අලුත් සිම් එකක් | දිනමිණ

අලුත් සිම් එකක්

ප්‍රබන්ධ සාහිත්‍යයේ එක් ප්‍රධාන අංශයක් වන කෙටිකතාව වූ කලී නවකතාවට විශේෂ වූ ලක්ෂණ කිහිපයකින් ද සමන්විත වූවකි. නවකතාවකින් අප බලාපොරොත්තු වන නවතාව, කෙටිකතාවක ද තිබිය යුතු එක් ලක්ෂණයකි. නවකතාවකින් අපේක්ෂිත ස්වාධීනත්වය ද කෙටිකතාවකත් නොඅඩුව තිබිය යුත්තකි.

නවකතාවකින් මෙන්ම කෙටිකතාවකින් ද පාඨකයා තුළ ප්‍රබල වින්දනයක් ඇතිකර ලිය යුතු වෙයි. පෙර නොවූ විරූ යම් අදහසක්, අනුභූතියක් කෙටිකතාවක ගැබ් වී ඇතොත් පාඨකයා නියත වශයෙන්ම එයට ආකර්ෂණය වනු ඇත. එමගින් ඔහු ජීවිතය පිළිබඳ නව අත්දැකීමක් ලබනු ඇත. ඒ සියල්ල මඟින් කෙටිකතාවකින්, අන් කවර සාහිත්‍යාංගයකින් වුව අපේක්ෂිත රස නිෂ්පත්තිය ද සිදු විය යුතුය.

සාහිත්‍ය නිර්මාණය සඳහා ලේඛකයකු හෝ ලේඛිකාවක් තුළ ප්‍රතිභාව, සහජ හැකියාව තිබිය යුතුය. ව්‍යුත්පත්තිය, සතතාභ්‍යාසය සාර්ථක නිර්මාණකරුවකු තුළින් විද්‍යමාන වෙයි. කිසියම් ලේඛකයෙක් හෝ ලේඛිකාවක් කලක් තිස්සේ නිර්මාණ බිහිකොට අනතුරුව සාර්ථකත්වයක් ලබන්නට ඉඩ ඇත. එමෙන්ම වෙනත් ඇතැම් රචකයෙක් සිය මුල්ම කෘතියෙන් වුව බෙහෙවින් සාධනීය ලක්ෂණ ප්‍රකට කරන්නට ද අවකාශ නැත්තේ නොවේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ, පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යයනාංශයේ ෙජ්‍යෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සේවයකරන ආචාර්ය ප්‍රියංවදා වනිගසූරිය සාහිත්‍ය ලේඛිකාවක් ලෙසට හඳුනාගන්නට පාඨකයාට අවස්ථාවක් ලැබී නැතත් කවි ලිවීමෙහිලා ඇය තුළ වූ ආශාව හා හැකියාව පොදුවේ නිර්මාණකරණය විෂයෙහි ඇය දැක්වූ උනන්දුව ප‍්‍රකට කිරීමට අවස්ථාව උදා කර ලීය. ඒ සමඟම විටින් විට තමන් අතින් ලියැවුණු කෙටිකතා කිහිපයක් සකස් කොට කෙටිකතා සංග්‍රහයක් ලෙස ඉදිරිපත් කිරීමට ඇය දැක්වූ උනන්දුවෙහි යහපත් ප්‍රතිඵලයක් ලෙසට ‘‘අලූත් සිම් එකක්’’ මෙලෙස පාඨකයා අතට පත් වෙයි.

කෙටිකතා හයකින් සමන්විත මෙම කෘතිය තුළින් කිසියම් ආකාරයක අලූත් අත්දැකීම් සමුදායක් හඳුනාගන්නට, විඳගන්නට පාඨකයාට අවස්ථාව සලසා දී ඇත. හුදෙක් සාම්ප්‍රදායික රාමුවක් තුළට සිර වී නොසිට, කිසියම් ආකාරයක නව මුහුණුවරකින් මෙහි කතා සියල්ලම පාහේ රචනා කරන්නට කතුවරිය සමත් වී තිබේ. කතාවලට නම් දීමේදී පවා ඇය එකී ස්වාධීනතවය අත්හදා බලන්නට යොමු වී ඇත.

මෙම කතා සංග්‍රහයෙහි අන්තර්ගත පළමුවන කතාව කතුවරිය නම් කර ඇත්තේ, ‘Sea Bath’ යන ඉංග්‍රීසි යෙදුමෙනි. මාතෘකාව කියවූ පමණින් එහි අන්තර්ගත තේමාව පිළිබඳ ඉඟියක් හෝ පාඨකයාට නොලැබුණත් කතාව කියවා ගෙන යෑමේදී එයින් මතු වන නවමු අත්දැකීම් විඳගන්නට ලැබෙයි. ජීවිතය තුළ එක් එක් පුද්ගලයන් මුහුණ දෙන නානා විධ අත්දැකීම් පෙර නොවූ විරූ ආකාරයකින් මෙම කෘතිය තුළින් විඳගන්නට, දැකගන්නට පාඨකයාට අවස්ථාව සලසා දෙයි. නොගැළපෙන විවාහ සම්බන්ධතා දුක්ඛදායක ඉරණමකින් කෙළවර වන අවස්ථා සමාජය තුළින් අසන්නට දකින්නට ලැබේ. මෙම කෙටිකතාවේදී කතුවරිය එය නවමු ආකාරයේ රචනාවක් ලෙස ඊට ඇතුළත් කරන සිද්ධි සමූහය සමග ගළපමින් ඉදිරිපත් කර ඇත.

සාහිත්‍ය කෘතියක තිබිය යුතු විශ්වසනීයත්වය බිඳ නොවැටෙන සේ කතා ගළපාගන්නට මෙම ලේඛිකාව බොහෝ දුරට සමත් වී ඇති බව පෙනී යන කරුණකි. මෙම කතා සංග්‍රහයට නම් කිරීම සඳහා ද යොදා ගෙන ඇති ‘‘අලූත් සිම් එකක්’’ යන මැයෙන් කතුවරිය ඉදිරිපත් කරන කෙටිකතාව ද ජීවිතයේ සුලබ අත්දැකීමක් බවට පෙරළමින් රචනා කරන ලද්දකි.

මෙම කෘතියෙහි අන්තර්ගත කතා සියල්ලම තුළින් කතුවරිය අපට ඉදිරිපත් කරන්නේ විපර්යාසයට ලක් වෙමින් පවතින වර්තමාන සමාජයේ විවිධ පැතිකඩය. මෙහි අන්තර්ගත චරිත පාඨක විශ්වාසය දිනාගන්නා සේ විකාශනය වී ඇති අතර, පාඨකයා කවදා හෝ කොතැනකදී හෝ ලද කිසියම් අත්දැකීමක් සිද්ධීන් ඇසුරෙන් හඳුනාගන්නට හැකිවනු ඇත. ලේඛකයෙකුට තමන් ජීවිතයේදී ලබන අත්දැකීම් හුදෙක් ස්වීය අත්දැකීම් ලෙසම නොව පාඨකයාට ද විෂය වන පොදු, සාධාරණ අත්දැකීම් ලෙස තම නිර්මාණ මගින් ගෙන හැර දැක්වීමට හැකි වන්නේ නම් එය විශාල ජයග‍්‍රහණයකි.

මෙම කෙටිකතා සංග්‍රහයේ අවසාන කතාව ලෙස යොදා ගෙන ඇති ‘වූහාන්’ පාඨක අපට නවතම අත්දැකීමක් වී ඇති ‘කොරොනා’ වෛරසයේ ව්‍යාප්තිය සමග බැඳුණු සිද්ධියක් විෂය කරගත්තකි. මුළු ලෝකයටම දුක්ඛදායක, අවාසනාවන්ත, අමිහිරි අත්දැකිමක් ලෙස තවදුරටත් බලපාන මෙය සිය කෙටිකතාව මගින් සංවේදී ලෙස නිරූපණයට කතුවරිය උත්සාහ දරා ඇත. තවද, ‘කොරෝනා’ වෛරසය සමග රෝගී තත්ත්වයට පත් වූවන් අප්‍රමාණ සංඛ්‍යාවක් ලොව පුරා විවිධ රටවලින් හමුවෙමින් තිබෙන මෙම අවදියේදී කතුවරිය තම කෙටිකතා සංග්‍රහයට එක්කර ඇති, මෙම කෙටිකතාව ද විශේෂත්වයක් දක්වයි. මෙම වසංගත තත්ත්වය පාදක කරගනිමින් විවිධ නිර්මාණ බිහිවන්නට පටන්ගෙන ඇති අතර මෙම කතුවරියගේ උක්ත රචනාව ද ඒ අතර විශේෂ වන්නකි.

සමස්තයක් ලෙස ගත් විට මෙම ලේඛිකාව සාහිත්‍යකරණයෙහි ලා ඇය සතු නිර්මාණ කුසලතාව මෙම කෘතිය මගින් මනාව විද්‍යමාන කරයි. පැහැදිලි, සරල රචනා විලාසයකින් කතා රචනයට ඇය දක්වන දක්ෂතාව අගය කළ යුතු වෙයි. පාඨකයාට වෙහෙසකර බවකින් තොරව කියවා ගෙන යා හැකි කතා හයකින් සමන්විත ‘අලූත් සිම් එකක්’ නමැති කෙටිකතා සංග්‍රහය මගින් ලේඛිකාවගේ නිර්මාණ කුසලතාව එළිදැක්වී ඇති බව කිව හැකිය.

 

සම්මානිත මහාචාර්ය කුසුමා කරුණාරත්න

කොළඹ විශ්වවිද්‍යාලය

නව අදහස දක්වන්න