා සද්දෙට සිනා සෙනු ඇත.

අමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා පසු වන්නේ තීරණාත්මක මැතිවරණයක් අබියසය. ඔහු ලබන මාසයේ ජනාධිපතිවරණයට මුහුණ දෙයි. ස්වකීය දෙවන ධුර කාලය පිළිබඳ තීන්දුව ඇත්තේ අමෙරිකන් පුරවැසියා මතය. රටේ ජනතාව තෘප්තිමත් තැනක තැබීමත්, ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමත් ට්‍රම්ප්ගේ ප්‍රධාන අභියෝගය වී ඇත. අමෙරිකන් පුරවැසියාගේ සිතුම්-පැතුම් වෙනස්ය. ඔවුහු පාන් ගෙඩියකට හෝ මස් රාත්තලකට හෝ ඡන්දය පාවිච්චි කරන අය නොවෙති. අමෙරිකාවේ අභිමානය, නායකත්වය හා ශක්තිමත්භාවය ගැන ඔවුහු නිරන්තර අවධානයකින් පසු වෙති. අමෙරිකන් ප්‍රතිපත්ති වෙනස් වන්නේ නැත. වෙනස් වන්නේ නායකත්වය පමණි.

ට්‍රම්ප් මහතා අවසන් මොහොතේ දකුණු ආසියානු කලාපයේ සහයෝගයත් තමන්ට ඇති බව පෙන්වීමට යයි. ඉන්දියාව, ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව හා මාලදිවයින විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය සඳහා තෝරා ගෙන ඇත. ශ්‍රී ලංකාවේදී අපනයන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට ද අමෙරිකන් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකාවට ශිෂ්‍යත්ව පිරිනැමීම පිළිබඳ සාකච්ඡා කිරීමට ද කාලය වෙන් කර තිබේ. අපේ ඇඟලුම්වලින් 60%ක පමණ ප්‍රමාණයක් මිලට ගන්නේ අමෙරිකාවය. අමෙරිකාවේ කෝටා එක අහිමි වුව හොත් මෙරට ඇඟලුම් ව්‍යාපාරය දුර්වල වෙයි. අමෙරිකන් අධ්‍යාපනය සඳහා වූ ශිෂ්‍යත්ව ක්‍රමයක් දැනට ද ක්‍රියාත්මකය. එය වැඩි දියුණු කර ගත හැකි නම් එය වාසනාවක් සේ සැලකිය හැකිය.

අමෙරිකාව, චීනය, ඉන්දියාව යන රාජ්‍ය තුනම ශ්‍රී ලංකාවේ සමීප මිතුරන් සේ සැලැකීම නිවැරදිය. කුමන ආණ්ඩුවක් පැවතිය ද ඉහත රටවල් සමඟ එදිරිවාදි ප්‍රතිපත්තියක් අනුගමනය කළ නොහැකිය. අමෙරිකාව ලෝක බලවතා වන අතර ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් සහයෝගය දක්වන රාජ්‍යයකි. චීනය ලෝකයේ දෙවන ආර්ථික බලවතා වන අතර ශ්‍රී ලංකාව සමඟ ඓතිහාසික මිත්‍රත්වයක් පවත්වාගෙන යන රාජ්‍යයකි. චීන ආයෝජන මෙරට ආර්ථිකයට බලවත් ශක්තියක් වී තිබේ. ඉන්දියාව අපේ අසල්වැසියා වන අතර සමීපතම රාජ්‍යය ද වන්නේය. දකුණු ආසියාවේ බලවතා ලෙස පෙනී සිටින ඉන්දියාව අත්හැර අපේ විදේශ ප්‍රතිපත්තිය කළමනාකරණය කරගත නොහැකිය.

කවුරුනුත් දන්නා ලෙස චීනය හා අමෙරිකාව අතර ආර්ථික යුද්ධයක් පවතී. එය සීතල යුද්ධයක් ලෙස හැඳින්වීම වඩා නිවැරදිය. ඉන්දියාව හා චීනය අතර ද කාලයක සිට අවුල් ගණනාවක් පවතී. එක් අතෙකින් දේශ සීමාවේ ගැටලු පවතී. තව අතෙකින් සාගර කලාපයේ ආධිපත්‍යය පිළිබඳ ගැටලු පවතී. ඉන්දියාව අමෙරිකාවට සමීප වීම හා අමෙරිකාවෙන් යුදමය ආධාර ගැනීම ඉහත සිදුවීම්වල ප්‍රතිඵලයක්යැයි කිව හැකිය. ශ්‍රී ලංකාව උක්ත ගැටුම් හා අවුල්වලට කුමන ආකාරයකින් හෝ සම්බන්ධ වී නැත. එසේ සම්බන්ධ වීමේ අවශ්‍යතාවක් ද නැත. අපේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි එකක් බව ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත. කිසිදු ලෝක බලවතකුගේ පැත්ත නොගන්නා බව ද ඔහු පවසා ඇත.

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රීය රාජ්‍යයක් වන බැවින් විවිධ දේශපාලන මතවාදවලට සමාජගත වීමට ඉඩ හසර සලසා දී ඇත. ආණ්ඩුව කිසිදු මතවාදයකට හෝ කිසිදු දේශපාලන ව්‍යාපාරයකට හෝ තහංචි පනවා නැත. මේ අනුව බටහිර විරෝධි මතවාද එක් පැත්තක පවතී. ඉන්දීය විරෝධි මතවාද තව පැත්තක පවතී. චීන විරෝධි මතවාද තවත් පැත්තක පවතී. ඒ එකක් වත් රජයේ නිල ප්‍රතිපත්තියට හා වැඩසටහන්වලට අදාළ නැත. ආණ්ඩුව ඉන්දියාව සමඟ මෙන්ම චීනය සමඟ ද එකට වැඩ කරයි. ඒ අතර අමෙරිකාවෙන් ගත හැකි සහයෝගයක් වෙතොත් එය ද ගනී. ස්වාධීන රාජ්‍යයක පිළිවෙත එය විය යුතුය.

අමෙරිකන් විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ එම්.සී.සී. හා සෝෆා ගිවිසුම් අස්සන් කිරීමටයැයි අදහසක් සමාජය තුළ පැළපදියම් කර තිබේ. එය සම්පූර්ණ අසත්‍යයක් බව රජය අවධාරණය කර සිටී. වත්මන් ආණ්ඩුව ඉහත ගිවිසුම් දෙකම ඉවත දමා ඇති බව පැහැදිලිය. අමෙරිකාවට අවශ්‍ය වුව ද ශ්‍රී ලංකාවේ අකැමැත්ත මත ගිවිසුම් අස්සන් කිරීමේ හැකියාවක් නැත. ඉහත ගිවිසුම් පිළිබඳ කිසිදු සාකච්ඡාවක් ද රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරයට ඇතුළත් නැත. මේ තත්ත්වය හැඳින්විය හැක්කේ කොරහේ කිඹුලන් දැකීමක් ලෙසය. නැත හොත් මුහුද හත් ගව්වක් තබා අමුඩය ගැසීමක් ලෙසය.

අමෙරිකන් නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ රැඳී සිටින්නේ පැය කිහිපයක් පමණි. මේ කාලය තුළ ජනාධිපතිවරයා, අගමැතිවරයා හා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා හමු වී සාකච්ඡා පැවැත්වීමට මයිකල් පොම්පියෝ මහතා සැලැසුම් කර තිබේ. මෙබඳු අවස්ථාවක ශ්‍රී ලංකාවේ දේශපාලකයන්, සමාජ සංවිධාන හා ජනතාව සදාචාරවත් ලෙස හැසිරීමට වග බලා ගැනීම වැදගත්ය. අමෙරිකන් තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා දැක්වීම හෝ කළු කොඩි ප්‍රදර්ශනය කිරීම හෝ සුදුසු දෙයක් නොවේ. එවැන්නක් සිදු කළ යුත්තේ අමෙරිකාව අපට බලපෑමක් කරන්නේ නම් පමණි. මයිකල් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට එන්නේ අපට සහයෝගයක් දීමට පමණි.

 

නව අදහස දක්වන්න